UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ඩුබායි හි එකම පවුලේ සොහොයුරන් දෙදෙනා පස් වන වරටත් තාවකාලික පැවිදි බිමට

ඩුබායි රටේ වෙසෙන බෞද්ධ මවුපිය දෙපලක් තම දරු දෙදෙනාම සසර ගමන නතර කිරීමේ අටියෙන් පාසල් නිවාඩු සමයේදී තාවකාලික පැවිදි බිමට ඇතුළත් කර විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කරවීමට සලස්වා ඇති අයුරු වැලිමඩ බෝගහකුඹුර උඩුකිරින්ද භාවනා මධ්‍යස්ථානයට යන කාටත් දැකිය හැක.

අහුන්ගල්ලේ ඉපිද දැනට එම පවුල ඩුබායි පදිංචිවී සිටිති. දැනට තාවකාලික මහණ දම් පුරන මෙම සහෝදරයන් දෙදෙනා මෙයට පෙර තායිලන්තයේදී සිවු වතාවක් තාවකාලික පැවිදි ජීවිතය ගත කර ඇත. ඇතැම් මවුපියන් පාසල් නිවාඩු සමයේදී තම දරුවන් විවිධ විනෝද අංශ කරා යොමුකර නිදහසේ ජීවත්වීමට ඉඩ හැරියත්, නිසරු දේට වඩා තම දරුවන් ජීවිතයේ ඇති දුක් කම්කටොළු දුරු කරන සසර ගමන කෙටි කරගත හැකි බෞද්ධ පරිසරයකට එම මවුපිය දෙපල යොමුකර ඇත.

වැලිමඩ බෝගහකුඹුර උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තාවකාලික පැවිදි ජීවිතය ගත කරන බත්තරමුල්ලේ මහින්ද හිමි (15) මගේ ගිහි නම තුසිත ද සිල්වා. මා සමග තාවකාලිකව පැවිදිවී සිටින බත්තරමුල්ලේ අසිත හිමියන් ( මිහිඳු ද සිල්වා ) මගේ මල්ලි. ඔහුට වයස අවුරුදු 13 යි. මල්ලියි, මමයි ඩුබායි රටේ ජුමාරා පාසලේ ඉගෙන ගන්නවා. මම 11 වන ශ්‍රේණියෙත් මල්ලී 08 වන ශ්‍රේණියෙත් ඉගෙන ගන්නවා. අපේ පියා ඩුබායි රටේ පෞද්ගලික දුරකථන සමාගමක ද අම්මා ජේ. පී. එස්. නම් ජාත්‍යන්තර පාසලෙත් උගන්වනවා. දෙමාපියන් ලංකාවේ අයයි. මල්ලියි මමයි ඉපදුනේ ඩුබායි රටේ නිසා එකද සිංහල වචනයක් වත් කථා කරන්න ලියන්න දන්නේ නෑ.

අපේ තාත්තා පැවිදි නොවුනට බෞද්ධ ආගම පිළිබඳව නිසි අවබෝධයක් තියෙනවා. අම්මාත් එහෙමයි. මේ නිසා ඩුබායි වල අපේ ගෙදර බෞද්ධ පරිසරයක් තමයි තිබෙන්නෙ. මේ නිසා අපි කුඩා කල සිටම බුදු දහමට නැඹුරු වුනා. අපි දෙන්නාට මහණ දම් පිරීමට ආශාවක් ඇතිවුණා. මේකට කවුරුවත් පෙළඹුවේ නෑ.

ඉතින් අපේ මහණ වීමට අධ්‍යාපනය නිසා යම් අපහසුවක් බව පෙනුනා. මේ නිසා පවුලේ අපි කථා වුනා තාවකාලික මහණවීම සඳහා පාසල් නිවාඩු කාලය තෝරාගන්න. මේ නිසා අපිට ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට තාවකාලික මහණවීම අත්වැලක් වෙනවා.

පාසල් ජීවිතය අවසන් වුනාම මල්ලියි මමයි දෙන්නා ස්ථිර පැවිදි ජීවිතයට ඇතුල්වෙලා. සසර ගමන නතර කර ගන්න මුළු ශක්තියම යොදවනවා. එහි පළමු අදියර තමයි මේ තාවකාලික පැවිදි ජීවිතය එම මග හෙලි පෙහෙලි කර ගැනීම කීවොත් නිවැරැදියි.

අපි දෙන්නා මේ වනවිට පස් වතාවක් තාවකාලික පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා තියෙනවා. තායිලන්තයේ ධම්මකාය පංසලේ වැඩ වසන හාමුදුරුවරුන් තමයි අපි දෙන්නා මුලින් පැවිදි බිමට ඇතුළත් කළේ. ඉතින් ඩුබායි වල අපේ පාසලේ සිටින ළමුන් 1400 න් මෙවන් සුවදායි සැනසිලි ජීවිතයක් ගත කරන්නේ අපි දෙදෙනා පමණයි.


දෙමාපියන් විසින් පිරිකර පූජා කිරීම

භාවනා ක්‍රමය ඔස්සේ සිත දියුණු කර ගත හැකිවීම හරහා අධ්‍යාපනයටද විශාල අත්වැලක් වෙලා. එසේම යම් මානසික පීඩාවකදී භාවනාවට යොමුවීම හරහා මනස නිරවුල් වීම හරහා සිතට විශාල සැනසීමක් ලැබෙනවා.

කෘතීම ලෝකයක් වර්තමානයේ නිර්මාණය වී තියෙනවා. මේ නිසා අසහනකාරී කලබලකාරී වටාපිටාවෙන් මිදී නිසංසලව බෞද්ධ ධර්මයට අනුව භාවනා යෝගී ජීවිතයක් ගත කිරීමට තරුණ පරපුර යොමුවෙනවා නම් ලෝකයම සාමකාමි පරිසරයක් වේවි. සුළු දෙයකට ආශාවෙන් ලෝභ වීමෙන් ගහ මරා ගැනීම නොව සසර ගමන ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීම සඳහා තරුණ පරපුර යොමුවන්න කියා ඉල්ලනවා යැයි ඒ හිමියෝ පැවැසූහ.

“ඩුබායි” හි පෞද්ගලික දුරකථන සමාගමක සේවය කරන ධර්මප්‍රිය සිල්වා මහතා

“මම ඉපදුනේ අහුන්ගල්ලේ, මම සහ බිරිඳ වන රත්නා ද සිල්වා රැකියාව සඳහා ඩුබායි රටට ගොස් වසර 20 ක් වෙනවා. එම රටේදි තමයි තුසිත හා මිහිඳු යන දරුවන් දෙන්නා ඉපදුනේ. ඩුබායි හි පරිසරය එතරම්ම බෞද්ධ අපිට නුහුරුයි. එහි මුදල් ගැවසීම අති විශාල නිසා දරුවන් නොමග යෑමේ ඉඩකඩ වැඩියි. මෙයින් අපි ගැලවීමට වැඩ පිළිවෙළක් සැකසුවා. අපේ ගෙදර බෞද්ධ පරිසරයකට යොමු කළා. ඒ රටේ සිටින බෞද්ධයන් එකතු කර ගනිමින් විවිධ ආගමික වැඩ සටහන් සංවිධානය කළා. භික්‍ෂුන් වහන්සේ කැඳවා ධර්ම දේශනා පැවැත්වූවා. මේ වැඩ නිසා එහි සිටින බෞද්ධයන් අතර විශාල සමඟියක් ඇතිවී තිබෙනවා.

අපි මුලින්ම ආනාපාන සති භාවනා කිරීමට හුරුවුනා. මේ අතර අපිට හිතුනා දරුවන් දෙදෙනා තාවකාලික පැවිදි කිරීමට. මේ ක්‍රමය බුරුමයේ ( මියන්මාරේ ) ගිහි ජනතාව අතර ඉතාම ජනප්‍රියයි. සාමකාමී ජීවිතයක් නිර්මාණය කර ගැනීමට තාවකාලික පැවිදි ජීවිතය මහෝපකාරී වෙනවා.


උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තලගල විමලධම්ම නා හිමියන්ගෙන් උපදෙස් හා අවවාද අනුශාසනා

දරුවන් දෙදෙනා මීට කැමැති වුනා. එනිසා පාසල් අධ්‍යාපනයට අවහිරයක් නොවන පාසල් නිවාඩු සමය තුළ තාවකාලික පැවිදි ජීවිතය ගත කිරීමට දරුවන් එකඟ වුනා. ඒ අනුව තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයේ හාමුදුරුවන් අපේ නිවසට කැඳවා දින 12 ක කාලයකට දරුවන් පැවිදි කළා. ඉන්පසු එළඹුන පාසල් නිවාඩු කාලවලදී තායිලන්ත ධම්මකාය විහාරස්ථානයේදී මේ දෙදෙනා තාවකාලික පැවිදි ජීවිතයට ඇතුළත්ව බණ භාවනාවල යෙදුනා. ඉතින් අපි තීරණය කළා අපේ රටේ ආගමික පසුබිම යටතේ දරුවන් මහණ කරන්න. ඒ අනුව තමයි අපි බෝගහකුඹුර උඩුකිරින්ද පිහිටි භාවනා මධ්‍යස්ථානය ඒ සඳහා තෝරා ගත්තේ. මම රැකියා කරන නිසා දරුවන්ගේ තාවකාලික මහණ දම් පුරණ විදේශ රටවලට යාම අඩුයි. නමුත් බිරිඳ දරුවන් සමඟ ගොස් එම කාරිය නිමවන තුරු රැඳී සිටිනවා.

දරුවන් දෙදෙනා සමඟ අපිත් භාවනාවේ නියැලෙනවා. ඒ නිසා අපි ලබන්නේ විශාල මානසික සුවයක්. මෙම භාවනා මධ්‍යස්ථානයට අයත් සන්සුන් පරිසරය ඉතා ඉහළයි. ඉතින් අපි හිතාගෙන ඉන්නේ දරුවන් දෙදෙනා අනාගතයේදී ස්ථිර පැවිදි ජීවිතයට ඇතුල්වී බණ භාවනා කර මේ ආත්මයේදිම සංසාර ගමන අවසන් කරාවි කියා. ඒ සඳහා දෙමාපියන් හැටියට අපට කළ හැකි උපකාර දරුවන් දෙදෙනාට ලබා දෙනවා.

කලබලකාරී ලෝක සමාජයේ දරුවන් නිසි මඟට ගෙන සන්සුන් හා සමාකාමී ජීවිතයක් ඔවුනට ලබාදීමට නම් වසරකට වරක්වත් තාවකාලික පැවිදි ජීවිතයක් ලබාදීම කළ යුතුයි. මේ නිසා ආගමික පුනර්ජීවනයක් ද ඇතිවෙන බව කිවයුතු යැයි ඒ මහතා කීය.

උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තලගල විමලධම්ම හිමි

“තලගල භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා ක්‍රම ඉගෙන ගත් එම්. එම්. මුතුබංඩා මහතා බෝගහකුඹුර පාසලේ භාවනා වැඩසටහන් සුළුවෙන් ආරම්භ කළා. ඒ 1984 දියි.

ඉන්පසු මෙම සාමකාමී පරිසරයේ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ප්‍රදේශයේ පින්වතුන් ඉඩම් ලබා දුන්නා. ඒ අනුව 1985 මැයි 29 දින තලගල භාවනා මධ්‍යස්ථානයේ ශාඛාවක් ලෙස මෙහි වැඩසටහන් ආරම්භ කළා. තලගල වීදියගොඩ ප්‍රේමරතන නා හිමියන්ගෙන් පසු මම එහි භාරකාරත්වයට පත්වුනා.

මෙම භාවනා සඳහා හිතකර පරිසරයක් නිසා දිනෙන් දින භාවනා කිරීම සඳහා උපාසක උපාසිකාවන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. උපාසක කුටි 10 උපාසක මාතා කුටි 15 ක් ද මෙහි තිබෙනවා. 88 – 89 සමයේ නොමඟ ගිය තරුණයන් 1800 මෙහි පැමිණ පුනරුත්ථාපනය වෙමින් භාවනාවේ නියැලුනා. උදෑසන 3. 30 අවදිවී රාත්‍රි 9. 30 නින්දට යන තෙක් මෙහි විවිධ භාවනා ක්‍රම හා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අලුයම 4 ට උදෑසන 10 හා හවස 6. 30 වන්දනා කරමින් ‘බුද්ධ වත’ සිදු කරනවා. ඇමරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල තරුණ පිරිස් ද මෙහි පැමිණ භාවනාවේ යෙදෙමින් සන්සුන් මනසක් ඇති කරගන්නවා. එසේම ඊශ්‍රායල් ජාතික තරුණයකු මෙහිදී පැවිදි බිමට ඇතුළත් වුනා.

මෙම කලබලකාරි ලෝකය තුළ සන්සුන් පිරිසක් බිහි කරන්න තාවකාලික පැවිදි ක්‍රමය ඉතාමත් හොඳයි. මෙම කාලය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙසින් ආගමානුකූලව හැසිරෙමින් භාවනා කරමින් ලබන අත්දැකීම් හරහා යළි ගිහි ජීවිතයට ඇතුළත් වීමෙන් පසු සාර්ථකව සාමකාමීව ගත කිරීමට අත්වැලක් වෙනවා.

මෙම භාවනා මධ්‍යස්ථානය ඕනෑම තරාතිරමක අයෙකුට මෙන්ම අන්‍ය ආගමික අයටත් විවෘතයි. සිත සන්සුන් කර ගැනීමට කැමැති ඕනෑම භික්‍ෂූන් වහන්සේ නමකට මෙහි වැඩම කළ හැකියි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]