UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිසුදු මනස සහජීවනය උදා කරයි

පිරිසුදු මනස සහජීවනය උදා කරයි

"ගැටුම්වලින් තොරව සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමේ වැදගත්කම ඉතා හොඳින් සහ නිරවුල්ව දේශනා කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ අපමණ වෙහෙසක් දරා අවබෝධ කරගත් මෙම වටිනා දහම පුරා ම දක්නට ලැබෙන්නේ. මිනිසා හා සමාජය මුහුණපා සිටින ඉතා සංකීර්ණ ගැටලු විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙනි. "

ගැටුම යන්න සරලව අර්ථ දක්වන්නේ නම් දෙපාර්ශ්වයකට හෝ පාර්ශ්ව යන් කීපයක සමගාමී වූ අභිප්‍රායන් හෝ අවශ්‍යතාවන් තෘප්තිමත් කළ නොහැකි අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ගැටුම නිරාකරණය යනු ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් නැවත ඇති නොවීමට හේතුවිය හැකි, ගැටුමට නිදන්ගත වු හේතු සාධක ඉවත්කර ගැනීමෙන් ලබාගන්නා වූ සම්පූර්ණ ප්‍රතිඵලයයි.මෙහිදී සිදු කරන්නේ ගැටුම් මර්දනය කිරීම නොව තිරසාර හෙවත් ධරණීය සාමය උදෙසා ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී මැදිහත්කරුවන් වඩාත් සබුද්ධිකව ඉවසීමෙන් හා විමසීමෙන් ක්‍රියා කළ යුතුව ඇත. සිත් රිදෙනසුළු ආවේගකාරි ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතු අතර, අදාළ පාර්ශ්ව සිය චර්යා හා ආකල්ප වෙනස් කර ගන්නා ආකාරයේ සංවේදී එළඹුමකට ප්‍රවේශ විය යුතුයි.

ඒක පාර්ශ්වීය වීම, වෛරය, හිංසාව, පළිගැනීම සහිත ක්‍රියාමාර්ග තුළින් ගැටුම්වලට විසඳුම් සෙවීම කළ නොහැකි දෙයකි. ගැටුමේ ස්වභාවය, එය පැතිරීම ගවේෂණය හා අවබෝධය ගැටුම් නිරාකරණයේ දී අවශ්‍යම වේ. ගැටුම් හටගැනීමට බලපා ඇති විවිධාකාර සමාජ ආර්ථික දේශපාලන හේතු හඳුනාගෙන එම ව්‍යුහාත්මක හේතුවලට පිළියම් පුළුල් සමාජ හා දේශපාලන විසඳුම් ලබාදෙන ගමන් ම මානව ධර්මතා හර පද්ධතීන් හා සමාජ ආගමික වටිනාකම් පුළුල් ලෙස සමාජගත කළ යුතු ය.

අප සමාජයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ එකතු වී සහජීවනයෙන් ජීවත්වීමට ගන්නා ප්‍රයත්නයන්ට වඩා බෙදී සිටීමට අවශ්‍ය කරුණු කාරණා සොයන ආකාරයකි. සාර්ව අනන්‍යතාවය අභිබවා ගිය සූක්ෂම අනන්‍යතාවය ප්‍රශ්න කිරීම ද එකාවන්ව ජීවත්වීමට ඇති බාධාවකි. එමෙන් ම වැරැදි ආකල්ප සමාජගත කිරීම ද සාමයට හා එක්සත්ව විසීමට බාධකයකි.

ගැටුම්වලින් තොරව සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමේ වැදගත්කම ඉතා හොඳින් සහ නිරවුල්ව දේශනා කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ අපමණ වෙහෙසක් දරා අවබෝධ කරගත් මෙම වටිනා දහම පුරා ම දක්නට ලැබෙන්නේ. මිනිසා හා සමාජය මුහුණපා සිටින ඉතා සංකීර්ණ ගැටලු විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙනි.

ගැඹුරු ජීවන දර්ශනයක්

බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජය තුළ ඇතිවන ගැටලු අස්වාභාවික ලෙස නොදකී. අසුභවාදි හෝ සුභවාදි ලෙස ද නොදකී. විසඳුම් නොමැති ගැටලු ලෙස ද දකින්නේ නැත. යම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් ඇති වූ විට එදෙස මුල සිට අග දක්වා විචාරශීලිව හා විධිමත්ව කරුණු විමසා බැලීමේ ක්‍රමයක් උන්වහන්සේ දේශනා කර ඇත. එමගින් මිනිසා මුහුණපාන ඕනෑම ගැටලුවක් විසඳාගත හැකි බව බුදුසමය අවධාරණය කරයි. ඔබ අප ජීවත්වන සමාජය ගැටුම්වලින් තොර වඩාත් සුන්දර එකක් බවට පත්කර ගත හැකි ආකාරයේ ඉතාමත් වටිනා ගැඹුරු ජීවන දර්ශනයක් බුදුදහම හඳුන්වා දී ඇතත් එය භාවිතයට නොගන්නේ මන්ද? යන්න ගැටලුවකි.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායට අයත් රෝග සූත්‍රයේ දී දේශනා කර ඇත්තේ මිනිසාට වැළඳෙන රෝග දෙකක් ඇති බවයි. එනම් කායික රෝග හා මානසික රෝගයි. මෙහි දී මානසික රෝග හට ගැනීමට මුල් වන මනෝභාවයන් තුනක් පැහැදිලි කරයි. එනම් ලෝභ, ද්වේශ හා මෝහය යි. මෙම මනෝභාවයන් මගින් ඕනෑම මිනිසකු නරක පුද්ගලයකු බවට පත් කළ හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මිනිස් මනස

අරගලවලට,භේදභින්න තත්ත්වයන් ඇති වීමට, විවිධාකාර ගැටුම්වලට මුල්වනුයේ මෙම මනෝභාවයන් ය. මෙම පාපී සිතිවිලි මගින් මමත්වයෙන් යුතුව, තමන් ගැන පමණක් සිතන, තමා අයත් ජනවර්ගය පමණක් උසස් යැයි සිතන මානසික තත්ත්වය වර්ධනය කරයි. අනෙකුත් ජනවර්ග පහත් කොට තමන්ගේ ජනවර්ගය, ආගම පමණක් උසස් ය යන මානසික සිතිවිල්ල ප්‍රකාශිත ගැටුමකට මූලබීජයන් සපයයි. සියලු අයිතීන් සහ වරප්‍රසාද තම ජනවර්ගයාට පමණක් ලැබිය යුතු ය, තමන්ගේ ආගමික කණ්ඩායමකට පමණක් වරප්‍රසාද දිය යුතුය යන සිතිවිලි සාමයට සහ සහජීවනයට බාධා පමුණුවන බව බුද්ධ දේශනාවේ අන්තර්ගත වේ. ගැටුම් මුලින් ම හටගනුයේ මිනිස් මනසේ ය. බුදුරදුන් වදාළ ධර්මයට අනුව අපිරිසිදු මනස පිරිසුදු කරගත යුතු ය. එවිට ගැටුම්කාරි තත්ත්වය සමාජයෙන් ක්‍රමානුකූලව පහව ගොස්, සාමය සහ සහජීවනය ගරුකරන සමාජයක් නිර්මාණය වීමට අවැසි සමාජ පසුබිම සැකසේ.

විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බුදුරදුන් ළඟට පැමිණි බමුණන්ගේ පටු දෘෂ්ටිවාද උන්වහන්සේ එකහෙලාම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ජාතිවාදී, කුලවාදී ගෝත්‍රවාදී අදහස් ධර්මානුකූලව බැහැර කළ බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක දී තමන් අයත් ජනවර්ග උසස් ය, අනෙක් අය පහත් යයි සිතීමට ඉඩකඩ සැලසුවේ නැත.

පටු භේද

ඕනෑම ජනවර්ගයකට, කුලයකට, ගෝත්‍රයකට අයත් අය බුදුරදුන් තම සංස්ථාවට බඳවා ගත්තේ ය. නූතනයේ වුවත් සිංහල,දෙමළ, මුස්ලිම් ඕනෑම ජනවර්ගයකට අයත් කෙනෙකුට බුදුසසුනේ පැවිදිවීමේ නිදහස තිබේ. කුමන ජනවර්ගයකට අයත් වුව ද ඒ සියලු දෙනාම සලකනුයේ මහා සංඝරත්නය ලෙසයි. මෙයින් පැහැදිලි වන්නේ, පටු වර්ගවාදය , කුලවාදය,ජාතිවාදය මිථ්‍යාවක් බව නොවේද? අද අප සිංහල වුවත් ඊළඟ උපත කෙසේ වේදැයි අපට කිව හැකි ද?

වසල සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වාදී ඇත්තේ කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් නොවන බවයි. වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වනුයේ කරනු ලබන ක්‍රියාව අනුවයි. වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුරදුන් මිනිස් වර්ගයාම එකම ජාතියකට අයත් බව තර්කානුකූලව පෙන්වා දී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඉගැන්වෙන සමානාත්මතා ධර්මය බෞද්ධ බහුතරයක් වසන රටක ප්‍රායෝගික තලයට ගෙන ඒම ඉතා පහසු විය යුතු ය. එසේ නොවන්නේ මන්ද යන්න අප විමසා බැලිය යුතු ය. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව මිනිසුන් වශයෙන් අප සියලු දෙනාම එකම මිනිස් කුලයකට අයත් බව ඉතා පැහැදිලි ය.

ජීව හිතවාදීබව

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දේශනා කර ඇත්තේ මෛත්‍රිය සියලු ලෝකවාසීන් වෙත පතුරුවා හරින ලෙසයි.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!

මෙම මෙත් වැඩීමට අයත් වන්නේ අප රටේ බෞද්ධ ජනතාව පමණක් නොවේ. තායිලන්ත බෞද්ධයන්, මියන්මාර බෞද්ධයන් මෙන් ම සමස්ත ලෝකවාසී ජනතාව ම අයත්වන බව අප තේරුම් ගත යුතුව ඇත. එපමණක් නොව, විශ්වයේ ජීවත්වන සියලුම ජීවලෝකය එයට ඇතුලත් වෙයි. මෙම ප්‍රාර්ථනාව තුළ දක්නට ඇත්තේ මානව හිතවාදී බව ඉක්මවා ගිය සමස්ත ජීව හිතවාදි භාවයයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වායි ප්‍රාර්ථනා කොට සෙසු ජන වර්ගවලට වෛර කළ නොහැක.

සියදිවි නසා ගැනීමටද බොහෝ විට මුල්වී ඇත්තේ වෛරී සහගත සිතිවිලි ය.

බුද්ධ ඝෝෂ හිමියන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ කරුණාව සහ ප්‍රඥාව මූර්තිමත් කළ උතුමාණන් ලෙසිනි. “කරුණා සීතල හදයං – පඤ්ඤා පජ්ජොත විහත මෝහතමං” බුදුරදුන්ගේ දර්ශනයේ පදනම වන්නේ කරුණාව හා ප්‍රඥාවයි. මෙම කරුණා ගුණය ජීව, අජීව සමස්ත ලෝක විෂය වෙත එක හා සමාන ලෙස උන්වහන්සේ පැතිර වූ සේක.

සාමයේ අර්ථය

සිය ශ්‍රාවකයන් වෙත අවධාරණය කළේ ජාති, ආගම්, භාෂා , කුල, ප්‍රදේශ අනුව වෙනසක් නොමැතිව කරුණාව පතුරුවන ලෙසයි. දඬුවමට , මරණයට තමන් බිය වන්නාක් මෙන් ම සෙසු සියලු සතුන් ද බිය වන බව නිතර මෙනෙහි කිරීම් පෙරදැරි කරගෙන ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ජලය බෙදා ගැනීමේ දී ඇති වූ ගැටුම බුදුරජාණන් වහන්සේ ඍජු ලෙස ම මැදිහත්ව විසඳුවේ සාමයේ අර්ථවත් බව ලෝකයාටම වටහා දෙමිනි. කොසඹෑ නුවර ධර්මධර සහ විනයධර භික්ෂූන් අතර ඇති වූ ගැටුම සමගියේ ආනිශංස පෙන්වා දෙමින් විසඳීමට ගත් උත්සාහය අසාර්ථක වූ විට බුදුරදුන් පාරිලෙය්‍ය වනයට වැඩම කර හුදකලාව ජීවත්වීමෙන් සාමයේ වැදගත්කම අවබෝධ කරදීමට උත්සාහ ගත්තේ ය. මෙසේ බුද්ධ චරිතය තුළින් මෙන් ම බුද්ධ දේශනා තුළින් බෙදී වෙන් නොවී ජීවත්වීමේ වැදගත්කම අර්ථවත් ලෙස පෙන්වාදී ඇත.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]