UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ග්‍රන්ථ ප්‍රකාශන

සතිමත්බව වැඩීම

කර්තෘ:- හේනේපොල ගුණරතන නාහිමි
පරිවර්තනය:– වර්ජනී මුදිතා ෆොන්සේකා
ප්‍රකාශනය:- බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර

හේනේපොල ගුණරතන මහ නා හිමියන් විසින් ඉංගී‍්‍රසියෙන් ලියන ලද විදර්ශනා භාවනා වැඩීමට මඟ පෙන්වන කෘතියක සිංහල පරිවර්තනයයි. මේ පරිවර්තනය සඳහා කතු හිමියන් නිකුත් කළ පණිවුඩයේ මෙසේ දැක්වේ.

අපගේ Mindfulness in plain English නමැති ධර්ම ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කර තිබීම දැක මම බෙහෙවින් සතුටට පත්වීමි. එය මහනුවර බෞද්ධ ප්‍රකාශන සමිතියේ මෙහෙයවීම යටතේ සිදුවීම මගේ පී‍්‍රතිය තවදුරටත් වැඩිවීමට හේතු වූ බවද සඳහන් කළ යුතුව තිබේ.

දැනට ලෝකයේ භාෂා විසි දෙකකට පරිවර්තනය කර ඇති මෙම ග්‍රන්ථය භාවනාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට පමණක් නොව ප්‍රවීණ භාවනානුයෝගීන්ටද එකසේ ප්‍රයෝජනවත් අයුරින් ලියා ඇති නිසා එය 1991 වසරේ සිටම ලොව පුරා භාවිතා කරනු ලැබේ.
 


විෂය සූචිය
ජාතක පොත හා සද්ධර්ම රත්නාවලිය

කර්තෘ:- හීනටිපන ඒ. ඇම්. තිලකරත්න
ප්‍රකාශනය:- සහස්‍ර ප්‍රකාශකයෝ, මාලිගාකන්ද පාර, කොළඹ 10
මිල:- රු.200/-

සිංහල බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ජාතක පොත හා සද්ධර්ම රත්නාවලිය කිසියම් තේමාවක් යටතේ පරිශීලනය කිරීමට පහසු කිරීම සඳහා සකස් කළ විෂය සුචීයකි.

මෙහිදී මාතෘකා පන්සියයකට අධික ප්‍රමාණයක් යටතේ කථා අටසියයක් පමණ විෂය අනුව වර්ගකොට තිබේ.

ජාතක පොත හා සද්ධර්ම රත්නාවලිය පිළිබඳව පර්යේෂණ කිරීමේදී මෙය බොහෝ සෙයින් උපකාර වනු ඇත.

 

 


කොසොල් රජ දුටු බුදුන් වහන්සේ

කර්තෘ:– සුනන්ද මහේන්ද්‍ර
ප්‍රකාශනය:– දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල:- රු. 200/-

පසේනදී කොසොල් රජතුමා හා බුදුන් වහන්සේ අතර පැවැති සංවාද ඇසුරින් කළ නිර්මාණයකි. මේ කෘතියේ පෙරවදනෙහි කතුවරයා මෙසේ සටහන් කර තිබේ.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කළ බුද්ධ කාලීන සමාජයේ විසු විවිධාකාර පුද්ගලයන්ගේ චර්යාවන් හෙළිවන සුත්ත පිටකයට මුල සිට අග දක්වාම කියවීමෙන් නිර්මාණ ශක්තියෙන්ම සියුම් නිරීක්ෂණ ශක්තිය ද ඔප්නංවා ගත හැකි යයි හඟිමි. එබැවින් මම සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය කීප වරක්ම කියවා බැලුවෙමි. ඒ හැම වාරයකම මම රජතුමකු හා බුදුන් වහන්සේ අතර පැවැති සංවාදයේ අභ්‍යන්තරය හා ඒවා නිර්මිත රටාව හඳුනා ගත්තෙමි. මේ කෘතිය එහි ප්‍රතිඵලයකි.



 


අපේකම

කර්තෘ:- ඒ.ජී. සූරසේන
කර්තෘ:– ප්‍රකාශනයකි
මිල:- රු.250/-

සම්ප්‍රදායික කෘෂිකර්මය මත පදනම් වූ අපේකම පෙන්වා දෙන ග්‍රන්ථයකි. මෙයට පසුවදනක් සපයන පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති දර්ශනපති ගැමුණුපුර, සෝමවංශ හිමියෝ මෙ සේ පවසති.

ඒ.ජී.සූසේ විසින් විරචිත ‘අපේකම’ කෘතිය පෞරාණික ශ්‍රී ලාංකේය සිරිත් විරිත් සමාජ සාරධර්ම යුතුකම් අයිතිවාසිකම හා කෘෂිකර්මාන්තය ආදි ක්‍ෂේත්‍ර පදනම් කරගත්තකි.

බුදු දහම අල්පේච්ඡතාව අගයන දහමකි. පෞරාණික ග්‍රාමීය ජනයා බුදුදහමේ ඉගැන්වෙන අල්පේච්ඡ බව තුළින්ම ජීවිත ගොඩනඟන ලද්දෝ වූහ. එනමුත් වර්තමානයේ ජීවත් වන්නේ අල්පේච්ඡ බව දුරලා බහුභාණ්ඩික බව තම ජීවිතයට එක්කරමින් අසතුටින්ම ජීවත්වන්නෝ වෙති. ඒ බව කතුවරයා මෙම කෘතියෙන් ඉස්මතු කර දක්වයි.

 


සූත්‍ර ධර්ම අධ්‍යයනය

කර්තෘ:- ශාස්ත්‍රපති පී. වීරතුංග
ප්‍රකාශනය:- වාසනා කුමාරි දිසානායක

බුද්ධ දේශිත සූත්‍ර ධර්ම 30 ක් සිංහල අනුවාදයක් ද සහිතව ක්‍රමානුකූලව අධ්‍යයනය කර විග්‍රහ කරන ග්‍රන්ථයක් වන ‘සූත්‍ර ධර්ම අධ්‍යයනය’ බුදු දහම විධිමත්ව හදාරණ ශිෂ්‍යයන් මෙන්ම ධර්ම ඥානය වර්ධනය කර ගැනීම පිණිස සම්බුද්ධ දේශනයන් කියවා ගැනීමේ උද්‍යෝගය ඇති ධර්මකාමීන් ද අරමුණු කරගෙන සංස්කරණය කරන ලද සද්ධර්ම සංග්‍රහයකි. බුදු දහම පිළිබඳ සාවද්‍ය විවරණ දිනපතා සුනාමි වේගයෙන් පොත් හල් කරා ගලා එන සමයෙක කෘතහස්ත විද්වතෙකු අතින් රචිත නිවැරදි බෞද්ධ ස්ථාවරයක පිහිටා කරනු ලබන විවරණ ග්‍රන්ථයක් නිකුත්වීම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාගේත් අමන්දානන්දයට හේතු වනු නිරනුමානය.

සූත්‍ර දහස් ගණනක් අතුරින් සූත්‍ර 30 ක් මේ අයුරින් තෝරා ගැනීම මහා දුෂ්කර කාර්යයකි. පී. වීරතුංග මහතා මේ සඳහා උසස් පෙළ විභාගාපේක්‍ෂකයන්ගේ අවශ්‍යතාවන් ප්‍රමුඛ කරගෙන ඇති බව පැවසෙන නමුත් මෙම තෝරා ගැනීම තුළ බෞද්ධ සාරධර්ම හා ශික්‍ෂා මාර්ගය හඳුනාගනු කැමති කාහට වුව ද අදාළ පෙළ ගැස්මක් ඇති බව අපගේ හැඟීමයි.

සද්ධර්මයේ ප්‍රභවය සිදුවී වසර 2600 ක් ගතවූ මේ ඓතිහාසික සමය තුළ කාගේත් අවධානය යොමු වන මුඛ්‍යතම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙන් ආරම්භ කර මහා පරිනිබ්බාණ සූත්‍රයෙන් නිම කෙරෙන මෙම සූත්‍ර සමුච්චය විශ්වයේ පරිණාමය, මානව සමාජයේ සංස්ථා විකාශය හා සමාජ දේශපාලන අර්බුද උදෙසා බුදුරදුන් සැපයූ විවරණය මෙන්ම බෞද්ධ චිත්තාකල්පය හා ගිහිපැවිදි සදාචාර ශික්‍ෂණය පිළිබඳව බුද්ධ මතයද මනාව නියෝජනය වන දේශනයන් ඇතුළත් වන පරිදි තෝරාගත් බව පෙනේ.

නිවැරදිව සිතන පිළිවෙළ හඳුන්වා දෙන කාලාම, විමංසක හා චුල්ලහත්ථි පදෝපම යන සූත්‍ර ද සමාජ විචාරය ප්‍රගුණ කරවන අස්සලායන, අග්ගඤ්ඤ, වාසෙට්ඨ වැනි සූත්‍ර ද සාරධර්ම කුළුගන්වන අම්බලට්ඨික රාහුලෝවාද, අරියපරියේසන, වේළුද්වාර වැනි සූත්‍ර ද අන්තර්ගත මෙම සමුච්චය ප්‍රායෝගික බෞද්ධ ශික්‍ෂණය හා ගිහි විනය කෙරේ ද විශේෂාවධානය යොමු කර ගොනු වූ වක් බව පාඨකයාට හැඟී යනු නිසැකය. සූත්‍ර පිටකායත්ත පංච නිකායෙන් මෙන්ම විනය පිටකයට ගැනෙන මහා වග්ග පාලියෙන් ද තෝරාගනු ලැබූ මේ සූත්‍ර මෙසේ එක් සංග්‍රහයක් තුළ කියවා ගන්නට ලැබීම වුව ද භාග්‍යයක්මය.

වඩාත් දුෂ්කර කාර්යය වනුයේ සූත්‍ර ධර්ම තෝරා ගැනීමට වඩා ඒවා පරිවර්තනය කර විවරණය කිරීමයි. ඓතිහාසික හා සම්භාව්‍ය කර්තව්‍යයක් වූ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන් හි ද පරිවර්තන ඇතුළත් නමුත් හුදෙක් උගත් පණ්ඩිත යතිවරුන් අරබයාම දුෂ්කර හා යල් පැන ගිය අනුරාධපුර, පොළොන්නරු සිංහලයෙන් පළ කර ඇති හෙයින් ඒවා සමකාලීන බෞද්ධයන්ට නිරන්තර පරිහරණයට යෝග්‍ය නොවේ. එහෙයින් තමන් ලද විධිමත් පාලි සිංහල පාණ්ඩිත්‍ය කාලීන භාවිතයට අනුරූප පරිදි භාවිතයට යොදා ගනිමින් වීරතුංග මහතා ඒ සියල්ල නැවත පරිවර්තනය කර ඇති බව පෙනේ. එතකුදු වුවත් ධර්ම ගෞරවය සුරකිමින් ශාසනික ව්‍යවහාරය තුළ රැෙඳමින් සාවධාන ශික්‍ෂණයක් ඇතිව මෙම පරිවර්තනය ඉටුකිරීමට ඒ මහතා ප්‍රවේසම්ව ඇති බව ද කිව යුතුය.

සූත්‍ර විවරණය සඳහා අනුගමනය කර ඇත්තේ ද නව්‍ය විධි ක්‍රමයකි. ඔහු මුලින්ම කරන්නේ සූත්‍රයෙහි අන්තර්ගතය සංක්‍ෂිප්ත මාතෘකා වශයෙන් සාරාංශ ගතකොට අංක පිළිවෙළින් ඉදිරිපත් කිරීමයි. සූත්‍ර කියවීම මගින් තමන් ලබන්නට යන ඥානය පිළිබඳ දළ හැඟීමක් මෙමගින් කියවන්නාගේ සිත තුළ ජනිත වේ. අනතුරුව සූත්‍ර දේශනය නිරවුල් සිංහල භාෂාවට නගමින් ඉදිරිපත් කරනු ලැබේ. එය පාලි රීතියේ හිරවි කරනු ලබන්නක් නොවේ. කියවන්නා පාදක කරගනිමින් ඔහුගේ අවබෝධය පහසුවම සිතෙහි තබාගෙන ස්වාධීන ලෙස සිංහල බසින් ඉදිරිපත් කිරීමකි. එහෙත් කිසිවිටක බුද්ධ භාෂිතය විකෘති කිරීමක් පටලවන්නට වෑයම් කිරීමක් හෝ අත්තනෝමතික ලෙස තහවුරු කිරීමට ප්‍රයත්න දැරීමක් දක්නා නොලැබීම විශේෂයෙන් ප්‍රශංසා කළ යුත්තකි.

වර්තමාන ගිහි පැවිදි ජනප්‍රිය ධර්ම කථිකයෝ පාලියෙන් සිංහලට බුදු වදන් පෙරැළීමේදී තමන්ගේ හිතුවක්කාර මතිබ්‍රම සනාථ කිරීමේ යම් අරමුණින් ‘අලුත්’ පරිවර්තන ඉදිරිපත් කරමින්, ඇතැම් කියුම් තනිකර ගෙන නව අරුත් ගන්වමින්, අන්‍යාගමික – අන්‍යදෘෂ්ටික – අන්‍යභක්තික විචාර සමඟ ගලපන්නට වෑයම් කරමින් ‘නව සිංහල ත්‍රිපිටක’ ගොඩනගන සමයක බුද්ධ භාෂිතයට සාධාරණය ඉටු කරන මෙවන් පරිවර්තන සාදර සිතින් කීර්ථනය කළ යුතුය. තෙවන පියවර සේ සූත්‍රයෙහි පරිශීලනය වැදගත් කරුණු පිළිබඳව විවරණය කිරීමක් ඉදිරිපත් කරනු ලැබේ. වීරතුංග මහතාගේ බහුශ්‍රැතභාවය හා විචාර කෞශල්‍ය ප්‍රකටව පෙනෙන්නේ එම කොටසේදීය. දශක තුනකට වැඩි කාලයක් ගිහි – පැවිදි විද්වත් පර්ෂදයන් හි දරන ලද ශික්‍ෂක භූමිකාවෙහි අස්වැන්න එහි ලා පාඨකයා සමඟ බෙදාගන්නා ආකාරය ප්‍රශංසාර්හය. සිතන්නට විමසන්නට කැමති පාඨකයන් ඒ මගින් මහත් ආශ්වාදයක් ලබනු නිසැකය.

මෙසේ කතුවරයා විසින් තමන් තෝරාගත් සූත්‍ර දෙතිස වෙත යොමු කර ඇති අධ්‍යයන මාර්ගයෙහි ක්‍රමානුකූල හා ප්‍රබෝධජනක ස්වභාවය මහාචාර්ය ආරියපාල මහතාගේ සිත කොතරම් ප්‍රබෝධයට පත් කර ඇත් ද යනු එම ප්‍රවේශය සූත්‍ර විවරණයේ ලා ‘වීරතුංග න්‍යාය’ ලෙස පෙරවදනෙහි නම් කර තිබීමෙන් ම පෙනේ. සෑම සූත්‍රයක්ම එම රටාව තුළ සංගතව පිහිටා විවරණය කර ඇති හෙයින් එම ප්‍රස්තුතය අර්ථ සම්පන්න බව කිව යුතු වෙයි.

පාලි සූත්‍ර තෝරාගෙන පරිවර්තනය කර විවරණ සහිතව ඉදිරිපත් කරන පොත් රාශියක් ඉංග්‍රීසි බසින් පළවී ඇතත් එබඳු සිංහල ග්‍රන්ථ දුර්ලභය. කළුකොදයාවේ ශ්‍රී ප්‍රඥාසේකර නාහිමියන් පෙළ ගැස්වූ ‘සූත්‍රාර්ථශේඛරය’ නම් ග්‍රන්ථයක් ගැන මට මතකයක් තිබේ. එමෙන්ම යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ගේ ‘ස¼ගිබණ’ ද රමණීය ධර්ම විවරණයකින් ශෝභාමත් වූ සූත්‍ර පරිවර්තනයකි. එවන් සම්භාව්‍යය පොත් කුලකය තුළට වීරතුංග මහතාගේ සූත්‍ර ධර්ම අධ්‍යයනය ද හරසරින් පිළිගැනෙන බව නිරනුමානය.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]