UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 

හුදී ජන සිත් සතන් පහන් කරලන අපූරු සිනමා සිත්තමක් නිර්මාණය වී ඇත. ලාංකේය ජනතාවගේ සදා අනුස්මරණීය සංසිද්ධියක් මෙසේ සිනමාවට නැගෙන්නේ ‘මහින්දාගමනය’ නමිනි. එහි තිර පිටපත හා අධ්‍යක්‍ෂණය සනත් අබේසේකරගේ ය. ලාංකේය ජනතාවගේ සිත්සතන්හි ඇඳී ඇති ‘මහින්දාගමනය’ වැනි ඓතිහාසික සිදුවීමක් සිනමාවට නැඟීම අභියෝගයකි. එවන් පසුබිමක් යටතේ කළ මේ නිර්මාණය පිළිබඳව කතා කිරීමට අපි ඔහු හමුවුණෙමු. “හැම පසළොස්වක පෝයකටම සිල් සමාදන්වීම මගේ පුරුද්දක් ධර්ම දේශනාවලදී කියැවෙන සඟමිත් තෙරණිය පිළිබඳ පුරාවෘත්තය මගේ හිතේ තදින් කා වැදුණු එකක්. ඒ සිදුවීම් පෙළ ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ඇත්නම් මොනතරම් භාග්‍යයක්දැයි සිතුණුවාර අනන්තයි. මගේ මේ අභිප්‍රාය ඉෂ්ටවේවා කියා කළුතර බෝ සමිඳු අබියසදී මා පිවිතුරු ප්‍රාර්ථනාවක් කළා.

ක්‍රි.පූ. 250 – 210 ත් අතර කාල වකවානුවේ මෙරට රාජ්‍යත්වයට පත් දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිදුවූ අසිරිමත් සිදුවීම මහින්දාගමනයයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසේ දූත මෙහෙවර නිසා ලාංකේය ජනතාවගේ සංස්කෘතිය මෙන්ම සභ්‍යත්වය, නව මාවතකට යොමු කරන්නට සමත් වූ බව කවුරුත් අදහන සත්‍යයක්. ඒ නිසා මෙරට ඇති වූ නව ප්‍රබෝධය සිනමාවට නැඟීමට හැකිවීම අප සියලු දෙනාගේ භාග්‍යයක් කියලයි මම හිතන්නේ.

ඉතිහාසය හා බැඳුණු මෙවන් සිදුවීමක් සිනමා නිර්මාණයකින් ඉදිරිපත් කිරීම අභියෝගයක් නොවේද?

මේ ඓතිහාසික සිදුවීම ගැන මගේ සිතේ මැවුණු චිත්‍රය සිනමා නිර්මාණයක් බවට පත්කරන අදහස කීපදෙනකුට කියූවත් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ වගේ නිර්මාණ එළිදැක්වීම පහසු නොවන බවයි ඔවුන්ගේ අදහස වුණේ. ඒත් මම අධෛර්ය වුණේ නැහැ.

මේ තිරපිටපත ලියලා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේටත්, පුරාවිද්‍යාචක්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේටත්, පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේටත්, මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ටත් කියවන්න දුන්නා. ඒ සියලු දෙනා එහි අඩුලුහුඬුකම් සකස්කර දෙමින් මාව දිරිගැන්වීම ගැන මම සතුටු වෙනවා. ඒ වියතුන්ගේ උපදෙස්ද සමඟ ලාංකේය ඉතිහාසය හදාරා මේ තිරපිටපත සකස් කර ගන්න මට පුළුවන් වුණා.

ඒත් මුදල් නොමැති නිසා අවසානයේ කඩවූ බලාපොරොත්තු සමගයි මම හිටියේ. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො වගේම, පල්ලේගම හේමරතන හාමුදුරුවොත්, එල්ලාවල මේධානන්ද හාමුදුරුවොත් චිත්‍රපටය ගැන අහද්දි මම කිව්වේ කරන්න විදිහක් නැති බවයි. උන්වහන්සේලා තමයි මගේ බලාපොරොත්තුව මල්ඵල ගැනීමට පුරෝගාමී වුණේ. උන්වහන්සේලා මාව ජනාධිපතිතුමාට හඳුන්වලා දීලා මේ තිරපිටපත පිළිබඳව එතුමා දැනුවත් කළා. එසේ ජනාධිපතිතුමා හමුවීම දෛවෝපගත සිදුවීමක් වුණා.

මේ දැවැන්ත නිර්මාණය සඳහා ඔබ මුදල් සොයාගත්තේ කොහොමද?

ඇත්තෙන්ම මට තිබුණු ප්‍රබලම අභියෝගය එය තමයි. ඒ ගැටලුවෙන් මා මුදාගත්තේ ජනාධිපතිතුමයි. මේ තිරපිටපත සිනමා නිර්මාණයක් ලෙස බිහිකරන්නට අවශ්‍ය මුදල් සොයාදීමට ඉදිරිපත් වුණේ ජනාධිපතිතුමායි. ලක්‍ෂ 600 ක පමණ මුදලක් දැරීමට ශක්තිය ඇති සැබෑම බෞද්ධ නිෂ්පාදකවරයෙක් මට එතුමා හඳුන්වලා දුන්නා. ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන දමින්ද උපාලි ප්‍රනාන්දු මහතායි.

මෙවන් ආගමික පසුබිමක් සහිත ඓතිහාසික පුරාවෘත්තයක් නිර්මාණය කිරීමට මහත් කැපවීමක් කළ යුතුයි නේද?

චිත්‍රපටියේ රූගතකිරීම් ඇරඹීමට කලින් පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සියලු කටයුතු සාර්ථකව නිමකිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී භාරයක් වුණා. සෑම දිනකම චිත්‍රපටියේ රූගතකිරීම් ඇරඹුනේ සියලුමදෙනා පන්සිල් අරගෙන පිරිත් ද සජ්ඣායනා කිරීමෙන් පසුවයි. රූගතකිරීම් අවසන් වූ පසුවත් මමත් නළු නිළියන් සැමදෙනාත් රුවන්වැලි සෑය වටා යමින් පිරිත් සජ්ඣායනා කළා. ඒ සියල්ල අපි කළේ මහත් භක්තියකින්.

රූගත කිරීම්වලදී ශිල්පීන්ගේ සහයෝගය ගැන කතා කළොත්?

චිත්‍රපටිය සඳහා රඟපෑමෙන් දායක වූ සැමදෙනා ද, අනෙකුත් සහායක පිරිස ද මෙය අභියෝගයක් ලෙස බාරගෙන ඉතා කැපවීමෙන්, මහත් භක්තියෙන්, නිර්මාණයට දායක වුණා. ඕෂධි හේවාමද්දුම තම හිස මුඩුකරමින් කළ පරිත්‍යාගය අමතක කරන්න බැහැ. ඇය පණ දුන් අනුලා දේවියගේ චරිතයට සාධාරණත්වය ඉෂ්ට කරන්නටයි ඇය එසේ කළේ. එසේම අනෙකුත් නළු නිළියන් මෙන්ම සියලුම ශිල්පීන් දැක් වූ සහයෝගයට ඔවුන සැමට ස්තුති වන්ත විය යුතුයි.

ඉතා ආකර්ෂණීය ලෙස දිස්වෙන රුවල් නැව ඔබ නිර්මාණය කරගත්තෙ කෙසේද?

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම කරන රුවල්නැව ගොඩනැඟීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහිදී ජනාධිපතිතුමාත්, වරායේ සභාපතිතුමාත් එකතු වී නැව නිර්මාණය කරවා දුන්නා. එය මට ලොකු අස්වැසිල්ලක් වුණා.

මහාවංසයේ සඳහන්වන්නේ ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව වැඩම වන්නේ විශාල රන් කටාරමක බවයි. එය චිත්‍රපටිය තුළ එලෙස නිර්මාණය නොවුණේ ඇයි?

ප්‍රායෝගිකව එය අසීරු දෙයක්. වන්දනීය ලෙස බෝ සමිඳු වැඩමවන අයුරු ප්‍රේක්‍ෂකයාට දැනවීමට ඒ නිසා කුඩා පාත්‍රයක් යොදාගත්තා.

මේ නිර්මාණයේ ඇති වැදගත්කම ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

බෞද්ධ, අබෞද්ධ භේදයකින් තොරව ලාංකේය ඉතිහාසයේ එක් පූජනීය අවස්ථාවක් සිනමාවට නැඟීමෙන් ප්‍රේක්ෂක මනසට මහත් වින්දනයක් ලබාදිය හැකියැයි, මා විශ්වාස කළා.

එසේම ඉතිහාසය කියැ වූ අයගේ සිතිවිලිවලට ජීවයක් දීමට ලැබීම ඉතා සතුටක්. දරු දැරියන්ටත් මෙය අධ්‍යාපනික වශයෙන් වැදගත් වේ යැයි මා සිතනවා.

නිර්මාණයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටිය නැරඹීමෙන් පසු බහුතරයක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ මහත් සේ සතුටට පත් වී මට සුබ පැතුවා. කතෝලික නායකවරුන්ගෙන්ද ලැබුණේ ප්‍රශංසනාත්මක ඇගැයුමක්.

නිවැරදි දෘෂ්ටියකින් මේ ඉතිහාසය දකින්නට ඔබ ඒ පිළිබඳ විශේෂ හැදෑරීමක් කළාද?

මෙහි තිරපිටපත රචනා කිරීමේ දී මා බෞද්ධ පොත් පත් රාශියක් පරිශීලනය කළා. වියතුන්ගේ අදහස් ප්‍රයෝජනයට ගත්තා. විශේෂයෙන් මහාවංසය, මට මේ සඳහා මහත් පිටුවහලක් වුණා.

අවසාන වශයෙන් ඔබට මේ ගැන කිවහැක්කේ කුමක්ද?

ඉෂ්ට නොවේයැයි සිතූ සුබ සිහිනයක් සැබෑවීම මට මහත් තෘප්තියක්, කලාකරුවකු, වශයෙන් ප්‍රේක්‍ෂක සමූහයක් අමතන්නට ලැබීම භාග්‍යයක්. කොටින්ම අපේ මහා සංස්කෘතියේ සභ්‍යත්වයේ හරය බුද්ධාගමයි.

එය මේ ලක්බිමේ ස්ථාපිත කළ ඒ ඓතිහාසික සිද්ධිය සිනමාවට නැඟීමෙන් දායක වුණේ මහත් පින්කමකට යැයි මා සිතනවා. ඉතින් ඒ උතුම් පින්කමට දායක වූ සියල්ලන්ටත් මහත් පින්.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]