UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

 

නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.


සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

150. මිනුවන්ගොඩ සම්මා සමාධි දහම් පාසලේ
10 ශ්‍රේණියේ
යූ. ජී. දසුනි කවින්ද්‍යා

151. මප/ හැ/ කලුගල මහ විදුහලේ
10 ශ්‍රේණියේ
යූ. එම්. මලිඳු දිල්ශාන්

152. මහනුවර – මහමායා බාලිකා විදුහලේ
8 ශ්‍රේණියේ
කේ. කේ. තමාෂා නෙත්මිණි කංකානම්ගේ

153. ගම්පහ - හේමමාලි බාලිකා විදුහලේ
10 ශ්‍රේණියේ
ඩබ්. ඒ. අනුෂා ගිම්හානි

154. ගම්පහ - හේමමාලි බාලිකා විදුහලේ
08 ශ්‍රේණියේ
ඩබ්. ඒ. ඉෂාරා හංසනී

155. මාරවල – සිරිසුමන දහම් පාසලේ
3 ශ්‍රේණියේ
ඉෂාරා ජයරත්න

156. ජය/ ආදර්ශ පිරිමි විදුහලේ
07 ශ්‍රේණියේ
ටී. හසිදු සදීප පෙරේරා

157. කු/ වටරැක මහා විදුහලේ
5 ශ්‍රේණියේ
එන්. ඩබ්. රශ්මි සංජුලා


සාලිය ජාතකය

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ දී දෙව්දත් තෙරුන් උදෙසා මේ ජාතකය වදාළ සේක. දම්සභා මණ්ඩපයේ සිටින භික්ෂූන් වහන්සේලා දෙව්දත් හිමියන් ගැන සාකච්ඡා කරන්නට වූහ. ඒ දෙව්දත් හිමියන් බුදුරදුන් විනාශ කරනු ලැබීමට ගත් උත්සාහය වැරැදී යාම ගැන ය. මේ ගැන ඇසු බුදුරජාණන් වහන්සේ පෙරත් මේ ස්ථවිර එසේම වී යැයි පහදා ඒ පිළිබඳ අතීත පුවත වදාළ සේක.

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය විචාළේ ය. එකල බෝධි සත්ත්වයෝ කෙළඹි පුත්‍රයකු ලෙස ඉපිද කුඩා දරුවන් පිරිසක් සමඟ ගසක් යට සෙල්ලම් කරමින් සිටිය හ. මෙ තැනට එක්තරා වෙදෙක් පැමිණියේ ය. ඔහුට එදින කිසිදු වෙදකමක් කිරීමට නො ලැබුණේ ය. ඒ නිසා මේ කුඩා දරුවන් මඟින් කිසියම් ප්‍රයෝජනයක් ගැනීමට කල්පනා කළේ ය. ඔහු එම ගසේ බෙනයක සර්පයකු සිටිනා බව දුටුවේ ය. එම සර්පයා ලවා ඒ ළමයින්ට දෂ්ට කරවීමත්, පසුව ඔවුන් සුවපත් කරවා ඔවුන්ගෙන් යම් ලාභයක් ගැනීමටත් සිතුවේ ය. ඔහු කොල්ලන්ට කීවේ ගස් බෙනයේ සිටිනා කුරුලු පැටව් අල්ලාගෙන සෙල්ලම් කරන ලෙස ය. බෝධි සත්ත්වයෝ බෙනය තුළ සිටින සර්පයා දුටුව හ. වහා ගෙලෙන් අල්ලා ඌ බිමට දැමූ හ. සර්පයා වැටුණේ වෙදාගේ ශරීරය මතට ය. සර්පයා වෙදාට දෂ්ට කළේ ය. ඒ විෂෙන්ම වෙදා මිය ගියේ ය.

අතීතයේ වෙදා වූයේ දේවදත්ත හිමියෝ ය. කෙළඹි පුත්‍රයා ලෙස උපන්නේ බුදුරජාණන් වහන්සේ ය. පුංචි අපට මෙයින් ගත හැකි උපදේශය නම් වංචාවෙන් අන් අය රැවටීමට හා නැසීමට උත්සාහ කිරීමෙන් තමන් ම නැසෙන බව ය.

විහඟි දිමන්සා ,
7 ශ්‍රේණිය,
හිල්වුඩ් විදුහල,
මහනුවර .


සිදුහත් උපත

ශාක්‍ය ජනපදයේ අගනුවර කිඹුල්වත් පුරය විය. එහි රජු වූයේ සුදොවුන් රජතුමා ය. එතුමාගේ අගමෙහෙසිය මහාමායා දේවියයි. ඇසළ සැණකෙළිය එකල පැවැත්වූ උත්සවයකි. සුද්ධෝදන රජතුමා ඇතුළු රජ පිරිස රට වැසියන් සමඟ සතුටින් එම උත්සවය පැවැත්වූහ. සතියක් පුරා පැවැති උත්සවය අවසාන වූයේ ඇසළ පුන් පොහොය දිනයේ දී ය. එදින නිදි යහනේ සිටි මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සුදු පියුමක් සොඬින් ගෙන දකුණු ඇලයෙන් තම කුස තුළට පිවිසෙන අයුරු සිහිනයෙන් දුටුවා ය. බමුණු පඬිවරුන් ප්‍රකාශ කළේ පින්වත් කුමරෙකු පිළිසිඳ ගෙන ඇති බවයි. දස මසක් පිරීමෙන් දේවිය දරුවා ලැබීම පිණිස පෙරහරින් දෙව්දහනුවර යාමට පිටත් වූවා ය. ලුම්බිණි නම් උයනේ මලින් පිරි සල් ගසක් යට දී බෝසත් කුමරු බිහි විය. එදින වෙසක් පුන් පොහෝ දිනයකි. මහාමායා දේවිතොමෝ බිළිඳු කුමරු ද කැටුව නැවත කිඹුල්වත් පුරයට පැමිණියහ.

චමත්කා නෙත්මිණි අබේසිංහ
6 ශ්‍රේණිය එෆ්,
ස්වර්ණමාලි බාලිකා විදුහල
මහනුවර.


උතුම් ගුණැත්තී

දස මාසයක් කුස තුළ මා දරාගෙන
ලේ කිරි කර පොවා මා දැඩි කරමින
සුරතල් බසින් මා නළවා තබා ගෙන
මා දැඩි කළා අම්මා දුක දරාගෙන

පාසල් ගොසින් මා එන තුරු වැටගාව
බලා සිටියේ අම්මානේ හැමදාම
මගෙ හදවතේ ඔබේ ගුණ කඳ රඳවාම
ඔබෙ පා පියුම් වඳිනෙමි මම හැමදාම

ඩබ්ලිව් උදාරා දනංජනී,
7 ශ්‍රේණිය,
ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල ,
කුලියාපිටිය.


උදෑසනක අසිරිය

හෙල්වැටි ගස් මුදුනින් ඉර පායා එන්නේ
මල්කැකුළුත් උදෑසනම විකසිත වෙන්නේ
කුරුලු රංචු කෑම සොයා පියඹා යන්නේ
ගොවිරාලත් උදෑසනින් කුඹුරට යන්නේ

සිහිල් සුළං ගත වට කර ගීත ගයන්නේ
කුසුම් පිපී හැම පෙදෙසම සුවඳ හමන්නේ
පුංචි ළමෝ පාසල වෙත පාද තබන්නේ
උදයේ අසිරිය මෙය යැයි ලොවට කියන්නේ

ඩබ්.එම්.ලිහිණි හර්සරා,
8 වන ශ්‍රේණිය,
පොරමඩුල්ල ජාතික පාසල,


සාරධර්ම රැක ගනිමු

සාරධර්ම මඟින් අපේ හැකියාවන් ඔප් නැංවෙ යි. අප අතර තිබෙන ආගන්තුක සත්කාරය ද එක්තරා සාරධර්මයකි. වත්මන් සමාජයේ සාරධර්මවලට ගරු කරන පිරිස ඉතා අල්ප ය.

වැඩිහිටියන්ට සැලකීම, ගුරුදෙගුරුන් නැමදීම, ආගමික නායකයන්ට ගරු කිරීම, පොදු දේපළ සුරැකීම, අසරණයන්ට පිහිටවීම, ආගමානුකූලව ජීවිතය සකසා ගැනීම සාරධර්ම අතුරින් ප්‍රධාන වෙයි.

පිරිහී යන සාරධර්ම ඇති සමාජයක ජීවත්වන දරුවන් ලෙස අපි ගිලිහී යන ඒ සාරධර්ම හඳුනාගෙන ඒවාට ගෞරව කිරීමටත්, ඒවා රැක ගැනීමටත් උත්සුක වෙමු. එවිට අනාගතයේ මේ රට බාරගන්නා අපගේ නංගිලාට මල්ලිලාට දෙන උතුම්ම දායාදය එය වෙයි.

නයන නෙසල කුමාරසිංහ ,
07 ශ්‍රේණිය,
උඩලවත්ත මහා විදුහල,
ගාල්ල.


අපේ විහාරය

සිතුමිදි සදින්නා පෙරේරා
2 ශ්‍රේණිය
ශ්‍රී රාහුල බාලිකා විදුහල
මාලඹේ.

 

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]