UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහිඳු මා හිමියන් වඩින විට මෙරට භික්‍ෂූහු නොසිටියේ ද?

මිහිඳු මා හිමියන් වැඩි කල මෙරට භික්‍ෂූන් නොසිටි බව කීමට වංස කතා මෙවැනි උත්සාහයකන් දරන නමුදු වංසකතාවලම සඳහන් වන ඇතැම් තොරතුරු මේ අදහස නිෂේධ කරයි. එම තොරතුරු විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ මිහිඳු හිමියන් වැඩිය අවධිය වන විටද මේ රටේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් හෝ සිටියේ යැයි සිතීම අහේතුක නොවන බවය.

බුදුසමය අපේ රටේ මුල්බැස ගත්තේ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ආශිර්වාදයත් දෙවැනි පෑ තිස්ස මහ රජුගේ අනුග්‍රහයත් නිසා බවට කිසිදු වාදයක් නැත. මේ රටේ බුද්ධ ධර්මය දේශනා කළ ප්‍රථම ධර්ම දූතයා මිහිඳු මා හිමියන් බව ලංකාවේත් ඉන්දියාවේත් පරම්පරාගත කතාවල එකසේ සඳන්වන බව මහාචාර්ය පරණවිතාන සූරීහු කියති. මිහිඳු මා හිමියන්ගේත් උන්වහන්සේ සමග වැඩි තවත් තෙරුන් තුන් නමකගේත් නම් සඳහන් මිහින්තලා ලිපියක් මහින්ද තෙරුන් ඍද්ධියෙන් මෙරටට වැඩි බව කියන රජගල ලිපියත් මේ පුවත් සනාථ කරයි.

එසේම උන්වහන්සේ මෙහි වඩින විට මෙරට භික්‍ෂූන් වහන්සේ නොසිටි බවත් ප්‍රථම වරට අරිට්ඨ කුමරු පැවිදි කිරීමෙන් භික්‍ෂු ශාසනය ඇරඹුණු බවත් කීමට වංශ කතා උත්සාහ කරයි. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන බෞද්ධ මතයට අනුව බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපිත වීමට නම් භික්‍ෂු ශාසනය පැවතිය යුතු බවත් එය සිදු වූයේ දෙවැනි පෑතිස්ස රජු කල බවත් කියයි.

මිහිඳු මහ රහතන් වහ්නසේ මෙරටට වැඩි සමය වන විට මේ රටේ භික්‍ෂූන් සිටි බවක් හෝ දෙවැනි පෑ තිස්ස රජු එවන් කෙනකු දැක සිටි බවක් හෝ වංශ කතාවලින් නොපෙනේ. උන්වහන්සේලා දුටු දෙවැනි පෑ තිස්ස රජු බියට පත්වූ බවක් දීපවංශය කියයි.

තත්ථෙව අන්තරධායි යක්ඛො ථෙරස්ස සම්මුඛා
නිසින්නං ථෙරං අද්දක්ඛී භීතො රාජා අහූ තදා

ඒ උතුම් දෙවි තෙම මිහිඳු මහ තෙරුන් හමුවෙහි හෙවත් රජු වෙතින් අන්තර්ධාන විය. එකල රජ තෙම තෙරුණුවන් දැක බිය පත් වූයේය යනුවෙන් පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ උක්ත ගාථාව අර්ථ කථනය කරති.

රජු බියට පත්වන්නට ඇත්තේ එවන් කෙනෙකු ඊට පෙර දැක නැති නිසා විය යුතුය.” අප බොහෝ දෙනා දුටු කල වැඩියක්ම භයවේ යැයි සිතා තමන් පමණක් දැක්වූ සේක. රජ තෙමේ ඒ තෙරහු දැක බියපත්ව සිටියේ ය. කියමින් මහාවංසයද ඒ අදහස සනාථ කරයි.

මිහිඳු මා හිමියන් වැඩි කල මෙරට භික්‍ෂූන් නොසිටි බව කීමට වංස කතා මෙවැනි උත්සාහයකන් දරන නමුදු වංසකතාවලම සඳහන් වන ඇතැම් තොරතුරු මේ අදහස නිෂේධ කරයි. එම තොරතුරු විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ මිහිඳු හිමියන් වැඩිය අවධිය වන විටද මේ රටේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් හෝ සිටියේ යැයි සිතීම අහේතුක නොවන බවය.

බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩි බව වංස කතා කියයි බුද්ධත්වයෙන් පස්වෙනි වස මෙහි වැඩ චණ්ඩ පරුෂ යකුන් දිවයිනෙන් පහ කළ බව දීපවංශය කියයි.

චූලෝදර හා මහෝදර යක්‍ෂයන් අතර ඇතිවන්නට ගිය සටනක් සමාදාන කරුනු සඳහා උන්වහන්සේ දෙවන වර නාගදීපයට වැඩියහ. මේ ගමනේදීම කැලණියේ මණිඅක්ඛිත නා රජු විසින් කරන ලද ආරාධනයක් පිළිගත් බුදුරජාණන් වහන්සේ තුන් වන වර කැලණියට වැඩි සේක.

“දශ බලධාරී හු අප මහා ධර්ම රාජෝත්තමයාණන් වහන්සේ පන්සියයක් පමණ ක්‍ෂිණශ්‍රාවකයන් පිරිවරා වෙසඟපුර පොහෝ දවස් කැලණියට වැඩ අනගි වූ සත්රුවන් මණ්ඩපයෙක්හි පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා වැඩ සිටි සේක.” යනුවෙන් ධාතුවංසය කියන්නේ ඒ පුවතය. ප්‍රථම ගමනේදීම සමන් දෙවියන් ඇතුලු පිරිස බුදු සමය වැළඳ ගත්තා පමණක් නොව නිරන්තර පිදීමට කේශධාතු මිටක්ද ලැබීය.

එය තැන්පත් කොට දාගැබක්ද ඉදි කළේය. දෙවන තුන්වන වාරවල විශාල නාග ජන පිරිසක්ද බුදු සමය වැළඳ ගත්හ. බුදුරජාණන් වහන්සේ විසින් තුන්වන ගමනේදී සමනළ පව්ව මත සිරිපතුල තබන ලද්දේද මේ බෞද්ධ ජනතාවගේ බැතිමත් ඉල්ලීම මත විය හැකිය.

මේ සම්බුද්ධාගමන පිළිබඳව වංස කතාවලම සඳහන්වන මේ තොරතුරු පිළිගත්තේනම් බුදුසමය වැළඳගත් බොහෝ පිරිසක් සිටියේ නම් ඔවුන්ගේ හිත සුව පිනිස දම් දෙසුම් සඳහා භික්‍ෂූන් වහන්සේලා නොසිටියේ යැයි සිතිය නොහැකිය.

විද්වතුන් ඇතැම්විට සැක පහළ කරන නමුත් බුදුන් වහන්සේ ලංකාවට නොවැඩියේ යැයි ඍජු ලෙස ප්‍රකාශ නොකරති. ඇත්ත වශයෙන්ම බුදුරදුන්ගේ ලංකා ගමන් පිළිබඳව සඳහන් වන්නේ ලක්දිව වංශ කතාවල පමණක් නොවේ. ගර්භ භාෂිතය හා කෞමාර බුද්ධ චරිතය ආදී දකුණු ඉන්දීය දෙමළ ග්‍රන්ථවලද ලංකාවතාර සූත්‍රය වැනි මහායාන සංස්කෘත පොත්වල ද මේ පුවත් සඳහන් වේ. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ලංකාපුරයේ සමුද්‍ර මල සිඛරයෙහි විසූ බව මවිසින් අසා ඇත යන අදහසක් පැදියෙන් ගර්භ භාෂිතය ලියු කවියා ද බුදුරදුන්ගේ ලංකා ගමන් පිළිගෙන තිබේ.

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ ද යන්න මේ අදහස්වලින් තහවුරු වන හෙයින් ඒ අවධියේ සිට මිහිඳු හිමියන් වැඩි අවධිය දක්වා කාලය තුළ මේ රටේ එක භික්‍ෂුවක් වත් නොසිටින්නට හේතුවක් නැත.

සරභු හිමියන්ගේ ආගමනය මේ රටේ බෞද්ධ කටයුතුවලට භික්‍ෂූන් සම්බන්ධවීමේ තවත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. සම්බුද්ධ පරිනිර්වාණයත් සමග සිදු වූ ආදාහනයෙන් පසුව උන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුව රැගෙන සරභූ හිමියන් මෙහි වැඩිය බවත් එය මහියංගණ ථූපයේ තැන්පත් කළ බවත් වංස කතා කියයි. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන්වලට සාධාරණ හේතු කාරණා තිබිණ. නමුත් සරභු හිමියන් පැමිණියේ උන්වහන්සේගේ සිතැඟි පරිදිය.

ගී‍්‍රවා ධාතුව වැනි මහාර්ග වස්තුවක් මේ රටට ගෙන ඒමට මෙරට බෞද්ධ ජනතාව පිළිබඳ වූ කරුණාධ්‍යාශයම හේතු වූ බව පෙනේ. අනෙක් අතට උන්වහන්සේ හුදකලාවම පැමිණියේ මේ රටේදී තනියක් ඇති නොවේය යන හැඟීමෙන් විය යුතුය.මෙහි සිටි තවත් භික්‍ෂූන්ගේ ඇසුර උන්වහන්සේට ලැබුණේ යැයි සිතීම සහේතුකය. උන්වහන්සේ ආපසු දඹදිවට වැඩි බවක් වංස කතා නො කියයි. උන්වහන්සේ මේ රටේ නතර වූයේ නම් උන්වහන්සේ වැනිම වූ තවත් භික්‍ෂූන් බිහිවීම වැළැක්විය නොහැකිය. මිහිඳු මා හිමියන්ට ලැබුණු දෙවනපෑතිස් රජුගේ අනුග්‍රහය වැනි අනුග්‍රහයක් නොලද නිසා උන්වහන්සේලා නිහඬවම තම කාර්යය ඉටු කළාද විය හැකිය.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]