UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය

ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි 20 වන වර්ගයේ දෙවන ගාථාව මෙසේ ය.

සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දති දුක්ඛෙ - එස මග්ගො විසුද්ධියා

යන ගාථාවෙහි අර්ථය කෙටියෙන් හඳුන්වා ‘සබ්බේ සංඛාරා අනිච්චා යන්න විවරණය කරන්න.

පිළිතුර

සියලු සංස්කාර ධර්ම නිත්‍ය නොවන්නේය යන්න යමෙක් තම නුවණ මෙහෙයවා දකීද එවිට දුකෙහි කලකිරේ. ඒ කලකිරීම නිවන් මඟට ආධාරකයෙකි. නිවනට මඟය.

විදර්ශනා භාවනාවෙහි යෙදුණු යෝගාවචරයෙකුට සසර දුකින් මිදීම පිළිබඳව අදහස නුවණින් වැඩූ සංස්කාරයන්ගෙන් මිදිය යුතුමය යන නුවණ පහළ වන්නේ ය. එය මුංචිතුකමපතාඤාණ නමින් ධර්මයෙහි හැඳින්වෙයි. භවයෙන් මිදීමෙහි නුවණින් යුතු විදර්ශක තෙම මිදීමෙහි උපාය සෙවීම පිණිස නැවත නැවතත් සංස්කාර ධර්ම හැම එකක්ම ත්‍රිලක්‍ෂණයට අනුව බලන්නේ ය. එහිදී ඒ අනුව සංස්කාරගතිය වූ සැමදා නොපවතින බව තාවකාලික බව බිඳෙන සුළු බව පිරිහෙන බැවින් හේතුවෙන් හටගන්නා බැවින්, මැරෙන බැවින් සියලු සංස්කාරයෝ අනිත්‍ය වන්නේ යැයි දකින්නේ ය. නිතර පීඩාකරන බැවින්, අනර්ථකර බැවින්, අසරණ බැවින්, උපදින දිරන බැවින් ලෙස රෝග දුක දනවන බැවින් හැම සංස්කාරයෝම දුක්ඛය ලක්‍ෂණ කොට ඇති බව දකින්නේ ය. තම වසඟයෙහි නොපවත්නා බැවින්, නිසරු බැවින් කරන්නෙකු විඳින්නෙකු නොවන බැවින් සියලු සංස්කාරයෝම අනාත්ම බව දකින්නේ ය.

ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රථම විනය සංඝායනාව කුමක්ද? එය කාගේ ප්‍රධානත්වයෙන් කුමන ස්ථානයක පවත්වන ලද්දේද?

පිළිතුර

අනුරාධපුර ථූපාරාමයේ හිදී අරිට්ඨ මහරහරතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම විනය සංඝායනාව පැවැත්විණි.

ප්‍රශ්නය

සොළොස් මහා ජනපදවලින් එකකි මගධය. අඟු - මගධ දෙරට බිම්බිසාර රජු පාලනය කළේ රජගහ නගරය රාජධානිකොට ගෙනය. පැරැණි දඹදිව මධ්‍ය දේශයට අයත් මගධ රට බුදුරජාණන් වහන්සේ හා එක් වන අවස්ථා කිහිපයක් සඳහන් කරන්න.

පිළිතුර

රජගහපුර පිඬුසිඟා වැඩි සිදුහත් තවුසන් බිම්බිසාර රජුට හමුවූයේ පාණ්ඩය නම් වූ පර්වත පා මුලදීය. වේහාර, වෙපුල්ල, ඉසිගිලි, ගිජ්ජකුට, පාණ්ඩව යන පර්වත පස රජගහනුවර හාත්පස පිහිටියේ ය. දෙව්දත් ගිජ්ජකුටය නැගීමෙන් බුදුන් වහන්සේ විනාශ කිරීම සඳහා ගල් පෙරලිය. ගිජුකුළු පව්වපාමුල තථාගතයන් වහන්සේත් ශ්‍රාවක සංඝයාත් විසූ සේක. බාර පබ්බතය, ඉසිගිලි පව්ව, කාලසිලාව වේහාර පර්වත ප්‍රාන්තයෙහි වූ සප්තපර්ණී ගුහාව, ඉන්ද කාලගුහාව, පිප්ඵලි ගුහාව, මගධයේ පිහිටා ඇත. ඉන්සාල ගුහාවෙහිදී තථාගතයන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළහ. ගිජුකුල පව්වෙහි පිහිටි සූකර බතලෙනෙහි දී තථාගයන් වහන්සේ දීගනඛ පිරිවැජියාට වෙදනාපරිග්‍රහ සූත්‍රය දේශනා කළහ.

ප්‍රශ්නය

දන් දීමෙහිදී දායක, ප්‍රතිග්‍රාහක දෙපිරිසටම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර

දාන ප්‍රතිග්‍රාහක (ලබන්නා) චත්තාරි භොජන පට්ග්ගාහකස්ස පටිලාහානි ලැබෙන ප්‍රතිදාන හතරකි.

අයුෂ, වර්ණය සැප, බල දායකයා විසින් ප්‍රතිග්‍රාහකයාට දන්දීම හේතුවෙන් දීර්ඝායුෂ කායික වර්ණය, සැපය හා බලය ප්‍රදානය කරයි. මේ දානයෙහි ආනිසංශ වශයෙන් දායකයාද මෙම සම්පත් ලබන බව දේශනාවෙහි සඳහන්ව ඇත.

ප්‍රශ්නය

ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමියන් විසින් දෙවියන් පිළිබඳව ලියූ සටහනක් මෙසේ දැක්වේ. දෙවියන් සියල්ල දන්නේ නම් ඔහු සමස්ත අතීතය ද සමස්ත වර්තමානයද සමස්ත අනාගතය ද දත යුතු වේ.

පුද්ගලයෙකුට කළ හැකි සෑම තීරණයක්ම සිතට එන සෑම සිතිවිල්ලක්ම සහ ඔහුට කළ හැකි සෑම ක්‍රියාවක්ම ඒවා ඇතිවීමට බොහෝ කලින් දෙවියන් දැනගත යුතු වේ. මෙසේ පුද්ගලයෙකුට ක්‍රියාකළ හැකි වන්නේ දෙවියන් කලින් දැන ඇති මාර්ගයේ පමණි. ඔහුගේ සියලුම ක්‍රියා කලින් තීරණය කළයුතු අතර ඒවා ස්ථාවරද වන්නේ ය. බෞද්ධ කර්මවාද අදහස් සමාලෝචනය කරමින් ශ්‍රාවස්ථ ධම්මික හිමියන්ගේ අදහස සමාලෝචනය කරන්න.

පිළිතුර

මෙම ඡේදයන්හි දෙවියන් යන සංකල්පයට අනුව පුද්ගල සිය කැමැත්ත (ස්වච්ඡන්දතාව) අක්‍රිය හෙවත් ඵල රහිත වෙයි. මිනිසාට සිය කැමැත්ත (හොඳ නරක තෝරා ගැනීම) නොමැතිනම් ඔහු විසින් කරන කිසිම ක්‍රියාවකට මිනිසා වගකිව යුතු නැතිවාක් මෙන්ම හොඳ හා නරක කිරීම හෝ නොකිරීමෙන් වැළකී සිටීමේ (වෙරමණි) අදහස් ද අර්ථවත් නොවෙයි.

(අං.නි.) නිබ්බේධික පරියාය සූත්‍රයෙහි එන පරිදි බුදුරදුන් චේත නාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වචාය චෙතනා වම කර්මය බව පැහැදිලි කරමින් චේතනා සම්ප්‍රයුක්තව කයින් වචනයෙන් මනසින් කර්ම කෙරෙන බවම වදාළහ. මේ අනුව ක්‍රියාවෙහි වගකීම හා සචේතනික බව (සිතින් සිතා සිය කැමැත්ත) පූර්වගාමී වෙයි. තවද (මනි) චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව තොදෙය්‍ය පුත්‍ර සුබ මානවකයා කළ ඉල්ලීමකට බුදුරදුන් මෙසේ වදාළහ. මානවකය සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මයම සත්වයාගේ එකම ඤාතියා ය. කර්මයම පිහිටය කර්මය සත්වයන්ගේ මේ උස්පහත් බව බෙදන්නේ ය. ප්‍රාණඝාතය හේතුවෙන් අල්පායුෂ්ක බවද, ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් දීර්ඝායුෂ්ක බවද සත්ව හිංසා හේතුවෙන් රෝගී බව ද සතුනට දයාව දැක්වීම හේතුවෙන් නිරෝගී බවද මානයෙන් හීන කුලයක උපත ද මානය නැතිව ගරුකළ යුත්තන්ට ද ගරු කිරීමෙන් කුලීන බව ද ආදී ලෙසත් කරන ලද කර්මයනට අනුරූපව පුද්ගල විෂමතා දක්නා ලැබෙතැයි ද පැහැදිලි කළහ. දේව නිර්මාණ වාදය පිළිගත්තවුන් මෙම බුද්ධ දේශනාවන්ගේ ද අපැහැදිලි තත්ත්වයන් දකිමින් සචේතනික (සිත මුල්කොට) ක්‍රියා සියල්ලෙන් කර්ම රැස්වන්නේ නම්, පුනර්භවය ඒ කර්මයනට අනුරූපව සැලසේ නම් මිනිසා නිරන්තරයෙන් අතීත කර්මයෙන් මෙහෙය වේයයි ප්‍රකාශ කරයි. ඉහතින් සඳහන් කළ දේව නියම ද මේ අනුව එනම් පුද්ගලයෙකුට ක්‍රියා කළ හැකි වන්නේ කලින් කළ තීරණ අනුවය. එසේ වෙතොත් මිනිසාට සිතාමතා ක්‍රියාකිරීමට නිදහසක් නොමැත. ස්වච්ඡන්දතාව (සිය කැමැත්ත) මිනිසාට අහිමිය. (පුබ්බේකත හේතුවාද ජෛනමතය) අතීත කර්මයක අනිවාර්ය ප්‍රතිඵල භුක්ති විඳින රූකඩයක තත්ත්වයට මිනිසා පත්වේ. එසේම අතීත කර්මයෙන් ගැලවී නිදහස ලබාගැනීමට ද කිසිදු ඉඩක් නොපෙනේ. විමුක්තිය බලාපොරොත්තු වියහැක්කක් නොවේ. අතීත කර්මයක ඵල විඳිනා හෙයින් මිනිසාට වර්තමානය සිය කැමැත්ත ඉඩක් නැත. ලැබුණු හැටියට (ලබා උපන් හැටි) සතුටු විය යුතු ය. චේතනාමය ක්‍රියා කිරීමෙන් කර්ම (පින් පව්) රැස්වන නිසා කර්ම සමුදය සඳහා මූලික මානසික ගති හයක්, එනම්, ලෝභ, දෝස, මෝහ සහ අලෝහ, අදෝස, අමෝහ යන ගති විද්‍යාමාන වේ. ලෝහ, දෝස, මෝහ නිසා ලෝහ දෝෂ මෝහයන් විනා අලෝභ, අදෝස, අමෝහයන් නූපදියි. ලෝභ, දෝෂ, මෝහ හේතුවෙන් සංසාරික වශයෙන් නිරය තිරිසන් ප්‍රේත අපායන් හෝ අන් කිසි දුගතියක් විනා සුගතියක් නම් නොලැබෙන බව එහි තවදුරටත් සඳහන් වේ. එසේම අලෝභාදී හේතු නිසා සුගතියක් විනා දුගතියක් නොලැබේ. මෙසේ සුගතිය හෝ දුගතිය තමා විසින් කෙරෙන කර්මය මත රැඳේ. බාහිර බලවේගයක් (දේව නිර්මිතයක්) කෙරෙන පාලනයකින් තොරව තමාගේම වගකීම මත රැඳෙන ක්‍රියා පිළිවෙතක් මෙයින් මතුවෙයි. තමා විසින් කෙරෙන පවින් තමා කෙලෙසන බවත් තමා පව් නොකිරීමෙන් තමා පිරිසුදු වන බවත්,

අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං - අත්තනාව විසුජ්ඣති
සුද්ධී අසුද්ධී පච්චත්තං - නාඤ්ඤ මඤ්ඤං විසොධයේ

එනිසා පිරිසුදු බව හෝ අපිරිසුදු බව රඳා පවතින්නේ තමා කෙරෙහිමය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම වන්නේ තමාට පිහිට තමාම බවය. සියල්ල දත් බුදුවරයෙකුට වුවත් කළ හැකි වන්නේ හුදෙක් යායුතු මඟපෙන්වාදීම පමණකි. සුදුසු යැයි වැටහෙන්නේ නම් එම මඟ තමන් විසින් ගමන් කළ යුතු ය.

(තුම්හෙව කිච්චං ආතප්පං අක්ඛතාරො තථාගතා - ධ. ගා 276 )

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]