UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආලෝකයෙන් ආලෝකවත් වූ ආලෝක විහාරය

ස්වර්ණමය පත් ඉරුවල ත්‍රිපිටකය ලියා අලුවිහාරයෙහි ගලක් යට නිධන් කරන ලදැයි ජනප්‍රවාදයේ කියැවෙයි.

ඇතැම්විට ජනප්‍රවාදය සත්‍ය වුවත් එසේ නොවුනත් මාතලේ අලු විහාරය නොහොත් ආලෝක විහාරය යන නාමය ස්වර්ණමය පත් ඉරුවක් ලියැවෙන තරමට ශාසන ඉතිහාස පොත ස්වර්ණ වර්ණාලෝකයෙන් බබලවන බව නම් සත්‍යයකි. ඇත්තෙන්ම මාතලේ අලුවිහාරය එසේ සුවිශේෂීයත්වයට පත්වන්නේ එතෙක් පරම්පරාවෙන් කියැවීමෙන් රැගෙන ආ ත්‍රිපිටකය මෙහිදී ග්‍රන්ථාරූඪ කිරීම නිසා ය.

මෙම ග්‍රන්ථකරණ මහා කාර්යයට රහතන් වහන්සේ පන්සියයක් සහභාගි වූ බව සඳහන් වෙයි.

මෙය ලංකා ඉතිහාසයේ බෞද්ධ ශිෂ්ඨාචාර ගමන් මගේ සදානුස්මරණීයයි සන්ධිස්ථානයක් වුව ද මහාවංශය ඒ වෙනුවෙන් වෙන්කර ඇත්තේ කුඩා ඉඩකි. එය මෙසේය.

“ත්‍රිපිටක ධර්මය ද එහි අර්ථ කතාවද ප්‍රඥා ඇති පූර්වක භික්‍ෂූහු මුඛ පාඨ වශයෙන් ගෙන ආවෝ ය. එකල්හි වැසි වූ භික්‍ෂූහු සත්වයන්ගේ පරිහාණි දැක ධර්මයේ චිරස්ථිතිය පිණිස පොත් හි ලියූහ “.... යනුවෙනි.

මීට වැඩි විස්තරයක් සපයන නිකාය සංග්‍රහය.... ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව මෙසේ සඳහන් කරයි. “මහා ස්ථවිර පරම්පරාවෙන් මුඛ පාළි වශයෙන් පැවත ආවා වූ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපදාධිපතියක්හුගේ ආරක්‍ෂායෙන්, පන්සියයක් රහතන් වහන්සේ මාතුල නම් දනව්වෙහි අලුලෙන වැඩහිඳ පොත් සංගායනා කොට ලියවූ සේක” යනුවෙනි.

පූජාවලියේ මෙසේ පවසයි. “බැමිණිටියා සායත් මොහු සාමයෙහිම විය.මොවුන් දවස පන්සියයක් මහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් තුන්පිටකය ග්‍රන්ථාරූඪ කළ බවය.”

සංගායනාවක් පැවැත්මට හේතු පාදක වන පසුබිම කුමක් ද මෙන්ම සහ සංගායනාවක් යනු කුමක්දැයි බුද්ධ වචනයෙන්ම තේරුම් බේරුම් කර ගැනීම ප්‍රථමයෙන් අපි උත්සාහ කරමු.

අන්‍ය ආගමික නායකයකු වූ නිගණ්ඨනාථ පුත්‍රගේ අභාවයෙන් පසුව නිගණ්ඨයෝ දෙකඩ වූහ. ඔවුනොවුහු වාද කිරීමට භේද බින්න වීමට පටන් ගත්හ.

පාවා නුවරදී මෙම පුවත දැන ගන්නා චන්ද නම් තෙරණුවෝ ඒ බව ආනන්ද තෙරණුවෙන්ට දැන්වූහ. එම පුවත ආනන්ද තෙරණුවෝ බුදුන් වහන්සේට සැළ කර සිටියහ. බුදුරජාණන් වහන්සේ එම ගැටලුවට පිළිතුරු දුන්නේ මෙසේ ය.

“ මා විසින් මනාව අවබෝධ කරගත් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද එම ධර්මය සියල්ලෝම එක් රැස්ව අර්ථයෙන් අර්ථය,ව්‍යඤජනයේ ව්‍යඤ්ජනය (සසඳමින්) සංගායනා කළ යුතුය. විවාද නො කළ යුතුය. එය මෙම බ්‍රහ්ම චර්යාව (ශාසනය) බොහෝ ජනයාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, වැඩපිණිස සුව පිණිස, බොහෝ කල් පැවැත්ම සඳහා හේතු වන්නේ ය...”

තුන්කල් දැකිය හැකි මහා ප්‍රඥාවකින් හෙබි සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් හැඟී යන්නේ යම් යම් කාලවලදී විවිධ වූ හේතූන් මත සද්ධර්මයට ශාසනයට විලෝපනයන් අවැඩ උපද්‍රව සිදුවන්නේ නම් එය වළක්වා ගැනීම පිණිස, චිරස්ථිතිය පිණිස, හිත සුව පිණිස විකෘතිතා විවාද නොකරමින් නැවත ධර්මය ඉස්මතු කරමින් කටයුතු කළ යුතු බව ය.

විශේෂයෙන්ම ධර්මය ආරක්‍ෂා කර ඉදිරියට රැගෙන යාමට පිළිතුරක් ලෙස සංගායනාව සරලව පැහැදිලි කරගත හැකිවේ. මේ හේතු ප්‍රත්‍යයන් විග්‍රහකර ගැනීමේදී ලාංකේය බිමේදී ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ මාතලේ නම් පුරවරයේ ආලෝක විහාරය නොහොත් අලු විහාරයේදි සිදු වන්නේ රහතන් වහනසේ එක්ව ධර්මය සංගායනා කිරීමෙන් නොනැවතී මේ පිවිතුරු ධර්මය දීර්ඝ කාලයක් මේ බිමේ යෙහෙන් වැජඹී, සුරක්‍ෂා වී, හුදී ජන හිත සුව පිණික තිරසාර පදනමක් වශයෙන් ග්‍රන්ථාරූඪ කර තැබීමේ උදාර ප්‍රයත්නය මල් ඵල දැරීමට සද් භාවයෙන් කටයුත කිරීම ය.

මෙහි පන්සියයක් උත්තුංග මහා සංඝ සභාවට භූමිකාව, වේදිකාව තැනු මහා සම්මන්ත්‍රණ ශාලාවක් බඳු වූ අලු විහාරය මේ ධර්ම ග්‍රන්ථාරූඪ කිරීම නිසාම ඉතිහාසයට එක් වන්නේ සදානුස්මරණීය මහා ස්මාරකයක් පරිද්දෙනි. එම කාර්යය අගය කෙසේවත් මිලකට තක්සේරු කළ හැකි කාර්යයක් නොවේ.

එදා වළගම්බා දෙවන අභිෂේකයට ප්‍රථම (ක්‍රි.පූ. පූර්ණ 43 ) චෝල ආක්‍රමණිකයන් දහමට වින කරමින් භික්‍ෂූන් වහන්සේ ඝාතනය කරමින් තිරිසනුන් ලෙසින් ක්‍රියාත්මක වෙද්දී ස්වභාව ධර්මයේ කුරිරු ප්‍රහාර හමුවේ ද සමස්ථ ජන ප්‍රජාවටම වදින්නේ මාරාන්තික ප්‍රහාරයකි. වසර 12 ක් පුරා පවතින දරුණු සාගතයෙන් (බැමිණිටියාසායෙන්) බඩ වියතට බත්තුලක් ,උගුර තෙමෙන්නට දිය බිඳක් නොමැති අසරණ ජනතාව බඩගින්නෙන් හා සාපිපාසයෙන් එකා පිට එකා වැටී මරණයට පත් වෙති. කුරිරු මිනිස් ප්‍රහාර හමුවේ මෙන්ම ඒ අභාග්‍ය්‍ය සම්පන්න යුගයේ ව්‍යසනය භික්‍ෂූන් වහන්සේට බලපාන්නේ. දෙගුණ තෙගුණ වෙමිනි. කුරිරු ප්‍රහාර හමුවේ ජීවිතාශාවෙන් මාතෘභූමිය හැර යන භික්‍ෂූන් වහන්සේ අතර ඉඳිකටු සිදුරක් තරම් වූ ජීවිතාපේක්‍ෂාව සහිතව හෝ “උතුම් සද්ධර්මය ආරක්‍ෂා කරමිය” යන අපරිමිත ගුණ පූර්ණ ව්‍යායාමයෙන් මේ බිමේ රැඳුණු පූජාච පූජනීය වූ භික්‍ෂූන් වහන්සේ වූහ. එදා සිතුල් පව් භූමියේ, තිස්ස මහ වෙහෙර භූමියේ විසිහතර දහසක් මහ රහතන් වහන්සේ අවසන් හුස්ම පොද මේ වාතලයට මුදා හැර පිරිනිවන් පෑවේ කිසිදු අහරක් නොමැතිව ‘කර කොළ’ වළඳමින් සිට ජීවිතය ඉල්ලන්නට වෙනත් කිසිදු විකල්පයක් නොමැති තැනය.

ඇතැම් භික්‍ෂූහු ඉන්දියාවට වැඩියහ. ඉන්දියාවට යාමට සමුද්‍ර තීරයට වැඩි සැට නමක් භික්‍ෂූහු නැවත ඒ අදහස අත් හැර මලය රටට වැඩියේ කොයි මොහොතක වියැකේදැයි නොදත් පණ කෙන්ද රැගෙන ය. වළඳන්නට කිසිත් නොමැති තැන උන්වහන්සේලාට මුල් සහ කොළ වැළඳීමට සිදු විය.

එහෙත් මේ දුර්වල ජීවිතයේ අවසන් නිමේශයට මාරයා අත වනන මොහොතේත් තම උගත් ධර්මය හදවතේ ආරක්‍ෂා කරගෙන සිටියේ රන් කරඬුවක් පරිද්දෙන් ය. සිහිමුර්ඡා වී ඇඳ වැටෙද්දීත් දුර්වල මනසට සවිය දෙමින් කටපාඩමින් දත් ධර්මය සජ්ක්‍ඡායනා කළෝය. වාඩිවී සිටීමට හැකි විට එය නොකඩවා සජ්ජායනා කළහ. කෙළින් සිට ගැනීමට නොහැකි සේ කාය ශක්තිය දුර්වල අවස්ථාවේදී ද වැලිගොඩකට හිස තබාගෙන අමතක නොවීමට ඉඩ නොතබා සජ්ජායනා කළහ. දෑත් දෙපා අවලංගු වී දෑස් ගිලී මුව වෙව්ලද්දීත් උතුම් සද්ධර්මය අමතක වීමට ඉඩ නොතබා වෙව්ලන මුවින් ආයාසයෙන් සජ්ජායනා කළෝය. මේ උතුම් සද්ධර්මය මුඛ පරම්පරාවෙන් රැගෙන පැමිණියේ එවන් ප්‍රයත්නයන් හමුවේ ජීවිත පරිත්‍යාගයෙනි. කෙසේ හෝ මහා සාගතය නිමවී වළගම්බා රජතුමාගේ දෙවන අභිෂේකයෙන් පසු මහා විහාර භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ වෙමින් මුඛ පරම්පරාවෙන් රැගෙන පැමිණ ත්‍රිපිටක ධර්මය මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කළේ භික්‍ෂූන් වහන්සේ යම් ව්‍යසනයකින් නොමැති වී ගියහොත් මේ මුඛ පරම්පරාගත ත්‍රිපිටක ධර්මය මිහිමත වැළලීයාමට ඉඩ ඇති නිසාය.

එසේම දුශ්ශීලයන් ශාසනයට එකතු වී ධර්මය වැනසීයාමට ඉඩ ඇති නිසා ය.

එමෙන්ම එවකට මහාවිහාරවාසී භික්‍ෂූන් වහන්සේ සහ අභයගිරි භික්‍ෂූන් වහන්සේ අතර වූ භේද බින්නවීමෙන් පිවිතුරු ධර්මයට යම් අවැඩක් වීමට ඇති ඉඩකඩ ගැනද සලකාය. මතුවටත් පරසතුරු ආක්‍රමණයන්ගෙන් බුද්ධ ශාසනයට භික්‍ෂු සමාජයට ඇතිවීමට ඉඩ ඇති මාරාන්තික අනතුරු නිසා ධර්මය වැනසීයාමට ඇති ඉඩකඩ වැඩිවන නිසා ය.

මෙම ධර්ම ග්‍රන්ථාරූඪ කිරීම වළගම්බා රාජ්‍ය සමයේ සිදුවුව ද මහා විහාර අභයගිරි වියවුල නිසා වළගම්බා රජතුමාගේ පූර්ණ අනුග්‍රහය මෙම මහා සද්ධර්ම සමුළුවට නො ලැබුණු බව බොහෝ වියතුන්ගේ මතයයි. එවකට ප්‍රදේශයේ විසූූ ප්‍රාදේශීය නායකයකු ගේ ප්‍රධානත්වයෙන් මහා විහාර භික්‍ෂූන්ගේ අනුග්‍රහයෙන් එය සිදු වූ බව කියැවෙන්නේ ඒ නිසා ය.

මෙවන් තීරණාත්මක පසුබිමක් යටතේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකින්ද තොරව කූටගත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500 ක් මහ රහතන් වහන්සේ ගේ සුදිලෙනා ලෝකයෙන් එදා මාතලේ අලු විහාරය නොහොත් ආලෝක විහාරය අරහත් ධජයේ බලයෙන් අලෝකවත් විය. ඒ ආලෝකයෙන් මුඛ පරම්පරානුගත ධර්මය ග්‍රන්ථාරූඪ විය.

ඔබ සැබෑ බෞද්ධයෙක් නම් මාතලේ ආලෝක විහාරය වෙත යන්න. නිකම්ම නිකන් හිස් අතින් නොවේ. ඒ ඵෙතිහාසික ගමන් මගේ සන්සිද්ධීන් මෙනෙහිකර ගනිමින් යන්න.

කුසපොත්ත පිටට ඇලී ආයාසයෙන් හෙලනා හුස්ම පොද, දුර්වලව නාඩිවැටෙනා හඬ අතරින් වෙව්ලන මුවින් ධර්ම සජ්ඣයනාව ඔබට ඇසෙනවා දැයි මෙනෙහිකර බලන්න.

ඔබට පෙනේවි! දුර්වල කය මතින් සවිමත් මනසින් නැඟී සිටිනා අරහත් ධජය දැරූ මහා භික්‍ෂු ප්‍රතිරූපයක උත්තරීතර බව. ඒ ආලෝකයෙන් අලෝකවත් වූ ආලෝක විහාරයේ දසුන. ඒ ආලෝකයෙන් දිදුලන ත්‍රිපිටක ධර්ම පුස්කොළ පොත් පෙළ!

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]