UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙහිගම වෙහෙරගල පුරාණ රජ මහා විහාරය


ප්‍රතිමා වහන්සේ

දෙහිගම වෙහෙරගල පුරාණ රජ මහා විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාසයට අයත් සුන්දර ගම්මානයට මැදි වූ ගල් තලාවක පිහිටා ඇත.


නව රියන් උස ශෛලමය චෛත්‍යය

පිළිමතලාව නගරයේ සිට මල්ගම්මාන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 4 ක් පමණ පැමිණි විට මුරුතලාව නගරය සමීපයේ විහාරස්ථානය පිහිටා ඇත.

එවකට ජරාවාස වී තිබූ දෙහිගම විහාරය බුද්ධ වර්ෂ 2290 කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ දොම්වල මහාධිකාරම්තුමා විසින් පූජා සත්කාර කිරීමට හැකිවන අයුරු ප්‍රතිසංස්කරණය කොට ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාරය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ට පවරාදී තිබෙන අතර සරණංකර සඟරජ හිමියන් විසින් විහාරයේ භාරකාරත්වය එවකට සිටි දෙහිගම රේවත හිමියන්ට පවරා ඇත. රජතුමාගේ අනුග්‍රහය මත මෙම විහාරයට වී තිස් අමුණක් සග සතු කොට පූජා කර ඇති අතර දැනට යටිනුවර ඇති පැරැණිම විහාරයන්ගෙන් එකක් ලෙස මෙය සැලැකේ.

මෙහි නවරියන් ශෛලමය චෛත්‍යයක්ද බෝධියක් ද දක්නට ඇති අතර, විහාර මන්දිරය තුළ මීන, මකර තොරණ හා වජ්‍රාසනයේ වැඩ හිඳිනා බුද්ධ ප්‍රතිමාවක් ද දක්නට ලැබේ. විහාර මන්දිරයේ ඇතුළත දෙපස බිත්තිවල සියක් නමක් බුද්ධ රූප සිතුවම් කොට තිබුණ ද ඒවා අද විනාශ වී ගොසිනි. මෙම සිතුවම් මහනුවර යුගයට අයත් වේ. දෙහිගම වෙහෙරගල පුරාණ රජමහා විහාරයේ ආරම්භය ගැන සඳහන් වන ජනකතාව ද ඉතා රසවත් ය. දොඩම්වල මහා අධිකාරම්තුමාගේ හරක් පට්ටිය බලන පින්පෙරුමා නැමැත්තා උදෑසන හරක් පට්ටිය රැගෙන පැමිණ ඇත්තේ අද මෙම විහාරය ඉදිකොට තිබෙන ප්‍රදේශයට ය. ගවයන් තණ කොළ බුදින අවස්ථාවේ දී එම තෘණ තලාව ආසන්නයේ පිහිටි විශාල ගල් තලාව මත ගිමන් හැරීම පින්පෙරුමාගේ සිරිතකි. මෙසේ ගල් තලාව මත ගිමන් හරින විට ඔහුට කුඩා ගල් කැබලි විශාල ගල් තලාව මත විසිරී තිබූ අයුරු දක්නට ලැබී ඇත. මෙම ගල් කැබලි එක් තැනකට එකතු කොට එය චෛත්‍යයක් සේ සකස් කොට පින්පෙරුමා එයට උදේ හවස මල් පූජා කර වැඳීමට පටන් ගෙන ඇත. ගමේ වැසියන්ටත් තමා චෛත්‍යයත් හැදූ බව කියූ ඔහු ඔවුනද සමඟ විත් මල් පූජා කිරීම සිරිතක් කොට ගෙන ඇත. ජනතාව මෙම ස්ථානයට වන්දනා මාන කරන බව දොඩම්වල මහා අධිකාරම්තුමාටත් සැල වී මහා අධිකාරම් පින් පෙරුමා එකතු කළ ගල් ද රැගෙන එහි චෛත්‍යයත් නිර්මාණය කර ඇත. දොඩම්වල මහා අධිකාරම්ගේ නිවෙස ද මෙම පර්වතය පාමුල පේනතෙක් මානයේ පිහිටා තිබූ නිසා චෛත්‍යයේ කටයුතු කරවීමට පහසුවී ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. රාජාධිරාජසිංහ රජුගේ කාලයේ දී ගල්පර්වතය උඩ ඇති විහාරයට නැඟීමට ගල මත පඩිපෙළක් සකස් කොට සංඝාවාසයත් ඉදිකොට ඇති අතර වර්තමානයේ දී (1940 දී පමණ) පර්වතයට නැඟීමට අමතර ගල් පඩි පෙළක් නිර්මාණය කොට ඇත. අද මෙම විහාරයට පිවිසිය හැක්කේ එම ගල් පඩි පෙළිණි.


මඩුගල්ලේ ශ්‍රී සාරාලංකාර නා හිමි


විහාර මන්දිරය

මෙම විහාරයේ වැඩ වාසය කරන්නේ දෙහිගම රේවත හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් පැවැත එන සඟ පරපුර යි. වත්මන් විහාරාධිපති මඩුගල්ලේ ශ්‍රී සාරාලංකාර හිමියන්ද රේවත හිමියන්ගේ සඟ පරපුරෙන් පැවැත එන නායක හිමි නමකි.

අද නවීකරණයට ලක් වී ඇති නිසා පැරැණි සිතුවම් දකින්නට නොමැත. සිතුවම් ඇත්තේ නව මුහුණුවරකිනි. එහෙත් වෙහෙරගල පුරාණ රජ මහා විහාරය යටිනුවර ඇති පෞරාණික රජමහා විහාරයක් ලෙස ප්‍රකටය.

 

 

 

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]