UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිපුන් දිවියකට සුපසන් ආදර්ශ

සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ මහබිනික්මන් කළේ දුක් විඳින සියලු ලෝසතුන් කෙරෙහි අනුකම්පාවෙනි. මම සත්‍ය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවන්නෙමි, මම දුකින් මිදී සෙස්සන් දුකින් මුදවන්නෙමි, සංසාරය නමැති මහා සැඩ පහරින් මා පළමුව එතෙර වී සෙස්සන්ද ඉන් එතෙර කරවන්නෙමි, ඒ සිදුහත් බෝසතාණන් වහන්සේගේ උතුම් ප්‍රාර්ථනයයි.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා අප වෙනුවෙන් අප්‍රමාණ වූ දුක් විඳිමින් සමතිස් පෙරුම් දම් පිරුවේ මේ අනුපමේය පැතුම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමටයි. අවසන දස බිම්බරක් මර සෙන් පරදවා සම්මා සම්බෝධියට පත්ව අපට පිහිට වූවෝ, දෙව් බඹ මිනිසුන් ඇතුළු සකල ලෝක සත්වයාගේම අප්‍රමාණ වන්දනාවට පාත්‍ර වූවෝ අපගේ බුදුපියාණන් වහන්සේය. උන්වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව, යථාවාදී තථාකාරි ගුණය සහ අකම්ප්‍ය බව ආදි මහ ගුණ කඳ අනන්තය.

සිදුහත් බෝසත් අවධියේ සිටම උන්වහන්සේගේ යහගුණයන්ගේ විශිෂ්ටත්වය මොනවට විද්‍යාමාන විය. කෙළිදෙලෙන් පසුවන කුමාරවරුන් අතර, ශිල්ප උගන්නා ශිෂ්‍යයන් අතර බෝසතුන්ගේ හැකියා, දක්ෂතා සහ යහපත් චර්යාව කැපී පෙනිණි. එම උතුම් ගුණයන්ගෙන් බිඳක් හෝ අපගේ ජීවිතයට ආදර්ශයට ගෙන අප ජීවිතයද ඒ අනුව සකස් කර ගැනීමට සමත් වන්නේ නම් ඉන් දෙලොවම සැපවත් වන්නේය.

බෝසත් කුමරු රජ මාළිගයෙහි ගත කළ අවධියේදී , ශිෂ්‍යයකු වශයෙන් උගත යුතු සියලු සිප් සතර ඉතා දක්ෂ ලෙස, ක්‍රමවත්ව හා කඩිසරව උගත්තේය. එතුමන්ගේ ශිල්ප දැනීම පිළිබඳ ඥාතීන් විසින් සැක මතුකරනු ලැබූ විට නිහතමානිව එම අභියෝගය පිළිගත්තේය. ඥාතීන් ඉදිරියේ ශිල්ප දක්වා ක්‍රියාවෙන්ම ශිල්පයේ තියුණූ වු දක්ෂතාව ප්‍රකට කළේය. සෑම ශිෂ්‍යයෙකුම මේ සුපැහැදිලිබව, දක්ෂතාව සහ නිහතමානි ගුණය ආදර්ශයට ගන්නේනම් වන සෙත මහත්ය.

පුද්ගලයකු ජීවිතය පුරාම ඉගෙන ගනී. එය විධිමත් හෝ අවිධිමත් අධ්‍යාපනයක් විය හැකිය.අප ඉගෙන ගත යුතු වන්නේ තමන්ටත් අනුන්ටත් හිත සුව පිණිස වන දේය. තමන්ගේ උගත්කම ආභරණයක් කොටගෙන සියලු දෙනාටම පවසමින් හැසිරීම සහ සෙස්සන් පහත්කොට තමන් ඉහළින් වැජඹෙන්නට යත්න දැරීම අමනෝඥ ක්‍රියාවකි. උගත් ශිල්පයෙහි සැබෑවටම දක්ෂයා, මෙසේ හිස් පුද්ගලයකු ලෙස හැසිරෙන්නකු නොවේ. එම පිරුණු තැනැත්තා තමා උගත් දෙය තමාගේත් අනුන්ගේත් යහපත සඳහා භාවිත කරන අතර තැනට සුදුසු ලෙස ශිල්පය යොදවයි. ශිල්පයෙහි නිපුණතාව එළිදැක්විය යුතු යම් අවස්ථාවක් එළැඹි කල්හි ශිල්ප දැක්වීමටද පසුබට නොවෙයි.

ජීවත්වනවා යනු හුස්ම ගන්නවා පමණක්ම නොවේ. විචාරශීලිත්වයක් ජීවිතයට අවශ්‍යමය. මහ බෝසත් උතුමෝද තමා නොදත් දේ, උස් පහත් භේදයකින් තොරව සෙස්සන්ගෙන් අසා දැන ගත්හ. සිදුහත් කුමරා උද්‍යාන ක්‍රීඩා සඳහා නික්ම යන අතර මඟදී දක්නට ලැබුණු සතර පෙර නිමිති පිළිබඳ තම රියැදුරාගෙන් විමසා දැන ඒ පිළිබඳ ගැඹුරින් කල්පනාවට ගත්තේය.

මේ විචාරශීලිත්වය තමන්ගේත්,ලෝ සතුන්ගේත් හිත වැඩ සලසනු පිණිස ගිහිගෙයින් නික්මීමට උන්වහන්සේට මඟ හෙළි පෙහෙළි කළේය. අප දකින, අසන දේ පිළිබඳ මෙබඳු විචාරශීලිත්වයක් අපටත් ඇත්නම් අඩුම තරමින් අප සියල්ලන්ම පස්පවින්වත් වළකිනු ඇත. සසර ගමන කෙටිකර ගැනීමට වුවමනා තියුණු බුද්ධිය අප තුළ මතුකර ගැනීමට අවශ්‍ය කරන්නේද මේ විචාරපූර්වක කල්පනා කිරීමයි.

ජීවිතයක් ඉදිරියට ගමන් කරනුයේ අරමුණු ඔස්සේය. සිදුහත් බෝසතුන්ගේ අභිමතාර්ථය වූයේ බුද්ධත්වය ලබා ලෝ වැසි සත්වයන් දුකින් මුදාලීමයි. කෙතරම් අභියෝග සහ පෙළැඹවීම් ඉදිරිපත් වුවද ස්වකීය යහපත් අරමුණෙන් බැහැර නොවීම බෝසත් චරිතයෙන් අපට ගත හැකි තවත් ආදර්ශයකි.

තවුස්දම් අතහැර රජ සැප විඳීමට පැමිණෙන ලෙස රජගහ නුවරදී බිම්බිසාර රජතුමා අප මහා බෝසතාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේම, සත්‍ය ගවේෂී අවධියේදී ආලාර කාලාම උද්දකරාම පුත්ත තවුසන් වෙත ගොස් ඔවුන් දත් දහම ඉතා කෙටි කලකින් උගෙන අවසන් කළ සිද්ධාර්ථ තාපසයාණන්ට තම අසපුවල තවදුරටත් රැඳී සිටිමින් ශිෂ්‍යයන් පාලනය කරන ලෙසට එම ආචාර්යවරු ඉල්ලා සිටියහ. මේ කිසිදු ඉල්ලීමක් පිළිගැනීමට ගිජු නොවූ බෝසතාණන් වහන්සේ කිසි විටෙක තම මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැර නොවූහ. අභිමතාර්ථ සාධනය තෙක්ම උන්වහන්සේ නොසැලී තම අරමුණ වෙතම රැඳී සිටියහ. පුද්ගලයා, ලාභ, කීර්ති ප්‍රශංසා හමුවේ තම අරමුණ යටපත් කරන, යුතුකම හා වගකීම අමතක කරන සමාජයට මේ ආදර්ශයෙන් සුපෝෂණය විය හැකිනම් කෙතරම් අගනේද? ධනය, බලය කෙතරම් ලැබුණත් මහ පිරිස් විසින් වටකරගෙන සිටිනු ලැබුණත් යහපත් අරමුණෙන් බැහැර වූ ජීවිතය තුළ තෘප්තිමත් හැඟීමක් නැත. අඩුපාඩුවක්, නොමඟ යෑමක් අප තුළ වේ නම් එම අඩුපාඩුව පිළිගෙන නිවැරැදි මඟට පිවිසීමට තරම් නම්‍යශීලිත්වයක් ඇත්තේ අප කීයෙන් කී දෙනෙකු තුළද? දුෂ්කර ක්‍රියාව වැරැදි මඟක් යැයි තේරුම්ගත් පසු එය අතහැර දැමීමටත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමටත් බෝසතාණන් වහන්සේ නම්‍යශීලි වූහ. මනුෂ්‍ය ජීවිතයේ වැරැදි තැන් නිවැරැදි කර ගනිමින් ඉදිරියට යා යුතු වන්නේය.

තමන් අනුගමනය කරන ක්‍රියා මාර්ගය වැරැදි යැයි හැග් නම් එය අතහැර නිවැරැදි මඟට පිවිසීමට තරම් නැමෙන සුළු බවක් තිබිය යුතුය. ජීවිතයක් සාර්ථක වන්නේ එවිටයි.

වටිනා මිනිස් දිවියෙන් නියම ප්‍රයෝජන ගැනීමට නම් කරන කාර්යයන්හි මනා සැලැසුමක් සහ කාල කළමනාකරණයක් තිබීමද අවශ්‍යය. එම ගුණාංග අප තුළ වර්ධනය කර ගැනීම සඳහා මහා කාරුණික වූ බුදුපියාණන් වහන්සේගේ චරිතයෙන් ආදර්ශ ගනිමු. උන්වහන්සේ ක්‍රමවත් සැලැස්මක් ඇතිව කාලය මැනැවින් කළමනාකරණය කරගනිමින් සමාජයට සේවය කිරීම සඳහා තම දින චරියාව සකස් කර ගත්හ. අළුයම පිබිදීමේ සිට රාත්‍රියේ සැතැපීම තෙක් කාලය මොහොතක්වත් අපතේ නොයවා ලෝසතුනගේ හිත වැඩ පිණිස යෙදවීම උන්වහන්සේගේ සිරිත විය. මෙබඳු ඵලදායක කාල කළමනාකරණයක් අපටත් තිබේ නම් සමාජයෙහි හිස්වචන කතා කිරීම, නිකරුණේ කාලය ගත කිරීම ආදිය නැවැතී මහත්ඵලදායි තත්ත්වයකට නැංවෙනු ඇත. එබඳු සමාජයකින් බිහිවන්නේද පුරුෂාර්ථයන්ගෙන් හෙබි අනාගත පරපුරකි.

දරු පරපුර රටක අනාගතයේ හිමිකාරත්වයයි. තරුණ පරම්පරාව රටෙහි ශ්‍රම ශක්තියයි. වැඩිහිටි පරපුර රටෙහි අනාගතයෙහි හැඩය තීරණය කරමින් දරුවන් හා තරුණ පිරිසට මඟ පෙන්වීම සිදු කරති. වරක් සිදුහත් කුමරුනට ඇති වූ කල්පනාවක් පිළිබඳ අරිය පරියේඝන සූත්‍රයෙහි සඳහන් වෙයි. එනම් ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, සහ මරණය ස්වභාව කොට ඇතිව සිටින තමන් විසින් කරනු ලැබිය යුත්තේ එම සාංසාරික ස්වභාවන්ගේ ආදීනව දැන ඉන් මිදීම සඳහා ආර්ය පර්යේෂණයක යෙදීම බවයි. මෙයින් ගත හැකි ආදර්ශය නම් සරු දේ සහ නිසරු දේ කුමක්ද කියා හඳුනාගෙන ඵලදායක, අර්ථවත් ජීවන දර්ශනයක් ගොඩනඟාගෙන ඒ අනුව අපගේ ජීවිතය පවත්වාගෙන යෑමයි. සමාජයේ දරු පිරිස, තරුණ පරපුර සහ වැඩිහිටි පරම්පරාව සිය හිත වැඩ මේ අනුසාරයෙන් සලසා ගැනීම අවැසිය.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]