UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශවත් යුග මෙහෙවරක නියමුවාණෝ

ආදර්ශවත් යුග මෙහෙවරක නියමුවාණෝ

තමන් සතු දේ අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.ඊට හේතුව ලෝභය නම් අකුසල මූලය සිතෙහි මුල් බැස ගෙන තිබීම ය. එහෙත් අලෝභය නමැති කුසල මූලය පෙරට ගෙන සමස්ත සමාජයේ යහපත උදෙසා රුපියල් කෝටි ගණනක මුදලක් පරිත්‍යාග කිරීම කෙතරම් නම් ආදර්ශවත් ක්‍රියාවක් ද?

මෙරට ශාසනවංශ කතාවෙහි අමරණීය යුග මෙහෙවරක නිරත වන සංඝපීතෘන් වහන්සේ නමකගේ උදාර මෙහෙවරෙන් බිඳක් පිළිබඳව මෙම ලිපියේ සටහන් තැබේ.

අත්තනගල්ල රජමහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනේ ව්‍යාප්තියට සහ චිරස්ථිතියටත් අධ්‍යාපනයටත්, සෞඛ්‍යයටත් පොදුවේ සමස්ත සමාජයටත් ඉටුකළ සහ දැනුදු ඉටු කරනුයේ අනගි මෙහෙවරකි. පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් ත්‍රිපිටක දහම සහ විදේශීය භාෂා රැසක් හදාරා ලොව රටවල් රැසක ධර්මදූත මෙහෙවරෙහි නිරතවන යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේ අත්තනගල්ල රජමහා විහාරය සියලු විහාරාංගයන්ගෙන් අංග සම්පූර්ණ කළහ.

අත්තනගල්ල රජමහා විහාරස්ථ ශ්‍රී පතිරාජ සාමණේර භික්ෂු පුහුණු ආයතනය අරඹා එමගින් ත්‍රිපිටක දහම ප්‍රධාන ජාත්‍යන්තර භාෂා පුහුණු කරමින් සාමණේර හිමිවරුන් රැසක් සදහම් අමා දහමෙන් පෝෂණය කිරීමට මුල් වූහ.


පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා තෙමහල් භික්ෂු නේවාසිකාගාර දෙකක් සහ දෙමහල් නේවාසිකාගාරයක් ඉදිකර වූහ.

සුනාමි විපත පැමිණි අවස්ථාවේ ඊට ගොදුරු වූ පවුල් 350 ක් වෙත නව නිවාස ඉදිකරවා ඔවුන් වෙත පිරිනැමූහ. ස්වාභාවික විපත් පැමිණි සෑම මොහොතක ම රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැයකර ඒ ඒ පළාත් වාසීන් වෙත මහත් කාරුණිකව පිහිටවූහ. රෝහල් ගොඩනැගිලි, පුස්තකාල, බුද්ධ මන්දිර, ධර්ම මන්දිර විවිධ ප්‍රදේශයන්හි ඉදිකර පරිත්‍යාග කළහ.

මෙසේ ආගමික, ශාසනික, සෞඛ්‍යය හා සාමාජික මෙහෙවර රැසක් සිදුකළ පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දහම් පාසල් අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා සුවිසල් මෙහෙවරක නිරතව වැඩ වෙසෙති.

වෛද්‍ය සිසුන් හැට දෙනෙකු ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් පාසල් දරුවන් 800 දෙනෙකු වෙත මාසිකව ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ වසර කිහිපයක සිටය. සෑම මසක ම පළමු සෙනසුරාදා දින අත්තනගල්ල රාජමහා විහාරයේ දී එම සද්ක්‍රියාව උන්වහන්සේගේ සුරතින් ම සිදු කෙරේ.

මෙයට වසර කිහිපයකට පෙර පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ උදාර කටයුත්තක් උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව අත්තනගල්ල, වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනෙහි කාමර 24 කින් යුත් දානශාලාව පුස්තකාලය සහිත ගොඩනැගිල්ලත්, කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත් දඹාන ආදිවාසී දරුවන් සඳහා දහම් පාසල් ගොඩනැගිල්ලත්, කිරිඳිවැල ශ්‍රී සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ කලා සෞන්දර්යය දෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි විද්‍යාගාර තෙමහල් ගොඩනැගිල්ලත් උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර සිසු අයිතියට පත් කර ඇත.


ගොඩනැගිල්ලට මුල්ගල තැබූදා... දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමියෝ ද සේයාරුවේ වෙති

උන්වහන්සේ විසින් ඉදි කරවන ලද නිට්ටඹුව තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල මෙම 17 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත ය.

උන්වහන්සේ විසින් සිදුකරන මෙම මහඟු මෙහෙවරේ දී ජාති, ආගම් ආදී පටු භේදයන්ගෙන් දුරස්ව ජාතීන් අතර සුහදතාවය, සහජීවනය, ගොඩනැංවීම සඳහා ක්‍රියා කිරීම රටට ආදර්ශවත් ක්‍රියාවකි. බුදු මග අනුව යමින් පටු භේදවලින් තොරව ක්‍රියාකිරීමේ ආදර්ශය ලොවට නිහඬව කියාපාන උන්වහන්සේ අනාගත පරපුර නැණ ගුණ පිරි සමාජයක් අභිලාෂයෙන් කරන කැපකිරීම පැසසිය යුතු ය. සාමයත්, සහජීවනයත් ලොවට අවැසි මොහොතක ඊට ආදර්ශයෙන් ම දායකත්වය සපයන පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ එම යුග මෙහෙවර මෙරට ශාසන වංශ කතාවෙහි රනින් සටහන් වනු ඇත.

උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත්, නිට්ටඹුව සංඝ බෝධි මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක් ඉදි කෙරේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ ද පාසල් ගොඩනැගිල්ලත් උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරමින් පවතී.

මෙසේ පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ සද්ක්‍රියාව සඳහා පමණක් පන්නිල ආනන්ද නාහිමියන් දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි පහකට අධික ය.

සියවස් ගණනාවකට කළ නොහැකි තරමේ මෙවන් මහඟු මෙහෙවරක් ඉටු කිරීමට දෙස් විදෙස් කිසිවකුගෙන් කිසිඳු මුදලක් උන්වහන්සේ මෙතෙක් ඉල්ලා නොමැතිවීම ද සුවිශේෂී කරුණකි. උන්වහන්සේගේ මෙම උදාර මෙහෙවර දකින විදේශීය දානපති හිතවත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය, සහාය ඊට නොඅඩුව ලැබෙන බව උන්වහන්සේ කෘතවේදීව පින්දෙමින් සිහිපත් කරති.

සසුනඹරේ මහ පහන් ටැඹක් වන් පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සම්බුදු සසුනත්, රටත්, සමාජයත් වෙනුවෙන් තව තවත් මහ මෙහෙවර ඉටු කිරීමට තෙරුවන් සරණින් කායික මානසික ශක්තිය පතමු.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]