UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව් ලොව - බඹ ලොව ධර්මය බහුල යි

දෙව් ලොව - බඹ ලොව ධර්මය බහුල යි

බුදුන් වහන්සේ වදාළ සේ මනු ලොවට ආසන්නව ම දිව්‍ය කොටසක් සිටී. ඒ ගහ කොළ, කඳු පර්වතයන් ආදී මිනිස් ලොව ඇසුරු කරමින් ඉහළ අහස් තලයේ ජීවත්වන දෙවි දේවතාවුන් ය. ඒ අය හඳුන්වන්නේ භූමාටු දෙවියන් නමිනි. බුදුරජණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන් මුලින් ම ‘බුම්මානං දේවානං සද්ධං සුත්වා චාතුර් මහා රාජිකා දේවා සද්ධ මනුස්සා වේසුං’ යනුවෙන් ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ හ¾ඩ රැව් පිළිරැව් දී ඉහළ අහස් තලය සිසාරා අකනිටා බ්‍රහ්ම තලය දක්වා දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා.

පොළොව ආශ්‍රිත දේවතාවන්ගේ ආයුෂයන්හි යම් අඩු වැඩිකම් තිබුණ ද ඊට ඉහළින් පිහිටා ඇති චාතූර් මහා රාජිකයේ දිව්‍ය ආයුෂ එකම මට්ටමක පවතී. මනු ලොව වර්ෂ පනහක් චාතූර්මහා රාජිකයේ එක් දිනයක් ලෙස ගෙවී යයි. එනම්, මනු ලොව අවුරුදු පනහක් චාතූර්මහා රාජිකයේ දෙවියන්ට එක් දවසක් වෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, මනු ලොව වසර දෙදාස් පන්සිය හැට එකක් අවසන් වෙද්දී එය චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට දින පනස් තුනක් වෙයි. ඒ අනුව චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට මාස දෙකක්වත් නැතිවා වගෙයි. ඒ මඟ ඵල ලාභී දෙවිවරුන්ට බුදුන් වහන්සේ ළඟ ළඟ ම පිරිනිවන් පෑවා සේ දැනී යයි.

මනු ලොව කාලය සහ දිව්‍ය කාලය සැසඳීමේ දී අඩු ආයුෂ ඇති මනු ලොව පිරිනිවන් පාන බුදුවරු ගැන දැනෙන්නේ ඉක්මනින් ම පිරිනිවන් පාන බව යි. මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ බුදුන් වහන්සේ පිරිනිවන් පාන දුක්මුසු මොහොතේ දෙවිවරු අහසේ පිරී ඉතිරී ගියා. ඒ උත්තමයන් , මදාරා මලින් පූජා පවත්වමින් මේ ලොවට පහළ වුණු දහම් ඇස වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉක්මනින් ම පිරිනිවන් පානවා යැ’යි හඬා වැළපුණා. එය දෙවියන්ගේ දිව්‍ය කාලය අනුව බුදුන් වහන්සේ ඉක්මනින් ම පිරිනිවන් පාන බව දෙවියන්ට දැනී ගියා.

චාතූර්මහා රාජිකයට ඉහළින් පිහිටියේ තව්තිසා දෙව් ලොවයි. මෙහි වැඩ සිටින්නේ සක්‍ර දෙවියන් වෙයි. ඒ උත්තමයා දෙදෙව් ලොවට අධිපති යි. මනු ලොව අවුරුදු සියයක් ගෙවී යද්දී චාතුර්මහා රාජිකයේ දෙවියන්ට එක් දිනකි. බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදාස් පන්සිය හැට එකක් ගෙවෙද්දී තව්තිසා දෙවියන්ට දවස් විසි පහ අවසන්ව මේ ගෙවෙන්නේ විසි හයවන දිනය යි. එනම්, දෙව් ලොව මාසයකටත් අඩු කාලයකි. ඊට ඉහළින් පිහිටා ඇත්තේ යාම දිව්‍ය ලෝකය යි. මනු ලොව අවුරුදු දෙසීයක් එහි එක් දිනයක් වෙයි. ඒ දෙවිවරුන්ට බුදුන් වහන්සේ පිරිනිවන් පා තවම සති දෙකක් වගේ කාලයක් වෙයි. එනම් දින දහතුනක් පමණ ඒ අයට ගෙවී ගිහින්.

ඊටත් ඉහළින් පිහිටියේ තුසිත දෙව් ලොව යි. එය පාරමී පරි පූර්ණ කළ බෝසතාණන් වහන්සේලා පහළ වන පින්බර භූමිය වෙයි. ගෞතම බෝසතාණන් වහන්සේ ද බුද්ධත්වය පිණිස දෙව් ලොවින් මනු ලොවට වැඩියේ තුසිත දෙව් ලොව සිට යි. පාරමී පරිපූර්ණ කරගත් ගෞතම බෝසතාණන් වහන්සේට එදා ශක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු මනු ලොවට වඩින්නැ’යි ආරාධනා කළා. ‘කාලෝ යන්ථෙ මහා වීර – මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේට දැන් කාලය යි. උප්පජ්ජ මාතු කුච්චියා - මිනිස් මව් කුසක උපත ලබන්නට. සදේවකං ථාරයන්තො බුජ්ජස්ස අමතං පදං - අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකවාසීන් සසර දුකෙන් එතෙර කරවන්නැ’යි ආරාධනා කළේ තුසිත දෙව් ලොවදි යි. ඒ දෙවියන්ගේ ආරාධනාව පිළිගත් ගෞතම බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලා මනු ලොවට වැඩම කළා. මනු ලොව අවුරුදු හාරසියයක් තුසිත දෙව් ලොවට එක් දිනකි. එනම් , බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා මනු ලොවට වසර දෙදාස් පන්සිය හැට එකක් ගෙවෙද්දී , ඒ දෙව් ලොව දෙවියන්ට දවස් හයක් ගතවී උදාවන්නේ හත් වන දවස යි.

එසේනම්, බුද්ධ කාලයේ යම් කිසි උත්තමයෙක් බුදුන් වහන්සේ දෙනෙතින් දැක, බුදුන් වහන්සේගෙන් බණ ඇසුවා නම්, ඒ උත්තමයා සෝවාන් ආදී මඟ ඵල ලබා තුසිත දෙව් ලොව උපත ලැබුවේ නම්, ඔහුට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සතියක් ලෙස යි. බුද්ධ කාලයේ බණ ඇසූ මතකයෙන් ඒ දෙවියන් අදටත් දෙව් ලොව වාසය කරයි. එසේනම්, මනු ලොව ධර්මය පිරිහී ගිය ද ඒ මඟ ඵල ලාභී දෙවිවරු අදටත් දෙව් ලොව වැඩ සිටිති.

තුසිත දෙව් ලොවට ඉහළින් ඇත්තේ නිම්මාණරතී දෙව් ලොව යි. මනු ලොව වසර අටසියයක් එහි එක් දිනයක් වෙයි. බුද්ධ කාලයේ මඟ ඵල ලැබූ යම් මනුස්සයෙක් නිම්මාණරතී දෙව් ලොව උපත ලැබුවේ නම්, සම්බුද්ධ පරිනිර්වාණය ඒ දෙවියන්ට දැනෙන්නේ දින දෙක තුනක් වශයෙනි.

ස දෙව් ලෝ අතුරින් ඉහළින් ම පිහිටි දෙව් ලොව පරනිම්මිත වසවර්තිය යි. මනු ලොව වසර එක් දහස් හයසියයක් එහි එක් දිනකි. ඒ දෙවිවරුන්ට බුදුන් වහන්සේ පිරිනිවන් පා දවසකුත් පැය දාහතරක් පමණ වෙයි. එදා බුදුන් වහන්සේ දෙනෙතින් දුටු, උන්වහන්සේගෙන් බණ ඇසූ රහත් නොවූ මඟ ඵල ලාභී සියලු ම උත්තමයන් අද වැඩ සිටිය යුත්තේ දෙව් ලොව හෝ බඹ ලොව යි. එසේනම්, මනු ලොවට වඩා ධර්මයේ දියුණුව දෙව් ලොව සහ බඹ ලොව බොහෝ බහුලව පවති යි.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]