UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

අම්බලම්ගොඩ සුමංගල මහා නා හිමි

ගල්කිස්ස (රත්මලාන) තෙලවල පාර, ස්වර්ණමාලි විහාරාධිපති ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර චන්ද්‍රකීර්තී ශ්‍රී මහෝපාධ්‍යාය පණ්ඩිත ශාස්ත්‍රවේදී අග්ගමහා පණ්ඩිත අම්බලම්ගොඩ සුමංගලාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක මහා යතිවරයාණන්ගේ අපවත්වීම අනියත ධර්මතාවයේ තවත් එක් සැලකිරීමක් ලෙසින් මෙසේ සනිටුහන් කරමු. මෙලොවෙහි උපන් කවර තරමේ සත්ත්වයෙකුගේ වුවද අනිවාර්ය ධර්මතාව මෙලොව හැරයාම ය.

අනූ පස් වසරක් ආයු වින්දනය කොට එයිනුත් අසූ තුන් වසරක් පැවිදි සුවයෙන් කල් ගෙවා උපන් රටට හා උපන් ජාතියට හා විශේෂ කොට දෙලෝ වැඩ සලසමින් බුද්ධ ශාසනයටත් මේ වියත් නැණවත්, ගුණවත් සහෘද මහා යතිවරයාණන් වහන්සේ ඉටුකර ඇති මහඟු සේවය කෘතවේදී බෞද්ධ ජනයාට මෙන් ම සමීප දායකයන්හට සදානුස්මරණීය වූවක් ම ය. එදා දොළොස් වෙනි වියේ දී පමණ ශාසන ප්‍රව්‍රජ්‍යාවට පත්ව අප මහා යතිවරයාණන් ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක ආදී ප්‍රධාන සාමණේර වත් පිළිවෙත් විනයානුකූල සපුරාලමින් මහා සංඝයා වහන්සේලා මෙන් ම සිවුපසයෙන් උපස්ථාන කළ දායක දායිකාවන්ගේ සිත් සතුටට පත් කරමින් තම නිකායේ අග්‍ර වූ මහානායක පදවිය දක්වා පැමිණීමට උන්වහන්සේට හැකි වූයේ අම්බලම්ගොඩ ධම්මකුසල ගුරු දේවෝත්තමයන් වහන්සේ වැනි ශාසන භාරධාරී මහා යතිවරයාණන් වහන්සේලාගේ සෙවනේ ලැබූ අවවාදානුශාසනා මහිමයෙන් ම විය හැකි ය. තවද තම පැවිදි ජීවිතය සුන්දර පටිපදාවන්ගෙන් හා සෘජු ගති ලක්ෂණයෙන් ද පැවිදි අරමුණට ළංවිය හැකි ලෙසින් හා පහසුවෙන් පෝෂණය කළ හැකි පරිදි සාමීචි පටිපදාවන්ට අනුකූලව ගත කර ඇති හෙයින් ද තම නිකායේ මෙවන් පදවි හා තනතුරු ලාභියකු වූයේම ය.

බුද්ධශාසන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන බුද්ධභාෂිත පාලි ත්‍රිපිටක දේශනාවන් ධර්ම ගෞරවය ආරක්ෂා වන ලෙසින් නැවැත සරල සිංහලට පරිවර්තනය කෙරෙන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයට අප මහානායක හිමිපාණන් වහන්සේ දිගු කලක සිට සම්බන්ධ වී ඒ පරිවර්තන කාර්යයේ දී ඉටු කර ඇති සේවය අප මේ අවස්ථාවේ සිහිකරනු ලබන්නේ මහත් කෘතවේදීවම ය.

එදා තම ගුරු දේවෝත්තමයාණන් විසින් සද්ධර්මයේ උන්නතිය හා චිරස්ථිතිය සලකා ලියා ඇති ‘සද්ධර්ම සාගරය නම් වූ ධම්මපද වර්ණනා’ ග්‍රන්ථ මාලාවට සහායවීමෙන් ලබාගත් දැනුම හා ‘සිංහල අකුරු’ නමින් වූ ග්‍රන්ථය ප්‍රධාන කොට අප මහානාහිමි අතින් ලියැවුණු ග්‍රන්ථ කිහිපයකින් ලැබූ දැනුම් සම්භාරය අප පරිවර්තන මණ්ඩලය වෙත පරිත්‍යාග කළ අයුරු සිහිකරන්නේ ද “කතඤ්ඤු කතවේදීතා” ගුණ පෙරදැරිවම ය.

තමන් වහන්සේගේ පාණ්ඩිත්‍යයට උපහාරයක් සේ 2012 වසරේ මියන්මාර් රජයෙන් ‘අග්ගමහාපණ්ඩිත’ සම්මාන උපාධිය පිරිනැමිණි. අප මහානාහිමි වැනි අනතිමානී මහා පඬි යතිවරුන්ගේ හිඩැස පුරවාලනු සඳහා වර්තමාන දහර භික්ෂූන් වහන්සේලා විසින් තමාගේ ධර්මශාස්ත්‍රෝද් ග්‍රහණය සපුරාලීමට අදිටන් කරගන්නේ නම් එය ම බුද්ධශාසනයට ම මුළු ජීවිතය කැප කර ඇති මෙවන් උතුමන් වහන්සේලාට කළ හැකි උසස් ම උපහාරයකි. උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ අප මණ්ඩලයේ සාතිශය සංවේගය මෙයින් පළකරමු.

අග්ග මහා පණ්ඩිත අම්බලම්ගොඩ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ද තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ නිර්වාණ ධර්මය හැකි ඉක්මනින් අවබෝධ වේවා යනු අපගේ ප්‍රාර්ථනාවයි.


දෙදියවල දේවසුමන නා හිමි

දෙදියවල දේවසුමනාභිධාන කළුතර තොටමුණේ උප ප්‍රධාන සංඝ නායක නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය නිමිත්තෙනි.

කළුතර දෙදියවල ග්‍රාමවරයෙහි 1914 පෙබරවාරි මස 25 දින උපත ලැබූ උන්වහන්සේ ධර්මවිජය පිරිවෙනට වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීම සඳහා යොමු වූහ. උන්වහන්සේ 1936 දී කළුතර පානදුර දෙතොටමුණේ ප්‍රධාන සංඝ නායක ආඳාවල ශ්‍රී සාරානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ යටතෙහි පැවිදි බිමට ඇතුළත් වූහ. 1944 දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ සිය නා හිමියන්ගේ අපවත් වීමෙන් පසු 1945 සිට පුරා දසක හතක් විහාරාධිපතීන් වහන්සේ ලෙසින් පිරිවෙන් විහාරස්ථානයෙහි අභිවෘද්ධිය පිණිස කටයුතු කළහ.

ධර්මවිජය පිරිවෙන දර්ශනීය විහාරාංගයන්ගෙන් හෙබි මනරම් වූ පිරිවෙන් විහාරස්ථානයක් බවට පත්කිරීමට උන්වහන්සේට හැකි විය.

දේවසුමන නාහිමියන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ ද ඇගයීමට ලක් විය. ඒ අනුව උන්වහන්සේට “සද්ධර්ම කීර්ති ශ්‍රී” යන ගෞරව නාමය 1971 දී පිරිනැමිණි. තවදුරටත් ශාසනික කාර්යයන්හි උද්‍යෝගය ඇති කරනු වස් 1976 දී “සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ජිනවරවංස මංගල ධර්මකීර්ති ශ්‍රී සාරානන්ද” ගෞරව නාම සම්මුතිය සහිතව කළුතර තොටමුණේ උපප්‍රධාන සංඝ නායක පදවියට පත් කරන ලදහ.

‘දෙදියවල ශ්‍රී දේවසුමන අරමුදල’ රුපියල් පනස් ලක්ෂයක මුදලක් යොදවා අරඹන ලදී. සිය ශිෂ්‍යවරයන් සිය ආචාර්යයන් වහන්සේගේ ද විද්‍යස්ථානය වූ ලක්දිව සුපතල කීර්තිමත් විද්‍යස්ථානයක් වන විද්‍යෝදය පිරිවෙනට සම්බන්ධ කරමින් මනා උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළහ. මෙසේ ගුණාත්මක ශිෂ්‍ය පිරිසක් නිර්මාණය කරන්නට උන්වහන්සේට හැකි විය. ඒ වූ කලි ශාසනභ්‍යුදයට මහත් දායකත්වයක් විය. එ පමණක් නොව “කළුතර බෞද්ධ පාඨශාලාව” නමින් පවත්වාගෙන ආ ඉරිදා දහම් පාසල “ශ්‍රී දේවසුමන දහම් පාසල” නමින් පුනර්ජීවනයට පත්කොට ප්‍රදේශවාසින්ගේ දූ දරුවන් දෑහිතකාමී ගුණදහමින් සුපෝෂිත වූවන් පිරිසක් බවට පත්කිරීමට මග පෙන්වූහ.

සිය දිවිගමනේ අවසාන වසර කිහිපය තුළ වඩාත් කායිකව දුර්වල වූ උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය, සංස්කෘත භාෂාධ්‍යයනාංශයේ අංශාධිපති, නෙලුවේ සුමනවංස හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන්ගේ ආදර ගෞරව මැද සිය අවසන් කාලය ගත කළහ.

බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට ම සියලු සංස්කාර ධර්මයන්හි පවත්නා අනිත්‍යතාව මොනවට පසක් කරමින් නාහිමිපාණන් වහන්සේ 2015 දෙසැම්බර් මස 06 වනි දින සුගති පරායණ වූ සේක.

නාහිමිපාණන්ගේ අත්‍යුදාර ගුණකඳ සමරමින් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ආඳාවල දේවසිරි නා හිමිපාණන් හා ධර්මවිජය පිරිවෙනෙහි වත්මන් විහාරාධිපති මහාචාර්ය නෙලුවේ සුමනවංස හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද, දායක පිනැතියන් ද එක්ව 2017 දෙසැම්බර් 23 වන දින ගුණානුස්මරණ පින්කමක් පවත්වනු ලැබේ.


යහමුල්ලේ අනුරුද්ධ හිමි

අතුරලිය යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති වැලිගම් කෝරළේ උතුර අධිකරණ සංඝනායක යහමුල්ලේ අනුරුද්ධ හිමියෝ පැවිදි බව ලබා දෙසැම්බර් 20 වැනි දිනට වසර 53 ක් සපුරති. දෙසැම්බර් 28 වැනි දිනට 67 වැනි ජන්ම දිනය සමරති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට වසර සියයක් පිරීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් 1964 දෙසැම්බර් 20 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී යහමුල්ලේ එම්.කේ. චන්ද්‍රසේන නම් කුමරුවා යහමුල්ලේ අනුරුද්ධ හිමි නමින් පැවිදි විය.

ආචාර්ය ස්වාමීන් වහන්සේ වූයේ එවකට අතුරලිය ශ්‍රී සුදර්ශන පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දිසා පාලක ධුරන්දර කරගොඩ උයන්ගොඩ අරියසීල නා හිමියන් ය.

උගතමනා බණ දහම් ඉගෙන 1966 දී මාතර සිරිමංගල පිරිවෙනට ඇතුළත්වී මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1970 දී කොළඹ ජේතවන පිරිවෙනින් උසස් අධ්‍යාපනය හදාරා 1972 ජූලි 14 වැනි දින කැලණි නදී උදකුක්ඛෙප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ.

1977 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වූ අනුරුද්ධ හිමියන් ශාස්ත්‍රවේදී උපාධියද හිමිකර ගනිමින් අතුරලිය ආරාමයට වැඩම කළේ, සුදර්ශන පිරිවෙනේ උප ගුරුවරයකු වශයෙන් අධ්‍යාපන කටයුතු අරඹමින් පරිවෙණාධිපති ධූරය දක්වා විශ්‍රාම යනතුරු කටයුතු කළහ.

සිය ගුරුදේවයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද යහමුල්ලේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති ධූරයට පත්වූයේ 1990 දීය.

මේ විහාරස්ථානය අද වන විට සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ වූ රාජ්‍ය අනුග්‍රහය ලබන පුජා භූමියක් ලෙස සංවර්ධනය කළහ.

තවද ප්‍රදේශයේ ආගමික, සාමාජයීය හා සංස්කෘතික කටයුතුවල යෙදෙමින් ගමත්, පන්සලත් යා කැරෙන සංවර්ධන ව්‍යාපෘති රාශියක පුරෝගාමීව කටයුතු කළහ.

මෙවැනි උදාර සේවයක් ඉටුකළ, ඉටුකරන ඒ හිමියන්ගේ ජන්ම දිනයත් පැවිදි බිමට පත්ව වසර 53 ක් පිරීමත් නිමිතිකර ගනිමින් උන්වහන්සේට සෙත් පතා දෙසැම්බර් 15 වැනි දා සිට දෙසැම්බර් 31 දා දක්වා විශේෂ පින්කම් මාලාවක් විහාර කාර්යය සාධක සමිතිය මඟින් සංවිධානය කර ඇත.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]