UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
නිවන සඳහා නොපවත්නා පස් නීවරණ කෙනෙක් (අනිබ්බාන සංවත්තනිකා නීවරණ) ඇත. ඒ මොනවාද, ඒ නීවරණ පස මිනිසාට කරන අයහපත මොනවාද?

පිළිතුර
පඤ්චිමෙ භික්ඛවෙ නීවරණා කථමෙ පංච කාමච්ඡන්ද ,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච , විචිකිච්ඡා, මේ නීවරණ පස සත්වයා අන්ධ කරණ අචක්ඛු , කරණ – අඳබව කරන්නෝය. නුවැණස වසා ලන්නෝය. මෝහය කරන්නේය. දුකට පත්කරන අතර නිවන් පිණිස නොපවතින්නකි.

ප්‍රශ්නය
උද්ධම්භාගීය සංයෝජන පසෙකි. ඒ මොනවාද? මෙම සංයෝජන “අභිඤ්ඤාය පරිඤ්ඤාය– පරික්ඛයාය, පහානාය, යනුවෙන් දේශනා පාලියෙහි සඳහන් වන පරිදි සුවිශේෂ දැනීම පිරිසිඳ දැනීම ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පැහැදිලි කරන්න.

පිළිතුර –
උද්ධම්භාගීය සංයෝජන නම් රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන්නයි. (අරියො අට්ඨංගිකො මග්ගො භාවී තබ්බො) යනුවෙන් සඳහන් පරිදි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි, සංයෝජන ප්‍රහාණය පිණිස මෙම ආර්යඅෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය.

ප්‍රශ්නය – බුදු දහමට අනුව “විධා” යනුවෙන් දේශනා පාලියෙහි සඳහන් වන්නේ මිනිසා සතු දුර්ගුණයකි.අරි අටඟ මඟ පිළිවෙතින් බැහැරව සිටීම නිසා මෙම දුර්ගුණය පුහුදුන් මිනිසා ළං කරගනී. මෙම විධා හෙවත් “මැනීම්” යනුවෙන් සඳහන් දුර්ගුණ මොනවාද?

පිළිතුර
(සං.නි. මහ විධා සූත්‍ර)

තිස්සො ඉමා භික්ඛවෙ “විධා” මැනීම් තුනකි. (කතමෙ තිස්සො) මම ශ්‍රේෂ්ඨයෙමි මානයෙකි. මම සදෘෂයෙමියි (සමානමානයක “මම හීන යෙමි” මානයකි.) (සෙය්‍යමාන – සදිස මාන – සමසමාන)

මෙම මාන තුන අරි අටඟමඟ ප්‍රතිපදාවෙන් වෙසැසින් අවබෝධ කොට ගත හැකිය.

ප්‍රශ්නය
අං.නි. දසක නිපාතයෙහි එන “වඩ්ඩී’ සුත්‍රයෙහි එන දේශනා පාඨයකි මේ. “දස්හි භික්ඛවෙ වඩ්ඩීහි වඩ්ඩයමානො අරිය සාවකො අරියාය වඩ්ඩියා වඩ්ඩති සාර දායී ච හොති වරාදායි කායස්ස, කතමෙ දසහි. මෙහි දැක්වෙන පරිදි ආර්ය ශ්‍රාවකයාගේ වෘද්ධියෙන් වැඩීම වෘද්ධි දසයකින් වැඩීමයි. මේ දසවෘද්ධිය පැහැදිලි කරන්න

පිළිතුර
ආර්ය ශ්‍රාවකයාගේ වෘද්ධි දසයකි.

1.කෙත්වතු –ඛෙත්ත වත්ථූහි
2.ධන ධාන්‍ය – ධන ධඤ්ඤෙන
3.අඹු දරු – පුත්තදාරෙහි
4.දාසකම්කරු – දාස කම්මකර පොරිසෙහි
5. සිවුපා (ගව) – චතුප්පදෙහි
6.ශ්‍රද්ධා – සද්ධාය
7. සීල – සීලෙන
8. ශ්‍රැත – සුතෙන
9.ත්‍යාග–චාගෙන
10.ප්‍රඥා – පඤ්ඤාය

මෙහි පළමු කරුණු පහ පුද්ගල භෞතික අභිවෘද්ධියත් අවසන් කරුණු පහ ආධ්‍යාත්මික දියුණුවත් දක්වයි. බුදුන්වහන්සේ මෙම දෙයාකාර දියුණුව අපරාජිත ප්‍රතිපදාව වශයෙන් මහා මංගල සුත්‍රයෙහිද උභයේන වඩ්ඪති යනුවෙන් මෙම සූත්‍ර පාදයෙහි අවධාරණය කර ඇත.

ප්‍රශ්නය
ම:නි: තෙවන කාණ්ඩයේ “ගොපක මොග්ගල්ලාන” සූත්‍ර දේශනා පාඨයකි මේ. “න ඛො අහං බ්‍රාහ්මණ අප්පටිසරණා, සප්පටි සරණා මයං බ්‍රාහ්මණ, බමුණා අපි ධර්මය පිළිසරණ කොට ඇත්තෝ වෙමු. එහෙයින් පිළිසරණ නැත්තෝ නොවෙමු. මෙම පාඨය ආනන්ද හිමි යන් විසින් එක්තරා බමුණෙකු නැගූ ප්‍රශ්නයකට දුන් පිළිතුරකි මේ. එම අවස්ථාව කුමක්ද? අදාළ බමුණා කවුරුන්ද? පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු වස්සකාර නම් ඇමැතිවරයෙකු ආනන්ද හිමියන් අමතා සංඝයාට පිළිසරණ විය හැකි නායකත්වයට සුදුසු භික්ෂුවක් සංඝයාගේ පාලනය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත්කොට ඇද්දැයි විමසීය. “නැත” යනු ආනන්ද හිමියන්ගේ පිළිතුර විය. එසේ නම් සංඝයා විසින් හෝ එවන් නායකත්වයට සුදුසු භික්ෂුවක් සම්මත කරගන්නා ලද දැයි වස්සකාර නැවත ප්‍රශ්න කළේය. නැත වස්සකාරය. යනු ආනන්ද හිමියන්ගේ පිළිතුර විය. “ස්වාමීනි පාලකයෙකු නැති. පාලකයෙකුට වගකීමක් නැති එවැනි පිළිසරණක් නැති , සමාජයක සමගිය කෙසේ පවතී දැ”යි. වස්සකාර විමසීය. ආනන්ද හිමියන් ඉහතින් සඳහන් කළ පරිදි වස්සකාර අපට පිළිසරණක් නැත්තේ නොවේ. අපට පිළිසරණක් ඇතැයි පිළිතුරු දුනි.

ප්‍රශ්නය
කාම ලෝකයෙහි විපාක දෙන අකුසල කර්ම මොනවාද ?

පිළිතුර
අකුසල විපාක ලබාදීමට සමත් අකුසල කර්ම දහයක් කය , වචනය, හා මනස යන තිදොරින් සිදුවෙයි. පාණාතිපාතය අදින්නාදානය හා කාමයෙහි වරදවා හැදසිරීම කය ආශි‍්‍රතව සිදුකෙරේ. මුසාවාදය පිසුණා වාචය ඵරුසාවාචය හා සම්පප්ඵලාපය වචනයෙන් සිදුවන අතර ,සිතින් අභිජ්ඣාව –ව්‍යාපාදය හා මිච්ඡා දිට්ඨිය සිදුවෙයි.

ප්‍රශ්නය – රූප හා අරූප (නාම) ධර්මයන්ගේ සංතතිය (සංයුතිය) සත්වයා යයි කියනු ලැබේ. රූපය භෞතික වූ ශරීරය වුවත් එය රූපස්ඛන්ධයක් වුයේ ඒ ඒ පදාර්ථ හෙවත් රූප ධර්ම එක්වීමෙනි. එම රූප ධර්ම හෙවත් රූප කලාප කවරේද? යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
රූපස්ඛන්දය මහාභූත රූප සතරකින් නිර්මාණය වී ඇත. එනම්

1. පඨවි ධාතුව– ජීව අජීව වස්තුවල ඇති තද රළු ගතිය
2.ආපෝ ධාතුව – එම වස්තුවල ඇති වැගිරෙන ගතිය
3. තේජෝ ධාතුව – එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම්ගතිය
4.වායෝ ධාතුව – එම වස්තුවල ඇති සැලෙන ගතිය පුම්බන ගතිය

ප්‍රශ්නය - සිදුහත් බෝසතාණන්ට අභිනිෂ්ක්‍රමණය සඳහා හේතු කාරක වූ දෑ බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න

පිළිතුර
ම:නි අරිය පරියේසන සූත්‍ර දේශනාවන්ට අනුව මෙසේ අභිනිෂ්ක්‍රමණයට හේතු කාරකයන් මෙසේ දැක්වෙයි.

මහණෙනි මම බුදුවීමට පෙර නොබුදුව බෝසත්වම තමා උපත ස්වභාව කොට සිටිද්දී. උපත ස්වභාවකොට ඇතිදේම සෙවීමි. ජරා ස්වභාව කොට සිටිද්දී ජරා ස්වභාව කොට ඇති දේම සෙවීමි.

ව්‍යාධි ස්වභාව කොට සිටිද්දී ව්‍යාධි ස්වභාව කොට ඇතිදේම සෙවීමි. තමා මරණ ස්වභාව කොට ඇතිදේම සෙවීමි. තමා මරණ ස්වභාව කොට සිටිද්දී මරණ ස්වභාව කොට ඇති දේම සෙවීමි. තමා ශෝක ස්වභාව කොට සිටිද්දී ශෝක සොභාව කොට ඇති දේම සෙවීමි. තමා කෙලෙසන ස්වභාව කොට සිටිද්දී කෙලෙසෙන ස්වභාව ඇතිදේම සෙවීමි.

ඒ මට මෙසේ සිත්විය. තම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක , සංකිලෙස ස්වභාව ඇතිව සිටිද්දී මම කුමකට නම් ජාති, ජරා, මරණ, ශෝක, සංකිලේස ඇති දේම සොයන්නෙම්ද, ජාති, ජරා, මරණ, ශෝක සංකිලේස, ස්වභාවයන්ගෙන් තොර අනුත්තර යෝගක්ඛෙම නම් වූ නිර්වාණය සොයන්නෙමි නම් මැනවි.

මේ බෝසතාණන් වහන්සේට අභිනිෂ්ක්‍රමණය සඳහා හේතුවූ කාරකයෝය.

ප්‍රශ්නය
පෙල දහම් පොත්පත්වල බුදු සිරිතේ එක් අවස්ථාවක් මෙසේ සනිටුහන් කොට ඇත. තථාගතයන් වහන්සේ මනුෂ්‍යයෙකි. උපත මිනිසුන් අතරම වූහ. හැදී වැඩුනේද මිනිසුන් අතරමය. එහෙත් අවබෝධ කොට සුවිශේෂ වූ ධර්ම ඤාණයෙන් මිනිසුන්ගේ තත්ත්වය ඉක්ම වූහ. ඔවුන්ගේ ලෞකික මට්ටම් ඉක්මවා ගියහ. ලෝක බන්ධනයෙන් මිදී වාසය කළහ. මෙම අසිරිමත් පැවැත්මද ඇති තථාගතයන් වහන්සේ “ආශ්චර්ය මනුෂ්‍ය” නම් වන බව උන්වහන්සේ විසින්ම සඳහන් කොට තිබේ. (අං.නි. ඒකපුද්ගල වග්ග 3) තථාගතයන් වහන්සේගේ මෙම ස්වරූපය ධම්ම පද ධර්ම ග්‍රන්ථයෙහි එක් ගාථාවකින් සටහන් කොට තිබේ. පැහැදිලි කරන්න.

පිළිතුර –
ධම්මපද – පුෂ්ප වග්ග
15,16 ගාථාවන්හි බුද්ධ ජීවිතය උපමා රූපක මගින් අවධාරණය කොට ඇත.

යථා සංඛාර ධානස්මිං
උජ්ක්‍ධි තස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායේත
එවං සංඛාර භූතෙසු
අන්ධ භූතෙ පුථප්ජනෙ
අතිරෝචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධ සාවකො

මහමඟ අසල දැමූ කසලගොඩෙ හිද මනා සුවඳවත් පැහැපත් සිත් ඇද ගන්නා සුලුවු පියුමක් හටගන්නේ යම් සේද. එමෙන්ම කසල බඳු අඳ බාල පුහුදුන් ජනයා අතර මිනිසුන් අතර බුදු සව් රහතන් වහන්සේ ලෝකයා ඉක්මවා නුවණින් බබළන සේක.

ප්‍රශ්නය
ශ්‍රාවකයන් වහන්සේලා අතරෙන් මනෝමය රූප නිර්මාණය කිරීමේ සමතුන් අතර අගතනතුරු ලැබු ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර – චුල්ලපන්ථක රහතන් වහන්සේ

 

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]