UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවබෝධයෙන් ලැබිය යුතු සහජීවනය

අවබෝධයෙන් ලැබිය යුතු සහජීවනය

බුදුරජාණන් වහන්සේ කුල භේදය, වර්ණ භේදය ප්‍රතික්ෂේප කළ ශාස්තෘන්වහන්සේ නමකි. පැවිදි කිරීමේ දී බ්‍රාහ්මණ වංශයෙන් කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප වැනි ශ්‍රාවකයන් ද, රාහුල, නන්ද,දේවදත්ත වැනි ක්ෂත්‍රිය වංශිකයන් ද, සුනීත, සෝපාක, යන ක්ෂුද්‍ර කුලයන් ද පැවිදි වූ විට ශෘක්‍ය පුත්‍ර ශ්‍රමණ නමින් ්එකම ශ්‍රාවක පිරිසක් බවට පත්වූහ. ඒ අනුව ආගමික සහජීවනය සංහිඳියාව පසක් කරන වෙනත් ආගමක් නැති තරම් ය.

රෝහිණී නදියේ ජලය පිළිබඳ ගැටලුවට මැදි වූ ශාක්‍ය කෝලිය දෙපාර්ශවයටම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සියලු දෙයට වඩා ජීවිතය වටිනා බව ය. ගැටුමකට මුල පිරුණ එවන් අවස්ථාවන්හි දී පවා උන්වහන්සේ වහා වැඩම කර එකිනෙකා අතර සංහිඳියාවෙන් කටයුතු කිරීමේ වැදගත්කම දේශනා කළ සේක.

එකිනෙකා පිළිබඳව සුහදත්වයෙන් කටයුතු කළ යුතු වන්නේද, සමඟියෙන් සහජීවනයෙන් සිටීම වැදගත් වන්නේ ද මේ ලෝකය තුළ පවතින සියල්ලම අනිත්‍ය නිසාවෙනි. සියල්ල අනිත්‍ය බව සියලු ජනවර්ගයකටම පොදු ධර්මතාවකි. එසේ සිතා කටයුතු කිරීමෙන් ගැටුම් නිර්මාණය වීම අවම කරගත හැකි ය. අනවශ්‍ය ලෙස මිථ්‍යා මත වාද හෝ දැඩි මතවාද මත එල්බ සිටීමෙන් පටු සීමාවන්ට හිරවෙනවා විනා ජීවත්වීමට සුවදායක පරිසරයක් නිර්මාණය වන්නේ නැත. ලෞකික ලෝකය තුළ සදාකාලික කිසිවක් නොමැති බව පළමු කොට අවබෝධ කරගත යුතු ය. එම අවබෝධය තුළම සුහදව සහජීවනයෙන් ජීවත්විය හැකි වේ. රටවල් විශාල ප්‍රමාණයක් අල්ලාගත් ලෝකප්‍රකට මහා අධිරාජ්‍යයෙකු වූ ඇලෙක්සැන්ඩර් රජු මිය යන බව දැනගත් අවස්ථාෙවි දී සිදුකර ඇති ප්‍රකාශයෙන් එතුමා බෞද්ධයෙකු නොවුණද අවසාන වශයෙන් හෝ සමඟිය, සහජීවනය, සංහිඳියාව තුළ පැවැති වැදගත්කම පසක් කරගෙන ඇත. තමා මරණයට පත්වූ පසු තැන්පත් කළ දෙන අත්දෙක පහළට කඩා වැටෙන ලෙස සකස් කළ යුතු බවත්, රජු විසින් හම්බකරන ලද මුතු මැණික් යන සියලු වස්තූන් තම දේහය රැගෙන යන මාර්ගයට දමා එම වස්තු උඩින් දේහය රැගෙන යන ලෙසටත් ප්‍රකාශ කර ඇත. සොහොනක් නොසාදා තම දේහය මහ පොළොවට පස්වීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ප්‍රකාශ කර ඇත. මේ ලෝකයට පැමිණෙන විට කිසිවක් රැගෙන නොපැමිණි බවත්, මෙලොවින් සමුගන්නාවිට කිසිවක් රැගෙන නොයන බවත් ප්‍රකාශ කර ඇත. තමා අල්ලා ගත් සියල්ල තමා විසින් අතහැර දමන බව පෙන්වීම දැනගැනීමට දෑතම පහළට හෙළන බවත්, රැස්කළ කිසිවක් ගෙනයාමට නොහැකි වූ බවත් ලෝකයාට ප්‍රකාශ කිරීමට එසේ කරන බව දන්වා ඇත. එතුමා බෞද්ධයෙකු නොවුණ ද ලෝකයේ පවතින සත්‍ය වටහා ගැනීමට හැකි විය. එවැනි උදාහරණ ලෝකය තුළ කොතෙකුත් දැක ගත හැකි ය එසේ නම්, ජාති, ආගම්, කුල මල භේද ඇතිකර ගෙන ගැටුම් ඇතිකර ගැනීමෙන් පලක් නොවන බව ලෝක ඉතිහාසගත තොරතුරුවලින් ද අනාවරණය වේ.

නිවැරැදි සිහියකින් තොරව ආවේග මත කටයුතු කිරීමෙන් සහජීවනය පළුදු වේ . සුදුස්සාට සුදුසු තැන නොදීම , ඔවුනට හිමි විය යුතු වරප්‍රසාද වැළැක් වීම , මනුෂ්‍ය ඝාතනය, දේ පළ විනාශ කිරීම,වැනි ක්‍රියාවන් පාලනයකින් තොරව සිදුවන විට පළාත්, ආගම්, ජාති, රටක් වශයෙන් ගැටුම් නිර්මාණය වීම වැළැක් විය නොහැකි ය. දෙවන ලෝක සංග්‍රාමයත් සමඟ විනාශ වූ ජපානයට එවකට ජනාධිපතිව සිටි ජේ . ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළ “නහී වේරේණ වේරාණී සම්මන්තී ද කුධාචනං අවේරේණච සම්මන්තී ඒස ධම්මෝ සනන්ථනෝ ”යන ධම්ම පදයේ සඳහන් ගාථාව බොහෝ සේ ප්‍රයෝජනවත් විය. ජේ . ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුªමා ජපානයේ ජනතාවට පහදා දුන් වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. යන අදහසත් සමඟ ගොස් ඔවුන් දියුණු වූ නිසා ජේ. ආර්. ජයවර්ධන නාමයට අද පවා ජපානය තුළ විශේෂ සැළකීමක් දක්නට ලැබේ. ලෝකයේ රටක් වැටෙන විට එම රට කායිකව වැටුණ ද, මානසිකව ශක්තිමත් කළ හැකි බවට ධර්මාවවාද බුදු දහම තුළ ඕනෑ තරම් දක්නට ලැබේ.

වසර තිහක් පුරා සමස්ත රටම විනාශය කරා ඇද දැමූ යුද්ධයේ මූල බීජය ද, විවිධ කාරණාවන් ඔස්සේ හටගත් ද්වේශයෙන් අගතියට යාම ය. මිනිස් හැඟිීම් සඳහා ආගමක්, ජාතියක්,නැත. උසස් මනසක් ඇති මිනිසුන් ලෙස හැඟීම් පාලනය කරගෙන කටයුතු කිරීම මිස එය කුමන ජාතියකට, කුමන වර්ගයකට අයත් ද යන්න බැහැර කළ නොහැකි ය. සියලු දෙනාම එකම වගකීමෙන් බැඳි සිටී. රටක් ඇතුළත කල්ලි කණ්ඩායම් අනවශ්‍ය ලෙස ගොඩනැඟීම සුදුසු නොවේ. සාකච්ජාවෙන්, සම්මුතියෙන් විසඳාගත නොහැකි දෙයක් නැත. ඒ සඳහා සියලුම ආගමික නායකත්වයේ මැදිහත් වීම අවශ්‍ය බව සඳහන් කළ හැකි ය. ලෝකයේ පිළිගෙන තිබෙන ප්‍රධාන ආගම් හතරම අදහන මිනිසුුන් ලංකාව තුළ සිටින බැවින් ද, පූජ්‍ය පක්ෂය හා මිනිසුන් අතර පවතින බැඳීිම් හේතු කොටගෙන අන්‍යෝන්‍ය අවබෝධය පැතිරවීම සඳහා කිසියම් ආකාරයක මගපෙන්වීමක් ද කළ හැකි ය. ආගමික නායකත්වයේ ඉදිරිපත් වීමට සාමාන්‍ය ජන සමාජයෙහි විශාල පිළිගැනීමක් තිබෙන නිසාම තම තමන්ගේ ආගමික නායකයන් විසින් තම ආගමික පිරිසට අන්‍යෝන්‍ය සහජීවනය ඇතිවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පහදා දීමෙන් සමාජ සංහිඳියාව ගොඩනඟා ගත හැකි ය. ඒ ඒ ආගමට අයත් වන්දනීය පූජනීය ස්ථාන ආරක්ෂා කරගැනීම මෙන්ම තම ස්ථානයන්ට ගෞරව කිරීම සෑම ආගමකම පොදු ගුණ ධර්මයක් මිස එක ආගමකට පමණක් අයත් කාරණාවක් නොවේ. ආගම අවශ්‍ය වන්නේ මිනිසාගේ ආධ්‍යාත්මය සකසා ගැනීම සඳහා ය. එසේ වූ විට සොඳුරු සමාජයක අරුණැල්ල භුක්තිවිඳීමේ භාග්‍ය සියලු ජනතාවට උරුම වනු ඇත.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]