UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

වගේගොඩ සීලානන්ද නා හිමි

ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝ නායක, කතානියා සිසිලි බෞද්ධ විහාරාධිපති ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ඛේමානන්ද” වගේගොඩ සීලානන්ද නාහිමියන් ප්‍රවෘජ්‍යා භූමියට පත්ව 2017 මැයි මස 22 වන දිනට වසර පනහක් සපිරිණි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් අතුරින් ඉතාලියේ ජීවත්වන වන 5000 කට ආසන්න ප්‍රමාණයක් සිසිලියේ මෙම ප්‍රධාන නගර ආශි‍්‍රතව ජීවත් වෙති. මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈත විදේශයක, රැකියාවක් සමඟ දිවි ගෙවන ලාංකිකයන්ගේ ආගමික අවශ්‍යතාවයන් නොපිරිහෙලා මැනවින් ඉටුකර දීමට සීලානන්ද නාහිමියෝ අපමණ වෙහෙස වී කටයුතු කරති.

මාසික සීල සමාදාන වැඩසටහන, මාසික කිරි ආහාර පූජාව, සෑම ඉරුදිනකම පවත්වන අටවිසි බුද්ධ පූජාව, වාර්ෂික කඨින මහා පූජෝත්සවය, වාර්ෂික කිරි අම්මාවරුන්ගේ දානය, වෙසක් උත්සවය, සිංහල අවුරුදු උත්සවය, පොසොන් මහා පෙරහර යන පින්කම් සහ දහම් පාසල සීලානන්ද නාහිමියන්ගේ සංකල්ප මත ලාංකික ප්‍රජාවගේ හිතසුව පිණිස විහාරස්ථානය මගින් සිදුකරනු ලබයි.

තමා හමුවට පැමිණෙන ඕනෑම පුද්ගලයකු ජාති ආගම් භේදයකින් තොරව ඉතා සුහදශීලීව සිනාමුසු මුහුණින් පිළිගැනීම, සංග්‍රහ කිරීම, අවශ්‍යතා සොයා බලා ඉටුකර දීම හා ආගන්තුක සත්කාරය සීලානන්ද නා හිමියන්ගේ චරිතයේ ආවේණික ලක්ෂණයි. යුරෝපයට වැඩම කරන මහා සංඝරත්නයත්, මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූවරයනුත් සිසිලි බෞද්ධ විහාරයට ද මදකට හෝ ගොඩ වැදී යන්නේ නාහිමියන් තුළ පවතින එකී මිත්‍රශීලී භාවය හා අනතිමානී ගුණය නිසාවෙනි.

සීලානන්ද නාහිමියෝ 1956 දෙසැම්බර් 12 වන දින හම්බන්තොට, තංගල්ල, වගේගොඩ ග්‍රාමයේ දී උපත ලබන්නේ ඇම්.ඇම්. ෆ්‍රැන්සිස් උපාසක මහතාගේ හා නන්දාවතී ඒකනායක මහෝපාසිකා මාතාවගේ පුත්‍රරත්නයක් ලෙසය. රන්න මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී දොළොස්වන වියට පා තබන අවස්ථාවේ 1967 වෙසක් මස 22 දින ගලගම ශ්‍රී ඛේමානන්ද නා හිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයෙක් වශයෙන් වගේගොඩ සීලානන්ද යන ශාසනික නාමයෙන් සසුන්ගත වූහ.

එතැන් පටන් ස්වකීය විහාරස්ථානය වූ අම්බලන්තොට වාඳුරුප්පේ ථේරපුත්තාභය රාජමහා විහාරයේ දී මූලික බණ දහම් ප්‍රගුණ කොට අනතුරුව තංගල්ල කුඩා විහාර ශ්‍රී ධම්මදින්න පිරිවෙනින්, මාතර පුෂ්පාරාම පිරිවෙනින් හා මාතර ශ්‍රී සුදස්සී පිරිවෙනින් තම මූලික අධ්‍යාපන කටයුතු නිම කොට මාතර මහා මන්තින්ද පිරිවෙනින් උසස් අධ්‍යාපන කටයුතු නිම කළහ. විසිවස් සපිරෙන අවස්ථාවේ එවකට ථේරපුත්තාභය රාජමහා විහාරාධිපතිව වැඩ විසූ ගලගම ශ්‍රී පේමරතන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබාගත් සීලානන්ද හිමියෝ එතැන් පටන් තමන් වහන්සේ අධ්‍යාපනය ලැබූ මාතර මහාමන්තින්ද පිරිවෙනේ ආචාර්ය ධූරයට පත් වූහ. ධර්මදූත සේවය සඳහා 1990 මැලේසියාවට වැඩම කළ මුන් වහන්සේ එතැනින් තායිලන්තයටද 1992 දී ප්‍රංශයට ද වැඩම කළහ.

වගේගොඩ සීලානන්ද හිමියෝ සිසිලි දූපතට වැඩම කර එහි ස්ථිර වශයෙන් ධර්මදූත සේවාව ආරම්භ කරන්නේ 2002 දීය. එතැන් පටන් මේ වනතුරු එම දූපතේ තිබෙන ප්‍රධාන නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ආගම් ,ජාතිබේදයකින් තොරව සුවිශාල සේවාවක් සිදු කිරීම කාගේත් ප්‍රසංශාවට හේතුවක් වී ඇත. සිසිලි බෞද්ධ විහාරය මඟින් සිදුවන සේවාව අමිලය. ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ඉතාලි ජාතිකයන්ගේ පවා අවශ්‍යතාවය මනා ලෙස ඉටු කරන පුණ්‍ය භූමියකි. ලෝක ශාසනික සේවාවෙහි නියැලි වගේගොඩ සීලානන්ද හිමියෝ ස්වකීය ගුරුවරයාගේ අපවත් වීමෙන් පසු අම්බලන්තොට, වාඳුරුප්ප ථෙරපුත්තාභය රාජ මහා විහාරය, කළුතර බේගමුව පුරාණ ගංගාතිලක විහාරය, හම්බන්තොට සීලවිමල සමුද්‍රාරාම විහාරය යන විහාරස්ථානවලද ආධිපත්‍යයට පත්වූහ.

සීලානන්ද හිමියන්ගේ මෙම ආගමික, ශාසනික හා ජාතික සේවාවන් අගයමින් 2012 දී මහනුවර මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවරප්‍රමුඛ විංශද්වර්ගික කාරක සංඝ සභාව විසින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ඛේමානන්ද’ යන ගෞරව නාමය සහිතව ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද සම්භාවනාවටද පත්විය.


මුංහේනේ මෙත්තාරාම නා හිමි

සේරුවාවිල මංගල රාජ මහා විහාරාධිපති දොම්පේ පාළුගම භාවනා අසපුව අනුශාසක කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මුංහේනේ මෙත්තාරාම නා හිමියෝ සුපේෂල ශික්ෂාකාමී යතිවරයෙකි. උන් වහන්සේගේ 55 වැනි ජන්ම දිනය මැයි මස 17 වෙනි දිනට යෙදී තිබීම නිමිත්තෙන් නා හිමියන්ට දිගාසිරි පැතීමේ පින්කම් මාලාවක් එදින සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයේදී සිදු කෙරිණි.

කළුතර දිස්ත්‍රික්කයේ මුංහේන ග්‍රාමයේදී උපත ලැබූ මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ මව්පියන් වන්නේ රොසලින් හීනටිගල සහ වෙල්ගම ලියනගේ ජේම්ස් අප්පුහාමිය. මුංහේනේ කනිෂ්ඨ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබු වෙල්ගම ලියනගේ මෙත්තානන්ද නම් වූ මේ දරුවා කුඩා කල පටන්ම භික්ෂූන් වහන්සේට දැක්වූයේ දැඩි ඇල්මක් සහ කැමැත්තකි.

වයස අවුරුදු 11 සපිරිවිට 1972 නොවැම්බර් 17 වෙනි දින දොඩංගොඩ සෝරත ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා නවුත්තුඩුවේ පඤ්ඤාසේකර නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් එම දරුවා මෙත්තාරාම නමින් පැවිදි ජීවිතයට ඇතුළත් කරනු ලැබීය. විද්‍යාලංකාර මහා පිරිවෙනෙන් ඉගෙනුම ලැබූ උන්වහන්සේ සේරුවිල මංගල රාජ මහා විහාරය සමග සමීප සබඳතා ඇතිකරගත්හ. දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර හා සේරුවිල සරණකිත්ති යන නා හිමිපාණන් වහන්සේලාගෙන් මෙත්තාරාම හිමියන්ට අවශ්‍ය කරන මග පෙන්වීම හා ගුරුහරුකම් ලබා ගත්හ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ විශේෂ ගෞරව උපාධිය හැදෑරූ මෙත්තාරාම හිමියෝ විශේෂයෙන් ත්‍රස්තවාදී උවදුරු පැවති වකවානුවේ සේරුවාවිල පුද බිම අතහැර නොගොස් සිද්ධස්ථානය රැකබලා ගැනීමට බෙහෙවින් උපස්ථම්භක වූහ.1982 දී දඹගස්ආරේ සුමේධකංර නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උපසම්පදාව ලැබූහ.

දර්ශනය පිළිබඳ විශේෂ ගෞරව උපාධිය සමත් වීමෙන් පසු අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවතීර්ණ වු මෙත්තාරාම හිමියෝ පසුව පාසැල් ගුරුවරයෙකු වශයෙන් කොටිකාවත්ත ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු කළහ. පසුකාලීනව භාවනා වැඩසටහන් පළිබඳ උනන්දුවක් දැක්වු උන්වහන්සේ දොම්පේ පාළුගම භාවනා අසපුව ආරම්භ කිරීමට උත්සුක වූහ. අවශ්‍ය ගොඩනැගිලි භාවනා කුටි ධර්මාශාලා ආදිය ඉදිකරමින් කාමර 05 ක් අවසන් වන විට දොම්පේ පාළුගම භාවනා අසපුව භාවනා අසපුවක් වශයෙන් යෝගාවචර භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා සකස්කර ගන්නට මෙත්තාරාම හිමියෝ සමත් වූහ. පසු කලෙක සේරුවාවිල සරණකිත්ති අනු නා හිමියන්ගේ අනුශාසනා මත නව වැඩ පිළිවෙළක් ආරම්භ කරමින් රංජිත් සූරියප්පේරුම මහතාගේ මූලිකත්වයෙන් සේරුවිල චෛත්‍යවර්ධන සමිතිය යළි ආරම්භ කළ උන්වහන්සේ නව දායක සභාවක් පිහිට වූහ.

මුංහේනේ මෙත්තාරාම නා හිමිපාණන් වහන්සේට චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


කැකනදුරේ ධම්මසිරි නා හිමි

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක කැකනදුරේ ධම්මසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෑත ඉතිහාසයේ වැඩසිටි උතුම් වූ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වූහ.

දකුණු සිරිලක මාතර – වෙහෙරහේනට ආසන්න කැකනදුර නම් ග්‍රාමයෙහි කරුණානායක ගමගේ නමැති දම්පතීන්ගේ පරපුරේ පොඩිඅප්පු හාමි උපාසක මහතා සහ කළුහාමිනේ උපාසිකා මාතාව යන දම්පතීන්ගේ පුත් රුවනක්ව උපන් මෙම පින්වත් කුමරුගේ ජන්ම දිනය 1924 පෙබරවාරි 27 විය.මෙම කුමරු 1933 දී උතුම් වූ පැවිදි භූමියට ඇතුළත් වී 1944 ජූලි මස 23 වැනි දින කපුගම සිරි සුගතවංස නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදා විය.

කැකනදුරේ ධම්මසිරි නාහිමියන් විසින් සියයකට අධික පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කළ අතර දැනට වැඩසිටින පනහකට ආසන්න ශිෂ්‍යානුශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් ගුරු හිමියන් වැඩසිටි විහාරස්ථානවලට පමණක් සීමා නොවී විවිධ ප්‍රදේශවල ආරාම ඉදිකොට ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස ව්‍යාප්තකොට ශාසනික සේවාවේ යෙදෙනු ඇත. නා හිමිපාණන් වහන්සේ මෙපින් බලයෙන් නිවනට පත් වේවා!

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]