UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඓතිහාසික යටිහෙලගල රාජමහා විහාරයේ වැඩ සිටින ධාතූන් වහන්සේ අම්බුළුගල රාජමහා විහාරයේදී ප්‍රදර්ශනයට

තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුරදුන්ගෙන් තමන්ට ලැබුණු කේශ ධාතු නිධන් කරමින් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය යන රටවල දාගැබ් ඉදි කළහ. මේ බව ශාසන ඉතිහාසයේ මෙන් ම හියුං සියං දේශාටන වාර්තාව විමසීමෙන් පෙනෙයි. තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාවට පැමිණ කර වූ ප්‍රකට දාගැබ තිරියායේ ගිරිහඬු මහා සෑය යි. ගිරිහඬු මහා සෑය හැරුණු විට මහියංගනය, සේරුවිල, මුතියංගනය, කතරගම කිරිවෙහෙර, අනුරාධපුර ජේතවනාරාමය, අම්බලන්තොට ගිරිහඬු මහා සෑය, මාවතගම අරම්පොළ මකුලාන රාජ මහා විහාරයේ ධාතු සෑය, ගොඩවාය ගෝඨපබ්බත විහාරයේ ධාතු සෑය, මාදම්පේ සේනානායකාරාමයේ ශිලා ස්තූ®පය යන දාගැබ් වහන්සේලා සර්වඥ කේශ ධාතු නිදන් ගත ව ඇති ලංකාවේ දාගැබ් වහන්සේලා ලෙස ප්‍රකට ය.


සර්වඥ කේශ ධාතූන් වහන්සේලා සහ මහ රහත් ධාතූ®න් තැන්පත්ව ඇති මහ රන් කරඬුව.

මේ හැරුනු විට බංග්ලාදේශයේ චිතගොන්හි මහා විහාරයකින් ලැබුනු කේශ ධාතු කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරයේ තැන්පත් ව ඇත. මෙතෙක් නිදන් ගත ව නැති ව බැවින් මේ සර්වඥ කේශ ධාතු සියැසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගැනීමේ අවස්ථාව ලක්වැසි මෙන්ම ලෝකවාසී බෞද්ධයින්ට හිමි වී තිබේ. මේ හැරුනු විට අපේ බෞද්ධයින් ගෙන් බොහෝ දෙනා නොදන්නා, කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින තව පුරාණ සිද්ධස්ථානයක් මේ පින්බර දිවයිනේ ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ ඓතිහාසික යටිහෙලගල පුරාණ රාජ මහා විහාරය යි.

ඓතිහාසික යටිහෙලගල පුරාණ රාජමහා විහාරයේ ද කේශ ධාතූ®න් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ සිටිති. පරම්පරාවෙන් පරම්පරාවට ආරක්‍ෂාවෙමින් පැවති මේ කේශ ධාතූන් වහන්සේලා ඉතා තද කලු පැහැති ය. වක්‍ර හැඩය ගනී. එහි වැඩ සිටින කේශ ධාතූ®න් වහන්සේලා ගෙන් ප්‍රමාණයෙන් දිග කේශ ධාතු අඟල් දෙකක් තරම් දිග ය. මේ කේශ ධාතු අතර අඟල් දෙකට වඩා කුඩා කේශ ධාතු කොටස් ද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. මේ නිසා දිග කේශ ධාතු වෙනමත් කුඩා කේශ ධාතු වෙනමත් ගෙන ඉතා රමණීය රන් කරඬුවක තැන්පත් කර තිබේ. මේ කරඬුව අඩි හයක් තරම් උස ය. රමණීය වියනක්, රන් ඡත්‍රයක් සහිත ය. කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින මේ කරඬුව දුටු විට එක්වර ම සිහිවන්නේ මහනුවර ශ්‍රී දළඳා මැදුරේ මහ රන් කරඬුව යි.

කේශ ධාතු වැඩ සිටින කරඬුව තුළ සර්වඥ ධාතූ®න් වහන්සේලා ද, රහත් ධාතූන් වහන්සේලා ද වැඩ සිටිති. රහත් ධාතු අතර සැරියුත්, මුගලන්, සීවලී, බක්කුල, ආනන්ද, අංගුලිමාල යන මහ රහතන් වහන්සේලා ගේ අස්ථි ධාතු ද මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ ගේ අස්ථි ධාතූන් වහන්සේ නමක් ද තැන්පත් ව ඇත. ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ ගේ අස්ථි ධාතූ®න් වහන්සේ පමණක් වෙනම කරඬුවක් තුළ තැන්පත් කර තිබේ.

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතූන් වහන්සේ සාංචියේ කැණීම්වලින් හමු වූ සැරියුත් මහරහතන් වහන්සේ ගේ අස්ථි ධාතූන් මෙන් ප්‍රමාණයෙන් තරමක් විශාල ය. දිගටි ය. සුදු පැහැයට හුරු ය. මුගලන් මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුව කුඩා ය. ඉතා තද දුඹුරු පැහැති ය. සීවලී මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතු තරමක් විශාල ය. සුදු පැහැති ය. බක්කුල මහ රහතන් වහන්සේ ගේ ද එසේම ය. මේ රහත් ධාතූන් වහන්සේලා ලැබී ඇත්තේ බුරුම රටෙන් ය. ආනන්ද මහ රහතන් වහන්සේ ගේ හා අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ ධාතු ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට ආරක්‍ෂාවෙමින් තිබී හමු වී ඇත. ආනන්ද මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුව කුඩා ය. සුදු පැහැති ය. දීප්තිමත් ස්වභාවයක් පෙන්වයි.


සර්වඥ කේශ ධාතූන් වහන්සේලා

අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුව මහානුභාව සම්පන්න බවක් පෙන්නුම් කරයි. මේ අස්ථි ධාතුව ද කුඩා ය. තද දුඹුරු පැහැයට හුරු ය. මේ ධාතූ®න් වහන්සේ ගැබිණි මව්වරුන් ගේ මහත් වූ වන්දනාවටත් ගෞරවාදරයටත් පත්ව ඇත.

ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියගේ අස්ථි ධාතුව කුඩාය. සුදු පැහැති ය. අස්ථි කැබැල්ලක ගති ස්වභාවය හොඳින් ප්‍රකට කරයි.

යටිහෙලගල රාජමහා විහාරයේ තනන ලද ගන්ධ කුටියක් තුළ ඉතා ආරක්‍ෂිතව වැඩ සිටින මේ ධාතූන් වහන්සේලා විශේෂයෙන් විහාරයෙන් පිටතට වැඩම කරවා මහජනයාට ප්‍රදර්ශනය කර නැත.

ඒත් දෙදහස් හයසිය වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගෙන ද අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කර වසර දෙදහස් හයසියයක් පිරීම නිමිති කර ගෙන ද මේ ශුද්ධ වූ ධාතූ®න් වහන්සේලා යටිහෙලගල රාජමහා විහාරයේ ධාතු මන්දිරයෙන් පිටතට වැඩම කරවා මහජනයාට ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙය ඉතා දුර්ලභ වූ විශේෂ සිද්ධියක් බව දත යුතු ය. මෙසේ මේ ධාතූන් වහන්සේලා වැඩම කරවන්නේ මාවනැල්ලේ ඓතිහාසික අම්බුළුගල රාජමහා විහාරයට යි. සයවැනි පරාක්‍රමබාහු මහ රජු විසින් කරවනු ලැබුවායයි සැලකෙන මේ විහාරයේ දෙමහල් විහාරගෙයි යටි මහලේ දී සර්වඥ කේශ ධාතු හැරුනු විට අග්‍ර ශ්‍රාවක ධාතු ද සීවලී, අංගුලිමාල යන මහ රහතන් වහන්සේලා දෙනමගේ අස්ථි ධාතු ද සැදැහැතියන්ට සියැසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගැනීමේ ඉතා දුර්ලභ අවස්ථාව උදා වී තිබේ.

සියලු සත්වයෝ ඉතා දුර්ලභ වූ සර්වඥ කේශ ධාතු හා මහ රහත් ධාතූන් වහන්සේලා සියැසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගෙන දෙව් මිනිස් සැප සම්පත් උදා කර ගනිත්වා ! උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගෙන මේ ඝෝර භයංකාර සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා !

කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]