[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තමන්ට තමන් පිළිසරණ වන්න

තමන්ට තමන් පිළිසරණ වන්න

මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. එසේ පහළවන උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන්, අනුකම්පාවෙන් ලෝ සතුනට දුකෙන් නිදහස් වීමට මග පෙන්වීම සිදු කරනවා.

බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යභාරය වන්නේ මේ ලෝක සත්ත්වයාට මේ ලෝක වශයෙන් සැපය, සතුට ළඟා කරගන්නා ආකාරය, පරලොව ජීවිතය සුවපත් කර ගන්නා ආකාරය කියාදීම මෙන් ම, දිගින් දිගට යන මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන සත්ත්වයාට සසරින් නිදහස් වීමට ඇති මාර්ගය පෙන්වීම යි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස මෙන් ම, පරලොව ජීවිතය සුවපත් කර ගැනීමටත් ලොව්තුරා නිවන් සුවය සඳහා මඟ පෙන්වීම සිදු කරනවා. එනිසයි භාග්‍යවතුන් වහන්සේට සත්ථාදේව මනුස්සානං කියන විශේෂතා නාමය පාවිච්චි කරන්නේ. ඒ දෙවි මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ කියන අදහස යි

ජීවිත සුවපත් කිරීම

ශෘස්තෘවරයෙකුගේ කාර්ය භාරය වන්නේ තමන්ගේ අනුගාමිකයන්ගේ ජීවිත සුවපත් කරලීම යි. බුදුරජාණන් වහන්සේ මූලිකව ම ඉපදි ඉපදී මැරි මැරී යන ජීවිතය සුගතිගාමි කර ගන්නා ආකාරය දේශනා කළ අතර, සුගතියේ ඉපදුණත් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලින් නිදහස්වීමක් නො වන බව අවධාරණය කර ඒ දුකින් නිදහස් වීමට මේ සසර ගමන නවතාලීම සඳහා කටයුතු කරන්නට අපට මග පෙන්වා වදාළා.

සත්ත්වයා දිගින් දිගට ම සංසාරයේ සැරි සරන්නේ සත්ත්වයන්ගේ සිතු තුළ කෙලෙස් නිස යි. කෙලෙස් තිබෙන කෙනෙක් මරණින් මතු අනිවාර්යයෙන් නැවත උපතකට යනවා. යම් කෙනෙක් කෙලෙස් දුරු කළොත් ඒ නිකෙලෙස් උතුමාට මරණින් මතු උපතක් නැහැ. එසේම කෙලෙස් සහිත වීම නිසා තමයි සත්ත්වයා ඉපදෙමින් මැරෙමිින් ඒ අතර කාලයේ විවිධ දුක්වලට ගොදුරුවෙමින් යන්නේ.

දුකට වගකිවයුතු තමන් ම ය

කෙලෙස් හට ගන්නේ තමාගේ සිතේ. තමාගේ හිතේ හටගන්නා කෙලෙස්වලට අනුරූපීව නම් දුක් හටගන්නේ ඒ හටගන්නා දුකට මූලික ම වගකිවයුත්තා තමන්ම යි. මේ ලෝකයේ ජීවිත්වන අප හැම දෙනාගේ ම වගකීම වන්නේ තමන් විසින් නිර්මාණය කර ගන්නා මේ දුක ඇතිවන ක්‍රමය නවතා ගැනීම යි. දුක ඇතිවන්නේ කෙලෙස් නිසානම්, කෙලෙස් ඇතිවීම පාලනය කර ගැනීම යි තමන්ට ඇති එකම පිළිසරණ. සිත තුළ කෙලෙස් පහළ වූ වහාම පව් සිදුවන්නේ නැහැ. කෙලෙස්වල ස්වභාවය තමයි සත්ත්වයා සසරට ඇද දැමීම. සසරට ඇද දමන සත්ත්වයා සුගතියට යන්නේ පින් කළ විට යි. දුගතියට යන්නේ පව් කළ විට යි. ඒ අනුව තේරුම් ගනිමු පින්, පව්වල යටින් දිවෙන බලවේගය වන්නේ අකුසල හෙවත් කෙලෙස් සහිත වීම බව.

එසේනම් දුකෙන් නිදහස් වීමට කැමැති පුද්ගලයා මුලින් ම කළයුත්තේ තමාගේ සිත තුළ හටගන්නා කෙලෙස් නවතා ගැනීම යි. කෙලෙස් පාලනය කර ගත්තොත් ඔහුට පුළුවන් ඒ කෙලෙස්වලින් ආරක්ෂා වෙන්න. සාමාන්‍ය කෙනෙකුට කෙලෙස් පාලනය එකවර ම කරන්න අමාරුයි. කෙලෙස් පාලනය කරන්නට කලින් කෙලෙස්වල තිබෙන භයානක බව පාලනය කළයුතු වෙනවා. කෙලෙස් පව් බවට පත්වෙන්නේ ඒවා සිතින්, කයින්, වචනයෙන් ක්‍රියාත්මක කරන විටයි.

පිනත්, පවත්, සංස්කාරයන්. සංස්කාර කියන්නේ ප්‍රතිසන්ධි විඤ්ඤාණයට උපකාරයක් වන ආහාරයක්. ප්‍රතිසන්ධි විඤ්ඤාණයෙන් තමයි සත්ත්වයා සසරට ඇද දමමින් උපතක් සකස් කරන්නේ. ඒ අනුව සිතින්, කයින්, වචනයෙන් කර්ම රැස්කර ගත්නේ නැති වුණොත් ඒ සත්ත්වයාට සසර ඉපදීමට අවශ්‍යවන කර්ම සැකසෙන්නේ නැහැ. ඒ නිසා ඉපදීම අවම කරගෙන, අඩු කරගෙන නවතා ගන්න පුළුවන්කම තිබෙනවා.

ඒ වගේම කයයි, වචනය යි, සිතයි කියන තුන් දොරින් නරක ක්‍රියාකාරකම් හෝ හොඳ ක්‍රියාකාරකම් නවතා දැමුවට එයින් අදහස් කරන්නේ නැහැ ඔහුගේ හිත සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියලා. ඔහුගේ සිතේ අනුශය වශයෙන් රාග, ද්වේෂ, මෝහය තිබෙන්නට පුළුවන්. අනුශය වශයෙන් රාග, ද්වේෂ, මෝහ තිබෙන පුද්ගලයාට නැවතත් ඒවා පදනම් කරගෙන අකුසල් ක්‍රියාත්මක වෙලා පින් හෝ පව් කෙරෙන්නට පුළුවන්.

සිත නිදහස් වන දිනය

එසේනම් විදර්ශනා නුවණින් අනුශය වශයෙන් සිත තුළ කිඳා බැසගෙන තිබෙන ඒ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ධර්මයන් මුලින් උපුටා දැමූ දවසටයි සිත සම්පූර්ණයෙන් කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. ඒ සිත කෙලෙස් වලින් නිදහස් වූ දවසට තමයි සිත නැවත සසරට නො වැටී තිබෙන්නේ. නැවත සසරට නො වැටෙන ආකාරයේ සිත් තිබෙන පුද්ගලයා නියම ආකාරයට තමන්ගේ සිත රැක ගත්තා වෙනවා. තමාට තිබෙන එකම පිළිසරණ තමා කියා කියන්නේ ඒ සිත හොඳින් රැක ගත්තොත් පමණයි. මේ සිත රැක ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත්තිෂ් බෝධිපාක්ෂික ධර්ම ආදීයෙන් විස්තර කර දී තිබෙනවා. මේ දහම් මග ලෝකයට මනාව විවිර කර පෙන්වා දී තිබෙන විට අපේ වගකීම වන්නේ ඒ මග ගමන් කිරීම යි.

මග විමසන්නා ගේ වගකීම

බුදුරජාණන් වහන්සේ වදාළා ඔබ ඔබේ කාර්ය භාරය කර ගන්න. තථාගතවරුන් කියන්නේ මාර්ග උපදේශකයන් පමණයි. මාර්ග උපදේශකවරුන්ගේ කාර්ය භාරය වන්නේ මග විමසන්නාට මාර්ගය නිසිලෙස පැවසීම පමණ යි. මාර්ගය විමසන්නාගේ වගකීම වන්නේ විමසූ මග කියාදුන් මාර්ගෝපදේශකයාට වැඳ වැඳ සිටීම නොවේ. ඒ කියාදුන් මාර්ගයේ නිසිලෙස ගමන් කොට ඒ අදාළ ස්ථානයට ළඟා වීමයි.

මේ ලෝකයේ ජීවිත්වෙන හැම කෙනා ම සැපයට කැමැතියි. දුකට අකමැති යි. අපි හැමෝ ම උත්සාහ කරන්නේ සැප විඳීමට යි. දුකෙන් ඈත් වීමට යි. ඒ නිසා ඔබ ඔබට නිසි ලෙස ආදරය කරනවානම්, සෙනෙහස දක්වනවා නම්, මෛත්‍රී සහගතනම් කිසිදු මොහොතක ඔබේ සන්තානය දුකට ඇද දමන්නට, වේදනාකාරී ස්වභාවයට පත් කරන්නට පෙළෙඹෙන්නේ නැහැ. හැම මොහොතකම සිත සතුටින් තබා ගන්න වෑයම් කරන්න. සිත සතුටින් තබා ගන්න නම් සිත තුළ නිරන්තරයෙන් කුසලය බලවත් වෙන්න ඕනේ. කුසලය දියුණුවෙන සිතක් තමයි කයින්, වචනයෙන් යහපත් දේ කරන්නට පෙළෙඹෙන්නේ. සිත, කය , වචනයෙන් හොඳ දේ් කරන පුද්්ගලයා මෙලොවත් සතුªටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. මා විසින් පින් කළා කියා දෙ ලොව ම සතුටු වෙනවා. මා කළ පින නිසා මට සුගතියට යන්න ලැබුණා කියා මැනවින් සතුටු වෙනවා.

ඒ අනුව ඔබ ඔබට ආදරේ නම් ඔබ ඔබට පිළිසරණ වෙනවානම්, ඔබ කළ යුත්තේ මේ ලෝකයේ යහපත් කියන දේ සිදු කරනවා. ඒත් ඒ දේට නො ඇලී සිටිනවා. හොඳ දෙයට අනුරූපී විපාකයක් ලැබුණ විට එය පරිහරණය කරනවා. එයට ගිජු නො වී සිටිනවා. මේ සියල්ල අත හරින්නට දවසක් එනවා කියා අවබෝධයෙන් කල්පනා කරන පුද්ගලයාට දුකක් නැතිව එය අත්හැර ගන්නට හැකියාව තිබෙනවා. මේ මානසිකත්වය නිසිලෙස ගොඩනගා ගැනීම යි කෙනෙක් තමාට පිළිසරණ වුණා කියන්නේ. අපි මරණාසන්න මොහොතේ දී අපේ සිතට ගොදුරු වෙන්නේ අම්මා, තාත්තා විසින් අපේ සිතට දාපු සිතිවිලි නොවේ. දෙවියන්, බ්‍රාහ්මණයන් දැමූ සිතිවිලි නොවේ. අප විසින් ම ගොඩනගා ගන්නා සිතිවිලි අනුව තමයි අපේ මෙලොව ජීවිතයේ සතුට රැඳෙන්නේ. පරලොව ජීවිතයේ සුගති, දුගති ඉපදීම තීරණය වන්නේ.

වාසනාව රැඳී තිබෙන්නේ තමන් අතයි

එබැවින් ඔබටයි ඔබේ මෙලොව ජීවිතය වාසනාවන්ත කර ගැනීමට හැකියාව තිබෙන්නේ. පරලොව ජීවිතය සුවපත් කර ගැනීමට හැකියාව තිබෙන්නේ. ඒ වගේම සියලු සාංසාරික දුකෙන් එතෙර ව ලැබෙන අමා නිවන් සුව ශාක්ෂාත් කර ගැනීමට හැකියාව තිබෙන්නේත් ඔබට යි. එනිසා ඔබ ඔබට සැබැවින් ම ආදරේ නම්, සියලු ජාති පව්වලින් වළකින්න. ඒ වගේම පින් දහම් වැඩි වැඩියෙන් කරන්න. ඒ තුළ ඔබ සුවපත් වෙනවා වගේම දුර්ලභව ලැබුණ බුද්ධ ශාසනය තුළින් පරම පවිත්‍ර නිර්මල ධර්මය අසා ඒ ඇසූ ධර්මයට අනුකූලව ජීවිතය ගත කර නිර්වාණ මාර්ගයේ ගමන් කරමින් කෙලෙස් ප්‍රහානය කිරීමට වෑයම් කළොත් සැබවින් ම ඔබ ඔබට පිළිසරණක් කරගත් පුද්ගලයෙක් වෙනවා.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]