UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒ අම්මා කොතැන ද?

ඒ අම්මා කොතැන ද?

එදා සමාජයේ සිටි දරුවාගේ ළමා කාලය ගෙවුණේ අද දරුවන්ගේ ළමා කාලයට වඩා බොහෝ වෙනස් ලෙස ය.

එදා දරුවන්ට ළමා කාලයක්, යෞවනයන්ට යොවුන් කාලයක් මෙන්ම වැඩිහිටියාට වැඩිහිටි කාලයක් තිබුණි. අද දරුවා ළමා කාලයක් ගත නො කරම යොවුන් අවදියට පිවිසි ඇති බවක් හැඟේ. එදා කෙළිදොළෙන් දොළ පාර, නියර දිගේ ඇවිද ගිය දරුවන් වෙනුවට අද සිටින්නේ රූප පෙටිටිය ඉදිරියේ යාන්ත්‍රික වූ දරු පිරිසකි. එසේත් නැතිනම් දරා ගන්නටත් බැරි තරමට අමතර පන්ති යන දරු පිරිසකි. පාසල් ආ විගස අමතර පන්තිවලට දිවයන ඔවුන්ට සිතන්නට හෝ වෙහෙස නිවා ගන්නට වෙලාවක් නැත. ඒ පීඩනය ප්‍රකට කරන්නේ අනවශ්‍ය දෙයටත් ආවේගශීලි වීමෙනි. එදා අපේ සමාජයේ දරුවන් වැඩිහිටියන්ට සැලකුවේ බුදු දහමින් ලද පන්නරයෙනි. ඒ වගේම ඔවුන් වැඩිහිටියන්ව දුටුවේ බොහෝ දැනුමෙන් පෝෂිත ගුණගරුක පිරිසක් ලෙස ය. එහෙත් අද දරුවාට අන්තර් ජාලය හරහා ඕනෑම දෙයක් සොයා ගැනීමේ හැකියාව තිබේ. වැඩිහිටියන් නො දන්නා බොහෝ කරුණු දරුවා අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ට ද සොයා දෙයි. මේ නිසාම වැඩිහිටි සමාජය ගරු කළයුතු පිරිසක් නොවේ කියා දරුවාගේ සිතට කා වැදී ඇතැයි සිතිමට ද පුළුවන.

මීට කලකට පෙර, බුදු දහමෙන් පෝෂිත අපගේ සමාජයේ බොහෝ නිවෙස්වල ආත්තම්මාගෙන්, සීයාගෙන් දවසකට කතන්දර දෙක තුනක් හෝ අසන්නට ළමා ළපටියන් අමතක කළේ නැත. ඔවුන් ඒ කතා පරිසරය සිතින් මවාගෙන එහි රසය විඳ ගත්හ. ජීවිතය ගැන බොහෝ දේ ඉගෙන ගත්හ. අනාගතය සැලසුම් කළහ. එහෙත් අද දරුවාට රූප පෙට්ටියෙන් ඒ සියල්ල ම දැකගත හැකි නිසා එලෙසින් ම සිතිමේ අවශ්‍යතාවයක් නැත. මේ තත්ත්වය දරුවාගේ මනසට සේ ම අනාගතයට අයහපත් ලෙස බලපාන්නේ, යමක් සිතා බලා කටයුතු කරන ශක්තියෙන් හීනවන නිසාවෙනි. එනිසා ම ඔවුන්ගේ සංවේදී බව ද බොහෝ දුරට පලා ගොස් ය.

එදා අපේ මවුවරු සිය දරුවා නිදි කරවන්නට මිහිරි නැළවිලි ගී ගායනා කළහ. බුදුගුණ මිහිරි ලෙස සජ්ඣායනා කළහ. ලෝවැඩ සඟරාවේ, සුභාෂිතයේ කවි ද ඒ අතර විය. එහෙත් අද ඒ අම්මා කොහේදැයි සිතේ.

ආදී කාලයේ පවුලේ සතුට රඳා පැවතුනේ අම්මාගේ දක්ෂතාවය නිසා ය. ඇය බොහෝ අත්දැකීම් ඇත්තී ය. මෘදුගුණ ඇත්තී ය. ඇයගේ දයාව, කරුණාව නිසා දරුවන් ගුණ නැණින් පෝෂණය කර විය. ඇයගේ සෙවන දරුවන්ට සුවදායක ය. තාත්තා උපයන දේ අම්මා අරපිරිමැස්මට වියදම් කළේය. අද අපේ සමාජය බොහෝ වෙනස් ය. දුර්වල ආර්ථිකය ගොඩ ගන්නට අම්මා ද රැකියාවක් කරන්නට නිවසෙන් පිටවෙයි. ඇය ගෙදර නැති කාලයේ හිඩැස වඩාත් දැනෙන්නේ දරුවන්ට ය. පෙර අප සමාජයේ පවුල් ඒකකය ඉතාමත් සුන්දර තෝතැන්නක් ය. රාත්‍රී කෑම මේසයේ දී මුණ ගැසෙන දරුවන් හා මවුපියන් අතර දවසේ සිදු වූ සියලු දේ කතාබහට ලක්විය. දරුවන්ගේ හෙට දවස ගැන ද කතිකා විය. ඔවුන්ට අවවාද ලැබුණි. සියල්ලෝ ම එක්ව බුද්ධ වන්දනාව, පිරිත් සජ්ඣායනාව සිදු කළහ.

එහෙත් අද? සවසට නිවසට එන අම්මා සහ තාත්තා ඔවුන්ගේ වැඩ කටයුතු වලට සිර වේ. දරුවන් තමන් ගේ ලෝකවල තනි වේ. පවුලේ අය එකට ආහාර ගැනීමක් අද සමාජයේ දකින්නට නැති තරම් ය. බත්පත බෙදාගෙන සාලයට එන මවුපිය දූ දරුවෝ රූප පෙට්ටිය ඉදිරියේ ගොළු වෙති. පවුල් අවුල් කරන, මිනිසුන්ගේ නුවණ හීන කරන, සිල්පද බිඳ දමන කතා එකට සිට නරඹති. ඔවුන්ට දවසේ සිදු වූ සිදුවීමක් ගැන හෝ කතිකා කිරීමට අවස්ථාවක් නැති තරම් ය. බුදු දහමින් පෝෂිත වූ අපගේ සමාජයේ පෙර නොවූ විරූ දේ අසන්නට දකින්නට ලැබෙන්නේ මේ නිසා නොවේ ද?

සසරට වැටුණු අසරණ අප ඉන් මුුදවන ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය අදටත් අපට ඇසේ. අවබෝධයෙන් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, දරුවාට, මවුපියන්ට, ඥාතින්ට යහළුවන්ට ඒ දහම් මග හුරු කරවන්න. ඉන් ගිනිගත් ලොවක් නිවා සැනසිය හැකිවෙයි.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]