UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

50 වන වරටත් පැවැත්වෙන හෝමාගම පොසොන් මහ පෙරහර 18 දා

ශ්‍රී ලංකාව වසර දෙදහස් පන්සිය ගණනක සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලක්වී ඇත. බෞද්ධ සංස්කෘතික හරයන්ගෙන් පෝෂිත දහම් දිවයිනක් ලෙස අප රට සළකන්නේ බෞද්ධ ඌරුවට අදාළ පසුබිමක් ගොඩ නැඟී ඇති හෙයිනි. සාහිත්‍ය තුළ බෞද්ධ සාහිත්‍ය ලකුණු ද කලා ශිල්ප තුළ බෞද්ධ ශිෂ්ටාචාරයක නටබුන් ද සංස්කෘතික අංග ශිල්පවලදී බෞද්ධ මුහුණුවර ද දක්නට ලැබෙන්නේ බොදු උදානය සෑම අංශයකම පැතිරී ඇති හෙයිනි. සිරිලක සිවු කොණ අස්සක් මුල්ලක් නෑරම දාගැබ්, මහබෝ, පෙති පිළිම ඈ වන්දනීය පූජනීය වස්තූන්ගෙන් පිරීපවතින්නේ බුදු දහමේ ආභාසය ලැබුදා සිට ගම් දනව් සිසාරා බොදු හැදියාව, බොදු සිරිත, බොදු දහම මානව වර්ගයා වෙත දායාද වූ බව ය.

මහාවංසය ආදී අපේ ජාතික වංශ කතා වලින් සිරිලක රජ දරුවන් ලංකා මාතාවගේ විජයග්‍රහණය පිණිස කරන ලද අනභිභවනීය සේවාව වාර්තා කරන්නා සේ ආගමික ප්‍රබෝධය පිණිස දිවි හිමියෙන් ගෞතම බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ගත් විවිධ ක්‍රියා මාර්ග ගැනද තොරතුරු සඳහන් වේ. සමුදුරු පරයන මහ වැව් තනවා, මහ වැව කෙළවර දාගැබ් තැනුවේ හෙළයා අර්ථයෙන් ධර්මයෙන් පෝෂිත ජනතාවක් කිරීම සඳහා ය. ඒ නිසා එම වගකීම මැනවින් ඉටුකරන අතර මහින්දාගමනය නිසා දායාද වූ අනේක විධි කලාශිල්ප ආදී නව අංග කෙරෙහි ද ජනතාව වඩාත් උනන්දු විය. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම ලංකා ශාසන ඉතිහාසයේ අසිරිමත් සිදුවීමක් වූ අතර බෞද්ධ පූජනීය වස්තුවක් වෙනුවෙන් මහ පෙරහරක් පැවැත්වීමට දළදාගමනය සිදුවීමත් සමග උදා විය.

ඒ අනුව ලක්දිව මුල්ම පෙරහර අභයගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් දළදා පෙරහරක් ලෙස අනුරාධපුර නගරය ඒකාලෝක කරමින් පැවැත් වූ බව මහාවංශය වාර්තා කරයි. අනතුරුව වෙසක්, පොසොන් උත්සවය හා ඇසළ පෙරහර උත්සව ලක්දිව රජවරුන් විසින් ඒ ඒ කාලවලදී පැවැත් වූ අයුරු වාර්තා වේ. ඇසළ මාසය සැණකෙළි සමය ලෙස ඉන්දියාවේ මෙන්ම ලංකාවේද සළකා කටයුතු කර ඇත. පොසොන් පෙරහර ලක්දිව දහම් ආලෝකය ලැබීම මුල් කරගෙන පැවැත් වූ අතර මිහිඳු මහ රහත් වහන්සේ පිදීම එහි මූලික අරුත විය. ජීවමාන ප්‍රමාණයේ මහා මහේන්ද්‍ර ප්‍රතිමාවක් රැගත් පැරණි පෙරහර ක්‍රමයක් ගැන සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන්වන අතර ක්‍රමානුකූලව එය විශාල සංස්කෘතික දායාදයක් ලෙස සංවර්ධනය වූ බව සිහිපත් කළ යුතු ය.

හෝමාගම පුරාණ විහාරස්ථානය ජාතික ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් උදා කරන හේවාගම් කෝරළයේ පිහිටි පැරණි විහාරස්ථානයකි. එහි 1960 වර්ෂයේ ආරම්භ කළ පොසොන් මහා පෙරහර මෙවරද 50 වන වරටත් ජූනි 18 දින රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතය. පුරාණ විහාරාධිපති සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් ගුරු උපදේශක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අනුශාසනය පරිදි විහාරස්ථ මහා මහින්දෝත්සවය සමිතිය සංවිධානය කරන මෙම මහ පෙරහරට විහාරස්ථ විශාකා කුලඟන සමිතිය, දායක මහ සභාව, සිරි සීවලි දහම් පාසල යන ආයතන සෘජුවම දායකත්වය සපයයි. එපමණකුදු නොව හෝමාගම ප්‍රාදේශීය සභාව විශාල අනුග්‍රහයක් දක්වන අතර බස්නාහිර පළාත් සභාව ද හේවාගම් කෝරළයේ මෙම සංස්කෘතික උදානය රැක බලා පෝෂණය කිරීමට දායකත්වය සපයයි. හෝමාගම පුරාණ විහාරස්ථානයට කවදත් අතහිත දෙන හෝමාගම ව්‍යාපාරික ප්‍රජාව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකයින් මෙම පොසොන් මහ පෙරහර සාර්ථක කර ගැනීමට දක්වන උනන්දුව අමිල වේ.

මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව වැඩම කරවන අතර මහා මහේන්ද්‍ර ප්‍රතිමාව වැඩම කරවීමද මෙම පෙරහරේ විශේෂ අංග ලක්‍ෂණ වේ. එම දෙඅංශයේ පූජනීයත්වය ගරුත්වය රැක දෙනු වස් අවශේෂ විශේෂාංග රැසක් මෙවර පෙරහරට අතිරේක ආලෝකය සපයයි. උඩරට, පහතරට, සබරගමු නැටුම්, දිසා පළාත් ධජ, පතාක, අලි ඇතුන් පහළොවක්, වෙනත් නර්තන අංග, දහම් පාසල් ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ නැටුම් ගැයුම්, භක්ති ගීත රථ, ලී කෙළි, ගිනි කෙළි, වන්නම්, බොරු කකුල්, කස ඇතුළු සාම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන ජන නැටුම් රැසකින් හෝමාගම පොසොන් පෙරහර ආලෝකවත් වනු ඇත.

අපේ බෞද්ධ සංස්කෘතියේ හරය ඉස්මතු වන ලෙසින් අපේ ජාතික සහ ආගමික අනන්‍යතාව ඉස්මතු වන ලෙස ප්‍රෞඪ හා අභිමාන ලෙසින් පැවැත්වෙන මෙම පෙරහර මෙතරම් සාර්ථකව වර්ෂයක් පාසා පැවැත්වෙන්නේ නාහිමියන්ගේ නිසි අනුශාසකත්වය හා මහා මහින්දෝත්සව සමිතියේ නිසි මඟ පෙන්වීම සහ කැපවීම නිසාය. පෙරහර නැරඹීමෙන් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ සිත් පහන් සුවපත් වනු ඇත. ජාති ආගමික සහජීවනය තහවරු වනු ඇත. බැතිබර හැඟුම් ජනතා සිත් සතන් තුළ සත් පුරුෂ චේතනා හා ගුණ දහම් බීජ ජනතා හදවත් තුළ රෝපණය වනු ඇත. අපේ ආගම දර්ශනයක් වනවා සේම ආගමික රස වින්දනයටද මං පාදක ජවයක් වන බව මෙම සංස්කෘතික උදානයෙන් තේරුම් ගන්නවා ඇත.

කොළඹ දිසාවේ පවත්වන මෙම පෙරහරද අඩසිය වස සපුරනදාට ඓතිහාසික පෙරහරක් ලෙස බෞද්ධ ජනතාව වෙත තිළිණ කිරීම සංවිධායක මණ්ඩලයේ මූලික අභිප්‍රාය වී තිබේ. එබැවින් හෝමාගම පොසොන් පෙරහර නැරඹීමෙන් බෞද්ධ ප්‍රබෝධයක් පමණක් නොව කොළඹට ආසන්න ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හේවාගම් කෝරළයේ මහා සංස්කෘතික ප්‍රබෝධයෙන් ජනතාව අතරට ඔබද එක්වනවා ඇත. අලි ඇතුන් හා උඩරට පහතරට සබරගමු නැටුම් අංග 60 කින් සමන්විත මෙම පෙරහර ජූනි 18 රාත්‍රී 08.00 හෝමාගම පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ වී අතුරුගිරිය පාර හෝමාගම නගරය හයිලෙවල් පාර වලව්ව පාර නගර සීමා මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණේ.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]