UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය -
අධනානං ධනෙ අනනුප්පාදිය මාරන දාළිද්දියං වෙපුල්ලං අගමාසි (දී.නි. චක්කවත්තිසීහනාද සූත්‍ර)

නිර්ධනයන් අතර ධනය නිෂ්පාදනය නොවීමත් ධනය කා අතරත් සමසේ බෙදී නොයාමත් හේතුවෙන් දිළිඳුකම ලොව පුරා පැතිරී යයි. පෙළ දහමට අනුව දි.නි. අග්ගඤ්ඤ කූටදන්ත සූත්‍රාගත දේශනා පාඨයන් ද තවදුරටත් ඇසුරු කරමින් මිනිසා ධනෝපායනය (ධන රැස්කිරීම) පිළිබඳව බෞද්ධ මතය පැහැදිලි කරන්න.

පිළිතුර -
හේතුඵල දහමට අනුව බුදුන්වහන්සේ ප්‍රථමයෙන් ධනය නිෂ්පාදන ක්‍රියාදාමයෙහි සාවද්‍ය බව (වැරදිසහගත) මෙසේ වදාළහ. “මහණෙනි දුප්පතුන් උදෙසා ධනය නොබෙදී යන කල ලොවපුරා දිළිඳුබව වඩා වර්ධනය වෙයි. එසේ වු කල්හි, අන්සතු දෑ සොරාගැනීම වැඩී යැයි සොර සතුරු උවදුර මැඬීම සඳහා ආයුධ දැරීමත් ඒ හේතුවෙන් ඵලයක් වශයෙන් එකිනෙකා අතර වෛරයත් එයින්ම ප්‍රාණඝාතයත් ආරම්භ වෙයි. ප්‍රාණඝාතය බහුල වෙත්ම සත්ත්වයන්ගේ ආයුෂ හා වර්ණයෙන් ද පිරිහී යයි. මෙසේ සමාජය පිරිහෙමින් මව හෝ පියාට මෙන්ම මහණ බමුණන්ට ගරු නොකර ළාමක දහම් පැතිරී සමාජ ක්‍රමයෙන් පිරිහීමේ සියලු දොරටු විවර වී විනාශ වී යයි.

බුදුසමය පොදුවේ සමාජ උන්නතිය සඳහා හේතු වන මූලික කරුණු සොයා බලා ඒවාට පිළියම් යෙදීම බෞද්ධ පිළිවෙතයි. කූට දන්ත සුතාගත තොරතුරු වලට අනුව සමාජ සංවර්ධනය සැලැස්මකට අනුවම කළ යුතු ය.

“පුද්ගල වෙමත්තතාව“ (පුද්ගල විවිධත්වය) පිළිබඳව දහමට අනුව පුද්ගලයෝ දෙදෙනෙක් සමාන නොවෙති. කර්ම දායාද වශයෙන් සංසාරික ප්‍රවෘත්තිය භෞතික හා සමාජ පරිසරය අනුවද වෙනස්වන සුළුය. එසේම පුද්ගලයාගේ පෞද්ගලික කායික හා මානසික ශක්තිය අනුවද විවිධ වෙයි. ඒ නිසා විවිධ ශක්‍යතාවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැන්මත් පුද්ගලයා සතු විවිධ කුසලතා මිනිසා යහපත සඳහා උපරිම වශයෙන් යොදා ගැනීමට රාජ්‍ය සැලැස්මක් බුදුසමය යෝජනා කරයි. ධනෝපාර්ජනය හා ධන විසර්ජනය, පොදු සම්භෝග වාදය යටත් කළ බව මෙම සුත්‍රාගත දේශනා පාඨවලින් වඩාත් පැහැදිලි වෙයි.

ප්‍රශ්නය -
ලංකා ශාසනික වංශයෙහි වළගම්බා රාජ සමයෙහි සිදුවුන සුවිශේෂී ශාසනික කාර්ය කුමක්ද?

පිළිතුර -
ත්‍රිපිටකය සිංහල බසින් ලියා ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සඳහා උපකාර කිරීම රජු විසින් කරන ලද ශාසනික මෙහෙවරකි.

ප්‍රශ්නය -
රහතන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා කරවන ලද ‘අට සැටක්’ ලෙන් පිහිටා තිබෙන ස්ථානය කුමක්ද?

පිළිතුර -
මිහින්තලය පුද බිමෙහි අට සැටලෙන් පිහිටා ඇත.

ප්‍රශ්නය -
ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයට බෙහෙවින් උපකාරක වූ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ නිර්මාතෘවරයාගේ නම කුමක්ද?

පිළිතුර -
සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමා

ප්‍රශ්නය -
බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රය කවුරුන් උදෙසා දේශනා කරන ලද්දේද?

පිළිතුර -
තුන් බෑ ජටිලයෝ තවුස් පිරිකර ගඟදිය දමා බුදුරජාණන් වහන්සේ දැක බණ අසා සෝවාන් ඒහි භික්ෂු භාවයෙන් පැවිදිවූහ. එහිදී බුදුරජාණන් වහන්සේ ‘ආදිත්ත පරියාය’ සූත්‍රය දේශනා කොට ඔවුන් හැම රහත්ඵලයට පැමිණ වූහ.

ප්‍රශ්නය -
බහුශ්‍රැත ශ්‍රාවිකාවන් අතරෙන් අගතනතුරු ලැබූ ශ්‍රාවිකාව කවුද?

පිළිතුර -
දිනපතා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ ඛුජ්ජුත්තරාවෝ සාමාවතී ප්‍රධාන පිරිසට බණ කියති. එහෙයින්ම තම බණ ඉගෙන බහුශ්‍රැත බවට (බෝ ඇසූ පිරූ තැන් ඇති) පැමිණියහ. බුදුරජාණන් වහන්සේ ඛුජ්ජුත්තරාවන් බණ කියන උපාසිකාවන් අතරෙන් අගතැන්පත් කළහ.

ප්‍රශ්නය -
පස්වන සියවසේ මහානාම රජු ද වස ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික දේශාටක භික්ෂූන් වහන්සේ කවුද?

පිළිතුර -
චීන ජාතික ෆාහියන් භික්ෂූන් වහන්සේ.

ප්‍රශ්නය -
නාම රූප දෙකින් යුක්ත වූ සත්වයා චතුසත්‍ය කෙරෙහි පවතින නොදැනීම ධර්මයෙහි සඳහන් වන්නේ කුමන නමකින්ද?

පිළිතුර -
මිථ්‍යා දෘෂ්ටිය

ප්‍රශ්නය -
දසපාරමිතා ධර්ම අතරින් “සීලපරමත්ථ” පාරමිතාව පැහැදිලි කරන්න.

පිළිතුර -
බෝසතාණන් වහන්සේගේ සීල පාරමිතාව අති උදාරවූ, “දාන පාරමිතාව“ සමගාමීව පවතින්නකි. “ශීල” යන පාලි වචනයේ සරල තේරුම, හික්මීම, යන්නය, එහි කළ යුතු ප්‍රගුණ කළයුතු චාරිත්‍ර ශීලය මෙන්ම හළ යුතු නොකළ යුතු දේ ‘වාරිත්‍ර’ ශීලය වශයෙන්ද හඳුන්වා ඇත. කළ යුතු චාරිත්‍ර වූ දෙමාපියන්ට, දරුවන්ට, ස්වාමිපුරුෂයාට, බිරිඳට, ගුරුවරුන්ට, සිසුන්ට කුල දේවතාවුන්ට ස්වාමි, සේවකයන්ට ආදී හැමට ඉටුකළයුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයෙහි සවිස්තරව දක්වා තිබේ. ජීවිත පරිත්‍යාගයෙන් ශීලයෙහි පිහිටීමද බෝසත්ගුණයකි. ජාතක කතා විස්තර අනුව ජීවිත පරිත්‍යාග කළ අවස්ථා බෝසත් සිරිතේ දක්නට ලැබෙයි.

ප්‍රශ්නය
පරමාර්ථ සත්‍යාගමය සඳහා ශ්‍රාවකයාගේ රුචිය පරිදි තෝරාගත යුතු බෝධි තුනක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර -
අරහන්ත බෝධි – පච්චෙක බෝධි - සම්මා සම්බෝධි.

ප්‍රශ්නය -
බුදුදහමට අනුව “සාධු චර්යා” නමින් උත්තම ගුණාංග චතුෂ්කයක් හඳුන්වා ඇත. මෙම ගුණාංග මිනිසා සද්පුරුෂයෙකු බවට පත් කරයි. මේ ජීවිතය තුළම මිනිසා දෙවියෙකු බවට පත්කරයි. මේ උතුම් ගුණාංග පිළිපදින මිනිසා උතුම් මිනිසෙකි. සියලු මිනිසුන් මේ ගුණාංග ප්‍රඟුණ කළහොත් මිහිතලය ගුණවතුන්ගේ සුරපුරක් වනු ඇත. මෙම උත්තම ගුණාංග මොනවාද?

පිළිතුර -
සතර බ්‍රහ්ම විහාර නමින් දේශනාපාලියෙහි එන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන්නය.

ප්‍රශ්නය -
කෘත්‍ය අනුව කුසල හා අකුසල කර්ම සිදුකරන කටයුතු සතරකි. ඒ මොනවාද?

පිළිතුර -
1. විපාක සිත හා රූප ඉපදීම
2. ජීවත්වීමට උපකාර කිරීම
3. ජීවිතයට වරින් වර පීඩා කිරීම
4.ජීවිතය විනාශ කිරීම

මෙම කර්ම කෘත්‍ය අනුව වර්ග සතරකට බෙදා දක්වා ඇත.

1. ජනක කර්මය (පිළිසිඳ සිත)
2. උපස්ථම්භක කර්මය
3. උප පීඩක කර්ම
4. උපඝාතක කර්ම

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]