UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැණවතාගේ ලක්ෂණය

නැණවතාගේ ලක්ෂණය

ප්‍රඥාවන්ත බුද්ධිමත් නුවණැති පුද්ගලයා මේ ගුණ ධර්ම ප්‍රගුණ කිරීමෙන් කාම දිට්ඨි භව අවිජ්ජා යන සිව් සැඩ පහරින් මිදී අරහත් ඵලය ලබා ගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපි සියලු දෙනා උත්සාහය, නොපමාව, ඉන්ද්‍රිය දමනය, සංවර බව යන මේ ගුණ ධර්ම වර්ධනය කර ගැනීමෙන් අපේ ජීවිත සාර්ථක කර ගැනීමට උත්සාහ ගනිමු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උඨඨානෙ නප්පමාදෙන
සඤ්ඤමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී
යං ඕඝෝනාභි කීරති

වාසනාවන්ත පින්වතුනි,

උට්ඨාන වීර්යයෙන්ද, නුමුළා සිහියෙන්ද, සිව්පිරිසුදු ශීලයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද යන මෙකී දැයින් යුක්ත වූ නුවණැත්තා කෙලෙස් මහ වතුරින් යට නොවන දිවයිනක් තනා ගන්නේ ය. යනු ඉහත ගාථා රත්නයේ කෙටි අදහසයි.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාළේ “චුල්ල පන්ථක” හිමියන් අරමුණු කරගෙනයි. කෙලෙස් තවන වීර්යයෙහි අදක්ෂයැයි කියා තම සොහොයුරු “මහා පන්ථක” හිමියන් “චුල්ල පන්ථක” හිමියන්ට සසුනෙන් බැහැර වන ලෙස නියෝග කළා. එයින් කලකිරීමට පත් චුල්ලපන්ථක හාමුදුරුවන් මනෝවිද්‍යාත්මක ක්‍රමයකින් දහම් මඟට යොමු කිරීමට බුදුපියාණෝ සමත් වුණා. “රජෝ හරණං රජෝ හරණං” කියමින් සුදු රෙදි කඩක් පිරි මැදීමට දීල බුදුරදුන් චුල්ල පන්ථක හිමියන්ට ධර්මය අවබෝධ කරවන්නේ විශ්මය ජනක අයුරින්. දෘෂ්්‍යාධාර භාවිතයෙන් සාර්ථකව ඉගැන්වීමේ ක්‍රමය බුදුන් දවස යොදාගෙන ඇති බව මින් පැහැදිලිවෙනව.

කාමාදී සැඩ පහරින් එතෙර වීමට නම් පුද්ගලයෙක් තුළ තිබිය යුතු කුසලතා සතරක් මේ ගාථාවෙන් පැහැදිලි කරනව. එනම්, උත්සාහය, අප්‍රමාදය සංවර බව, ඉන්ද්‍රිය දමනය යන කරුණු සතරයි.

උට්ඨානේන – උත්සාහය හෙවත් වීර්යය යනු මෙහි අදහසයි. ලොකු කුඩා ගිහි පැවිදි කාටත් මෙය ඉතා වැදගත් වෙනව. සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන නියම පල ලබා ගැනීමට හැක්කේ උත්සාහය තිබුණොත් පමණි. උත්සාහයෙන් තොරව අලස කමින් කාලය ගෙවන ගිහියන්ටද ස්වකීය ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් සහ ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණු කර ගැනීමට අපහසු බැවි පෙනෙනවා. උත්සාහයෙන් තොර නිසා ආර්ථික වශයෙන්ද පරිහානියට පත් වෙනවා. සිඟාලෝවාද සූත්‍රයෙහිදී අලසකම ධන පරිහානියට හේතුවක් බව පැහැදිලි කළේ එබැවිනි. ඕනෑ තරම් ධන සම්පත් තිබෙද්දීත් වාසය කරන්න ගෙයක් දොරක් නොමැතිව විලි වසා ගන්නට ඇඳුම් පැළඳුම් නොමැතිව කුසට අහරක් නොමැතිව ගෙවන ජීවිත වලින් පැහැදිලි වන්නේ ඔවුන් තුළ පවතින කුසීන කමයි. කම්මැලි කමයි. ගෙදර දොර කාර්ය බහුල මාතාවක් තුළ ද අනලස් බව ඉතා වැදගත් ගුණ ධර්මයක් බව බුදුරදුන් වදාළා. ඉගෙන ගන්නා දරුවන් තුළත් වෙනත් ඕනෑම ජීවිතයක් තුළත් තමන් අපේක්ෂා කරන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා උත්සාහය අවශ්‍ය වෙනවා.

අප්පමාදේන යන මේ බුද්ධ වචනයෙන් පැහැදිලි වන්නේ නොපමා බවයි. බුදුදහමේ බොහෝ සෙයින් විස්තර වන දහම් පදයක්වේ. ප්‍රමාදයට පටහැනි සියලු ධර්ම මීට ඇතුළත් වෙනවා. එළැඹ සිටි සිහියෙන් යුක්තවීම යන අදහසත් මෙහි ගැබ්ව තිබෙනවා. සිල් පිරීම, පසිඳුරන් හික්මවීම, භෝජනයෙහි පමණ දැනීම ආදියට උපකාර වන්නක් ලෙසද කාමාවචර කුසල කර්මයන්ට හා ලෝකෝත්තර කුසල කර්මයන්ට මුල්වන ධර්මතාවයක් ලෙසද සඳහන් වෙනවා. බුදුරදුන්ගේ අවසන් බුද්ධ වචනයෙන් ආනන්ද තෙරුන් අමතා වදාළේ ද "අප්පමාදේන සම්පාදේථ" යනුවෙනි.

සඤ්ඤමේන යනු මේ ගාථාවේ සඳහන් මීළඟ වැදගත් දහම් පදයයි. සංයමය සංවරකම යනු මෙහි අදහසයි. “සාධු සබ්බත්ථ සංවරො” තිදොරම සංවර කරගත යුතු බව මින් පැහැදිලි වෙනවා. සිත කය වචන යන තිදොරින් ම අපේ ආධ්‍යාත්මයට ලාමක පවිටු අකුසල ධර්ම ඇතුළු වෙනවා. එනිසා අප සැමැතින්ම අසංවර කරනවා. අභිධ්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි යන පාප සිතිවිලිවලින් අපේ සිත අසංවර කරනව. මෙනිසා මෙයින් අප ඈත් වෙන්න ඕනෑ. කය සංවර වෙන්න නම් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිථ්‍යාචාර යන දුසිරිත්වලිනුත් වචනය සංවර වෙන්න නම් මුසාවාදාදී වාග් දුශ්චරිත වලිනුත් වෙන්විය යුතු යි. අවකාශ සමාජය දෙස බැලූ, බැල්මට අසංවර බවින් පිරුණු බවක් පෙනෙනවා. සමාජයේ බොහෝ ගැටලුවලට හා ගැටුම් වලට මූලික හේතුව මේ අසංවර බවයි. මේ අසංවර බව නැතිකරගැනීමට හැකි වන්නේ එකිනෙකා තම තමන්ගේ තිදොර සංවර කරගැනීමෙනි. එවිට සමස්ත සමාජයම සංවර වෙනවා.

මීළඟ දහම් කරුණ ‘දමේනච යන්නෙන් පැහැදිලි කෙරෙනවා. මින් අදහස් වන්නේ ඉන්ද්‍රිය දමනයයි. දැමුණු නිවුණු උපශාන්ත පුද්ගලයෙක් වන්නේ ඉඳුරන් දමනය තුළිනුයි. අනුන් දමනය කරන්න පෙර තමන් දමනයවීම ඉතාමත්ම වැදගත් වෙනවා. යුද්ධයකදී දහසක් පරාජය කර ලබා ගන්නා විජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක්. ජීවිතයේ සදාකාලික අතෘප්තියකින් දිවි ගෙවන අපි රූප, වේදනාදී අරමුණු පසු පස හඹා යාම අනුවණ කමක්. නිම් හිම් නැති අසීමිත ආශාවන් පසු පස ගමන් කිරීම මිරිඟුවක් ලුහුබැඳ යාමක් වගෙයි.

ප්‍රඥාවන්ත බුද්ධිමත් නුවණැති පුද්ගලයා මේ ගුණ ධර්ම ප්‍රගුණ කිරීමෙන් කාම දිට්ඨි භව අවිජ්ජා යන සිව් සැඩ පහරින් මිදී අරහත් ඵලය ලබා ගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපි සියලු දෙනා උත්සාහය, නොපමාව, ඉන්ද්‍රිය දමනය, සංවර බව යන මේ ගුණ ධර්ම වර්ධනය කර ගැනීමෙන් අපේ ජීවිත සාර්ථක කර ගැනීමට උත්සාහ ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]