සංසාර ගමන සහ ශ්‍රද්ධාව
රත්මලාන අත්තිඩිය පාර
ශ්‍රී රත්නාරාමාධිපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මාසම්බුද්ධස්ස
“සද්ධේසිකෝ භික්ඛවේ
අරියසාවකො අකුසලං
පජහති කුසලං භාවේති
සාවජ්ජං පජහති අනවජ්ජං
භාවේති සුද්ධං අත්තානං පරිහරති”
ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවක තෙම අකුසල් දුරුකරයි. කුසල් වඩ යි. වැරැද්ද
දුරුකරයි. නිවැරැද්ද වඩයි.
මෙම අදහස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක් නගරූපම සූත්‍රයෙහි ය. නගරයක්
උපමා කොට තම ජීවිත පැවැත්ම සකසාගත යුතු ආකාරය මෙම නගරූපම සූත්‍රයෙන්
පැහැදිලි කොට ඇත. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන නගරූපම සූත්‍රය
බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයෙහි වැඩවෙසෙන විට දේශනා කරන
ලද්දකි. පෙර රජවරු තම නගරය ආරක්‍ෂා කරගැනීමට නොයෙක් උපක්‍රම යෙදූහ. එම
රට රැකීමේ ක්‍රියාදාමය පවතින්නේ රටෙහි අවසානයෙහි පිහිටි නගරයෙහි ය.
ඒසිකාස්ථම්භය යනු සවිමත් ව තනනු ලබන කුළුණකි. එයට නැග ඈතින් පැමිණෙන
සතුරන් බැලිය හැකි ය. ඊළඟට සාදා ඇත්තේ දිය අගල යි. එම දිය අගලෙහි
කිඹුලන් වැනි මිනි කන සතුන් ඇතිකරන නිසා සතුරන්ට ලෙහෙසියෙන් එන්නට
නොහැක. තුන් වෙනුව අනුපරියා පථය එනම් පවුරට ඇතුළතින් පවුර වටේ සාදා ඇති
මාර්ගය යි. එහි බොහෝ ආයුධ රැස්කර තබා ඇත. ඊළඟට විශාල බලකායකි. එම බලකාය
ඇත්, අස්,රිය, පාබල යන සිව්රඟ සේනාවෙන්ම යුක්තය. දොරටුවෙහි දොරටුපාලකයෝ
වෙති. ඒ දොරටු පාලකයෝ නැණවත් හුය. ඇතුළු වන්නන් පිටවන්නන් පිළිබඳ
ඔවුන්ට හොඳ අවබෝධයක් තිබිය යුතු ය. නො හඳුනන අය වළකන, හඳුනන අයට ඇතුළු
වීමට ඉඩදෙන දක්ෂයන් විය යුතු ය. ඉක්ම විය නොහැකි සිදුරු නැති උස
ප්‍රාකාරයක් ද නගරාරක්ෂාවට පැවතිය යුතු ය. මේ කරුණු වලින් සමන්විත නගරය
ආරක්ෂා වේ.
මෙසේ ආරක්ෂා සංවිධාන ඇති කොට මනුෂ්‍යයන්ට අත්‍යවශ්‍ය දේ ද සම්පාදනය කළ
යුතු ය.ආහාර පාන, ඇඳුම් පැළඳුම් , බේත් හේත් හා නිවාස යන මේ සියල්ලෙන්
සම්පූර්ණ විය යුතු ය. එවිට නගරවාසින්ට එම අවශ්‍ය කරන ද්‍රව්‍යයන්
පිළිබඳව බියක් ඇති නොවේ. මෙසේ නගරයේ ආරක්ෂා සංවිධානය ගැන දේශනා කළ
බුදුරජාණන් වහන්සේ කරුණු හතකින් සම්පූර්ණ වන ආර්ය ශ්‍රාවකයා මාර
බන්ධනයට හසු නො වන බව දේශනා කළහ.
නගර ආරක්ෂාවට සොර සතුරන් ඒ දැයි බැලීමට තනන ඒසිකාස්ථම්භය මෙන්
ශ්‍රාවකයනට ශ්‍රද්ධාව තිබිය යුතු ය. ශ්‍රද්ධාව නම් තුනුරුවන් කෙරෙහි
පවත්නා පැහැදීමයි. ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන්.
i අමූලිකා සද්ධා ii ආකාරවතී සද්ධා නමින් දෙ පරිදි වේ. අමුලිකා ශ්‍රද්ධාව
දුටු පමණින් ඇතිවන පැහැදීම යි. එය නිතර වෙනස් වෙයි. ආකාරවතී සද්ධා යනු
ගුණ දැන පැහැදීමයි. මෙම ශ්‍රද්ධාවන්තයන්ගේ පොදු ලක්ෂණය නම් සිල්වතුන්
දැකීමට කැමති වීම, බණ දහම් ඇසීමට කැමති වීම, මසුරු මළ නැති කොට දන්දීම
ආදියයි. තව ද ශ්‍රද්ධාව සම්පසාදන ලක්ඛණ සද්ධා - සම්පක්ඛන්දන ලක්ඛණ
සද්ධා, ඕකප්පන සද්ධා –ආගම සද්ධා අධිගම සද්ධා යයි පස්වැදෑරුම් කොට දක්වා
තිබේ. සිතෙහි පැහැදීමෙන් පින් දහම් කිරීම සම්පසාදන ලක්ඛණ ශ්‍රද්ධාවේ
ලක්‍ෂණය යි. චක්‍රවර්ති රජුගේ උදකප්පසාද මාණික්‍ය බොර දියකට දැමූ විට
පෑදෙන්නාක් මෙන් මෙම ශ්‍රද්ධාව නිසා සිත ප්‍රසන්නභාවයට පත්වෙයි.
සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව නම් පැකිලීමක් නැතිව ඉදිරිපත් වී පින් දහම්
කිරීම යි. දාන සීලාදින්ගේ ප්‍රතිඵල අද හා එම පුණ්‍ය ක්‍රියා කිරීම
ඕකප්පන සද්ධා නම් වේ.අනෙක් ශ්‍රද්ධා ඇති වනුයේ ආර්ය මාර්ගයට පත්වූවන්ට
ය. “ සද්ධ බන්ධති පාත්‍යෙං” ශ්‍රද්ධාව සංසාර ගමනේ දී මගවියදම් සපයයි.
“සද්ධාය භරතී ඔඝං” භව ඕගය ශ්‍රද්ධාවෙන් තරණය කරයි. “සද්ධා බීජං “
ශ්‍රද්ධාව බීජය යි. ‘සද්ධා හෙත්‍ථා මහානාගො” මහා හස්තියාට හොඩවැල
ශ්‍රද්ධාව වැනිය . ආදි වශයෙන් විවිධ සූත්‍රයන්හි සද්ධා යන වචනය විග්‍රහ
කොට ඇත.
“ සද්ධේසිකො භික්ඛවේ අරියසාවකො අකුසලං පජහති කුසලං භාවේති. සාවජ්ජං
පජහති අනවජ්ජං භාවෙති” යනුවෙන් ශ්‍රද්ධාව නමැති ඒසිකාස්ථම්භයට නැගගත්
ආර්ය ශ්‍රාවකයා කෙලෙස් නමැති සතුරන් බලා ඔවුන් දුරු කරයි. ඒ සඳහා
අකුසල් දුරු කරයි. කුසල් වඩ යි. වැරැදි දේ දුරු කරයි. නිවැරැදි දේ වඩ
යි. තමා පිරිසිදුව වෙසෙයි. මෙහි කුසල හා අකුසල යන වචන දෙක විවාදයට
භාජනයවී ඇති බැවින් එහි විස්තරය දත යුතු ය. පින් පවු, කුසල්, අකුසල් යන
වචන වලින් එකම අර්ථයක් ලැබේයයි සිතීම වැරැදි සහගත ය. පාලි පුඤ්ඤ යන
වචනය සිංහලයෙන් පින් නමින් ගැනේ. “ පුඤ්ඤාති පරලෝකස්මිං පතිට්ඨා හොත්ති
පාණිනං” “ සුඛො පුඤ්ඤස්ස උච්ඡයෝ, යනුවෙන් පින පිළිබඳ හැඳින්වීම්වලින්
පැහැදිලි වන්නේ පින යනු සාංසාරික සැප සම්පත් ලබාදෙන යහපත් කර්මයන් බව
යි. “පුඤ්ඤන්ති සුඛස්ස ඒතං අධිවචනං” යන්නෙන් පින යනු සැපයට ම භාවිත වන
වෙනත් වචනයක් බව කියැවේ. මෙහි සැපය යනුවෙන් අදහස් කොට ඇත්තේ සාංසාරික
දිව්‍ය මනුෂ්‍යාදි සැපය යි. ‘ඉධ නන්දති පෙච්ච නන්දති’ යන ධම්මපද
ගාථාවන්ගෙන් ද පැහැදිලි වනුයේ පුඤ්ඤ යනු සාංසාරික සැපය ම අවධාරණය කළ
බවයි. පුඤ්ඤ පාප පින් පව තම තමන් ම රැස් කරගන්නා ශක්තියකි.” නිරයං
පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච සුග්ගතිං” පව් රැස් කරගත් අය නිරයට වැටෙති.
පින් රැස් කරගත් අය සුගතියෙහි උපදිති. මේ පින් පව් විපාක විඳීමෙන් ගෙවී
යයි. පින් කිරීමෙන් දිව්‍යලෝකයෙහි උපත ලබයි. එයින් සිදුවන්නේ සංසාරය තව
තවත් දීර්ඝ වීම ය.
මෙහි දී විශේෂයෙන් සැලකිය යුත්තක් ඇත. දන් දීම පිනකි. එසේ දන් දෙන්නේ
සාංසාරික සැප සම්පත් පතා නම් එයින් වන්නේ සසර දිග්ගැසීම යි. ජෝතිය
සිටාණන්ට සසර දිග්ගැසුනේ සාංසාරික සම්පත් පැතූ නිසා ය. එහෙත් ලෝභ,
ද්වේෂ, මෝහ දුරුකර ගැනීම සඳහා දානාදි පින්කම කෙරෙයි නම් එයින් සසර
කෙටිවෙයි. මේ අනුව පුඤ්ඤ පින් යනු සසර දිග්ගැසෙන සදාචාරාත්මක
ක්‍රියාදාමයන් ය.
පින් පව් දුරලීමෙන් පරම නිෂ්ඨාවට හෙවත් නිවනට පත්විය හැකි බව “ පුඤ්ඤ
පාප පහීනස්ස -නත්ථි ජාගරතෝ භයං ” යන ධම්මපද ගාථාවෙන් පැහැදිලි වේ.
නිර්වාණවබෝධය සඳහා අනුගමනය කළ යුතු ආචාර පද්ධතිය හඳුන්වා ඇත්තේ ‘කුශල’
නාමයෙනි. පින් පව් දුරලූ රහතන් වහන්සේ වන්දන මානාදිය කරති. දානාදිය
දෙති. එයින් උන්වහන්සේලාට ඇතිවනුයේ ක්‍රියා මාත්‍රයකි. එයින් පැහැදිලි
වන්නේ පින් ඇතිවන්නේ පෘථග්ජන පුද්ගලයන්ට පමණි. රහත්වීමට පින් අවශ්‍ය
නැත. පින් අවශ්‍ය වන්නේ සසර ගතකරන විට සැප සම්පත් ලබා ගැනීමටය .
ලෝසක මහරහතන් වහන්සේ බොහෝ වශයෙන් ජීවිත කාලය ගත කළේ නිරාහාරව ය.
උන්වහන්සේ පිරිනිවන් පාන දිනයේ දී වත් කුස පිරෙන්න අහරක් දෙන්න කල්පනා
කළ සැරියුත් තෙරණුවෝ පිණ්ඩපාතය ගෙනවුත් තමාගේ අතේ පාත්‍රය තබාගෙන ලෝසක
හිමියන්ට දානය වළදන්නට සැලැස්වීය. හේතුව? ලෝසක හිමියන්ගේ අතට පාත්‍රය
දුන්නා නම් දානය වැළඳීමට නො ලැබෙන බැවිනි. එහෙත් ලෝසක හිමියෝ මහරහත්
භාවයට පත්ව සිටියහ. උන්වහන්සේට පින නොතිබුණත් කුසලය පැවතුණි. එහෙයින්
රහත් වූහ. එහෙයින් ආර්යභාවය ලබාගන්නට නම් ශ්‍රද්ධාවෙන් අකුසලය දුරු කොට
කුසලය වැඩිය යුතු ය. වැරැදි දුරුකොට නිවැරැදි මාර්ගයෙහි ගමන් කළ යුතු
ය. පිරිසුදු ආත්මභාවය පරිහරණය කළ යුතු ය.
නුවර ඇතුළට සතුරන්ට පැමිණිය නොහැක්කේ ගැඹුරු පළල් මිනි කන ජලජ සතුන්
ඇති දිය අගල නිසා ය. එමෙන් ආර්ය ශ්‍රාවකයන්ට ලජ්ජා භය දිය අගල මෙනි.
ලජ්ජා භය ලෝකපාලක ධර්ම වශයෙනුත් හඳුන්වා ඇත. හිරි ඔතප් යනු ද ලජ්ජා භය
දෙකය. අත්තාධිපතෙය්‍යා හිරි තමා නිසා, තමාගේ ආත්ම ගරුත්වය ආදි කරුණු
නිසා ලජ්ජාව ඇතිවේ. “ ලොකාධිපතෙය්‍යං ඔත්තප්පං” ලෝකයා නිසා රාජ භය දණ්ඩ
භය දුග්ගති භය ආදිය නිසා ඔත්තප්පය ඇතිවේ.මෙම ලජ්ජා භය නිසා ආර්ය
ශ්‍රාවකයන් වහන්සේ කාය දුශ්චරිත , වචී, දුශ්චරිත, මනෝ දුශ්චරිතයන්ගෙන්
වැළකී සිටිති. නගරයේ ප්‍රාකාරයෙන් ඇතුළු පැත්තේ ඇති මාර්ගයෙහි ආරක්‍ෂක
භටයන් ගැවසෙන නිසා සතුරන්ට ඇතුළුවීමට නො හැකිය. එමෙන් ආර්ය ශ්‍රාවක
තෙමේ පවට භය ඇති නිසා කෙලෙස් සතුරන්ට ඇතුළු විය නො හැකිය. ප්‍රාකාරය
නිසා සතුරන්ට නුවරට පිවිසිය නො හැක්කාක් මෙන් ආර්ය ශ්‍රාවකයන් ගේ
ප්‍රඥාව නිසා කෙලෙස් සතුරන් මැඩපවත්වයි. නගරයේ ඇති ආයුධ ගබඩාව මෙන්
ආර්ය ශ්‍රාවකයාට ශ්‍රැතිය ඇත. බල සේනාව වීර්යයයි. නැණ නුවණ ඇති දොරටු
පාලකයා සතිය යි.
මෙසේ නගරූපම සූත්‍රයෙන් නගරයක් ආරක්ෂා කරන්නාක්මෙන් ආර්ය ශ්‍රාවකයා
ශ්‍රද්ධා හිරි ඔත්තප්ප, ප්‍රඥා, ශ්‍රැති, වීර්ය, සතිය යන ගුණධර්ම වඩා
කෙලෙස් ප්‍රහාණය කොට නිවන් අවබෝධ කරගන්නා ආකාරය පැහැදිලි කොට වදාරා ඇත.
|