UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දරුවන් එපා නම්, පන්සලට ගෙනැවිත් බාර දෙන්න

විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍යවල සුලභව පළවන පුවතක් බවට දෙමව්පියන් විසින්ම දරුවන් මරා දැමීම අද දක්නට, අසන්නට ලැබේ. මෙයට විවිධ හේතු තිබෙන්නට පුළුවනි. ඉපදී ඇති දරුවා වෙනත් පියෙකුගේ යැයි නීතියෙන් සම්මත පියාට ඒත්තු යාම. මව වෙනත් අනියම් අයෙකු සමග දීග කෑමට සූදානම් වන අවස්ථාවේදී තමාගේ දැනට සිටින දරුවන් බාධකයක් ලෙසට සැලකීම. දරුවා හදා වඩා ගැනීමට ආර්ථික ශක්තියක් නොමැතියැයි මව් පිය දෙපලම කල්පනා කිරීම. නීත්‍යානුකූල විවාහයකට පෙර ඇතිකර ගන්නා වූ අනිසි සම්බන්ධයක් මත දරුවෙකු කුසෙහි පිලිසිඳ ගැනීම සහ බිහිවීමෙන් පසු තමාට සමාජයට මුහුණ දිය නොහැකි යයි දෙදෙනාම විසින් හෝ එක් අයෙකු විසින් කල්පනා කිරීම, මේ ආදී වූ බොහෝ කරුණු මීට හේතු පාදක වී ඇති බව පෙනී යයි.

එහෙත් එම දරුවා මේ කිසිවකටත් වගකිවයුත්තෙකු නොවේ. මව හෝ පියා හෝ දෙදෙනාම තමන් විනාශ කරන්නේ තම තමා නිසාම හටගත් දරුවෙකු යැයි නොසිතීම අතිශය ඛේද ජනකය. එසේම ප්‍රකෝටි සංඛ්‍යාත සත්ව ජීවිත අතරින් අතිශය දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මය මුළුමනින්ම තිරිසන් ආත්මයක් බවට පත්කර ගැනීමක් යයි නොසිතීම මහා භයංකාරය. මනුෂ්‍යයෙකු හැටියට මෙලොව උපත ලබන්නා මහා භාග්‍යවන්තයෙකි. ඒ භාග්‍යවන්තයාට මෙලොව ජීවත් වීමට ඉඩ සලසා දිය යුතුය. ඒ දරුවන් අතර පඬිවරු, විද්‍යාඥයන්, චින්තකයන්, බුද්ධිමතුන්, ප්‍රාඥයන්, නායකයන් අපමණවත් සිටිය හැකිය. ඒ අය එන්නේ සමාජයට රටට, ලොවට සේවයක් කිරීමටය. ඔවුන්ට ඒ සඳහා ජීවිතය ලබා දිය යුතුය.

දරුවන් මරා අභාග්‍ය සම්පන්නයන් වනවාට වඩා එම දරුවන් ජීවත් කිරීම මගින්, එම මවට හෝ පියාට මහා භාග්‍යවතුන් විය හැකිය.

මොන යම්ම හේතුවක් නිසාවත් දරුවන් මරා දමන්න එපා. ගමේ පන්සලට ගොස් විහාරාධිපති හාමුදුරුවන් වහන්සේ සමග කතා බස්කර හාමුදුරුවන්ට දරුවා භාර දෙන්න. ගමේ පන්සලට යා නොහැකි නම් අසල ගමේ වෙනත් පන්සලකට ගොස් භාර දෙන්න. මෙයට ජාතිය, කුලය, ආගම, තරාතිරම ප්‍රශ්නයක් කර ගන්න එපා. ගැහැණු දරුවෙකු නම් හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් ලබාගෙන ආසන්න භික්ෂුණී ආරාමයකට හෝ සීල මාතා ආරාමයකට භාර දෙන්න. අනිවාර්යෙන්ම සමාජයට රටට වැඩ දායක ගුණ ගරුක පුරවැසියෙක් බවට ඒ දරුවා පත් කරනවා ඇත. දරුවන් මරා දමන මනුෂ්‍ය ඝාතන මහා පාප කර්මයෙන් මිදී සමාජයට ගුණයහපත් පුද්ගලයන් ලබාදීමේ මහා පුණ්‍ය ක්‍රියාවට ඔබට සම්බන්ධ විය හැකි බව කාරුණිකව සැලකුව මැනවි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]