UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම එළිමහන් පුද බිම


අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම එළිමහන් පුද බිම


ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංස නාහිමි

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභ ධීරානන්දාභිධාන’ කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක හා රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අදහසක් මල්ඵල ගැන්වීමක් ලෙස සැලකෙන, උන්වහන්සේගේ චිත්ත රූපය අනුව හා නිර්මාණශීලීත්වයෙන්, අක්කර දහයක් පමණ වූ වනයක් මධ්‍යයේ මෙරට ප්‍රථම වරට ඉදිවූ බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ යෙදෙන අයුරු මූර්තිමත් කෙරෙන අනුරාධපුර නෙල්ලිකුලම ‘සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම වනගත එළිමහත් පුදබිම’ වෙසක් පුන් පොහෝදා පෙරවරු 10.00 ට යෙදී ඇති සුබ මුහුර්තියෙන් පුදබිම විවෘත කිරීම, චීවර පිළන්දනය හා ප්‍රථම පුෂ්පෝපහාර පූජා මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරේ.

අනුරාධපුර සිරිසඟ බෝ භාවනා මධ්‍යස්ථානාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි යතිවරයාණන්ගේ, නිර්මාණශීලීත්වය කියාපාන අගනා පුදබිම නෙත් සිත් පහන් කරවයි.

කොටි ග්‍රහණයෙන් වෙලුන වසර තිහක පමණ අඳුරු කාල පරිච්ඡේදය නිමාව දකිත්ම සද්ධා රංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල් ඇතිව මේ විපර්යාසය මනසින් දැක ගත්හ. නගරයෙන් යළි ගමටත්, ගමින් වෙහෙර විහාරස්ථාන වෙතත් යන සැදැහැවතුන් නැවත දැකගනු රිසියෙන් මල් වතු ඔය හරහා නගරය කරා සංක්‍රමණය වීම වෙනුවට නගරයේ සිට වන වදුල හරහා තන්තිරිමලය වැනි පෙදෙස් කරා බෞද්ධ ජනතාව කැඳවාගෙන යා හැකි වැඩපිළිවෙළක් දියත් කළහ.

එහි පළමු පියවර වූයේ අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ පිහිටි නෙල්ලිකුලම ‘සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය’ ආරම්භ කිරීමයි. මේ සඳහා අක්කර දහයක භූමි භාගයක් වෙන්කර ගන්නා ලදී. 2004 ජූලි 06 වැනි දින චාරිකාරාම පුදබිම ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. ගහ කොළවලට හානියක් සිදු නොවන අයුරින් විශාල කැලය එළි පෙහෙළි වී, බුදු සසුනට පූජාවී 2005 වසරේ මාර්තු මස 28 වැනි දින චාරිකාරාමයේ අභිනවයෙන් ඉදි කෙරෙන විහාරය සඳහා මුල්ගල තැබිණි. මෙහි ඉදි කළ දෙමහල් සංඝාවාසය විවෘත කරනු ලැබුවේ 2004 නොවැම්බර් 06 වැනි දිනය. සද්ධා රංසි නාහිමියන් විසින් ගොඩ නැඟූ චිත්ත රූපය අනුව බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා ගම් නියම් ගම් සැරිසරමින් අනුරාධපුරයට වැඩම කරන ආකාරය නිරූපණය කරන ප්‍රතිමා පන්සියයම දැනට නිර්මාණය කර අවසන්ය. ඒ හැම ප්‍රතිමාවකම විශේෂත්වය වන්නේ ජීවමාන මිනිස් ප්‍රමාණයෙන් ඉදිවීමයි. ප්‍රතිමාවල මුහුණුවලද චරිතාංග විවිධත්වය ඇතිවන පරිද්දෙන් වෙනස් කර තිබීම විශේෂත්වයකි. ඈතින් සිට බලන්නෙකුට පෙනී යන්නේ ජීවමාන බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පන්සියය නමක් සමඟ මහ වනය මැදින් ගමන් අරඹා ඇති බවයි.

මෙම විහාර කර්මාන්තයේ ඊළඟ පියවර වූයේ මහගල් පර්වතයකින් බැස වඩින්නා වූ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කිරීමයි. එම විශ්මකර්ම නිර්මාණය ද දැන් නිමව ඇත. මෙය අප බුදුපියාණන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන තැබූ අවස්ථාව සිහිපත් කරවන්නකි. මෙම නිර්මාණය පිටතින් පෙනෙන්නේ මහ කළු ගලක් සේ වුවද ඇතුළත ගල්ලෙන් විහාර ද ඉදි කර තිබේ.

මෙහි ධර්මායතනය ආරම්භ කරනු ලැබුවේ 2006 සැප්තැම්බර් 12 වැනි දිනදීය. වන්දනාවේ එන සැදැහැවතුන්ට ලබාගත හැකිවන පරිදි මෙහි ඉදිකළ ළිඳ ජලයෙන් පිරී පවතී. පිරිවෙන් ශාලාව, ධර්ම ශාලාව, දාන ශාලාව, දහම් පාසල් ගොඩනැගිල්ල, ශිෂ්‍ය නිවාස මෙන්ම දානය පිරිනැමීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට නේවාසික පහසුකම් සැලසෙන පරිදි දෙමහල් ශාලාවක් ද මෙම පුණ්‍ය භූමිය තුළම ඉදි කිරීම සද්ධාරංසි නායක හිමියන් කළ කැප කිරීම, ගත් වෙහෙස අප්‍රතිහත ධෛර්ය හා චිත්ත බලයේ ප්‍රතිඵලයක් විය. බොහෝ ඉදිකිරීම් අංග සම්පූර්ණ ලෙස නිමකර මෙහි පිරිවෙන ආරම්භ කිරීමට ද ගතවූයේ මාසයක් වැනි කෙටි කාලයකි. නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය අනුව 2006 අගෝස්තු මාසයේ ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2006 සැප්තැම්බර් මාසයේ දී නිම කර එම මාසයේම 12 වැනි දින පිරිවෙන් කටයුතු ආරම්භ කරන ලදී.

නෙල්ලිකුලම පංචසතික ශ්‍රාවක චාරිකාරාමය ප්‍රතිමා සහිත විහාර කර්මාන්තයට පමණක් සීමා වුවක් නොවේ. බුදු සසුන සුරැකෙන්නට නම් සිල්වත්, ගුණවත් මෙන්ම උගත් භික්ෂු පිරිසක් වැඩ සිටිය යුතු යැයි දූරදර්ශී වූ සද්ධාරංසි නාහිමියෝ ඒ සඳහා ද වැඩපිළිවෙළක් සකස් කළහ. ගම්දනව්වලින් තෝරාගත් පින්වත් කුලදරුවන් පිරිසක් සසුන්ගත කළහ.

මෙම පුණ්‍ය භූමිය බෞද්ධ ජනතාවගේ වන්දනීය තත්ත්වයට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙසක් පුර පසළොස්වක පුන් පොහෝදා පෙරවරු. 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවකාරයෙන් සිදු කිරීමට නියමිතය. මෙම අනගි අවස්ථාවට දහසකට අධික මහා සංඝරත්නය වැඩම කරවීමට නියමිතය. ගරු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ද, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු රජරට මැති ඇමැතිවරුන්ද, උතුරු මැද ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ප්‍රමුඛ පළාත් සභාවේ මැති ඇමතිවරුන් මෙන්ම ලංකාවේ දස දෙසින් සම්භාවනීය අමුත්තන් හා විහාර කර්මාන්තයට උරදුන් දායක දායිකාවන් අතිවිශාල පිරිසක් ද සහභාගී වීමට නියමිතය.


 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]