UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු නිරය ගැන සිතා බලන්න. ඒ වගේම බහුතරයක් දිව්‍ය ලෝක පිළිගන්නේත් නෑ. ඒ වගේම නැවත ඉපදීම පිළිගන්නෙත් නෑ. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරල දෙවැනි දවසෙම දේශනා කළේ දේවදූත සූත්‍රය. ඒ ලංකාවාසි පිරිස නිරයෙන් ගලවා ගන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිගන්නෙ නැත්නම් අදහා ගත්තෙ නැතිනම් අපි කරන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම මොකක්ද?

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා
සම්බුදුරජාණන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා !

“සාවතා චුන්දි සන්නා අපදාවා , දිපද්‍රවා, චතුප්පදාවා, බහුප්පදාවා, රූපිනෝවා, අරූපිනෝවා, සඤ්ඤීවා, අසඤ්ඤිභෝවා නේවසඤ්ඤා නා සඤ්ඤානෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ යේ කෝ චුන්දි බුද්ධො පසන්නා අග්ගෝ තෙ පසන්නා අග්ගේ ඛෝ පත පසන්නානං අග්ගෝ විපාකෝ හෝති “

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

වර්තමාන ලෝකයේ ජීවත්වන සියලුම මනුෂ්‍ය ප්‍රජාවට අනුව උත්තරීතරම දිනයක්. ඒකට හේතුව තමයි කල්ප ගණනාවකින් මේ ලෝකයට පහළ වූ උතුම් බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුද්ධත්වය සිදුවී වසර 2600 ක් සම්පූර්ණ වීම ඒ තමයි මේ කල්පයේදී මේ ලෝකයට පහළ වී වදාළ බුදුරජාණන් වහන්සේලා වන කකුසඳ,කෝනාගම , කාශ්‍යප යන භාග්‍යවතුන් වහන්සේලාගෙන් පසුව පහළ වූ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වය, සාරාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් පාරමිතා පූරණය කරමින් අපට හිතාගන්නවත් බැරි තරමින් අති දුෂ්කර ජීවිත ගත කරමින් තමයි උන්වහන්සේ සර්වඥාතා ඤාණය අවබෝධ කර ගත්තේ. ඒ තථාගත අර්හත් ගෞතම සම්මා සම්බුදු අමා මැණියන් වහන්සේගේ උතුම් සම්බුද්ධවය ලබා වසර 2600 ක් ගතවීමේ උතුම් දිනය තමයි අද දවස. දෙවියන් බඹුන් සහිත ලෝකයේ සියලු සතුන්ට අමාදම් වැසි වැස්සවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙයට හරියටම වසර 2600 කට පෙර ගයාවේ ඇසතුබෝධි මූලයේදි දසමාර සේනා පරාජය කොට සියලු කෙළෙසුන් දුරු කොට උතුම් සම්බුද්ධත්වයට පත්වීම දෙවි බඹුන් සහිත සියලු සතුන්ට සිදුවු උත්තරීතරම භාග්‍යයයි.

මේ ලෝකයට සිදුවන අසිරිමත් සිදුවීම තමයි ඒ බෝධිසත්වයන් වහන්සේ තුසිත පුරයෙන් නික්මි මව්කුස පිළිසිඳ ගෙන මේ මනුෂ්‍ය ලෝකයට පහළවීම. එය මුළු මහත් ලෝකයටම මහත්ම ආශි්ර්වාදයක්. බලන්න මේ අසිරිමත් බෝසත් කුමරා උපදින විට දෙවි බඹුන් සහිත මුළු මහත් ලෝකයටම මහා සැනසිල්ලක් උදාවෙනවා. අපායන්හි ගිනි නිවිල යනවා. ලෝකාන්තරික කියල මහා නිරයක් තියෙනවා. ඒක මහා ඝන අන්ධකාරයකින් වැහිල තියෙන්නෙ. ඒ නිරයේ ඉන්න සත්තු දන්නෙ නැහැ. තවත් ඒ අය වගේ සත්තු මේ නිරයේ ඉන්නව ඛ්යලා. බෝධි සත්ත්වයෝ පහළ වෙන කොට මුළු ලෝකයටම ආලෝකය විහිදෙනවා. මේ ලෝකාන්තරික නිරයටත් එදාට ආලෝකය පැතිරිලා යනවා. එදාට තමයි එහි නිරි සතුන් දැනගන්නේ තවත් තමන් වගේම දුක්විඳින තවත් සත්තු මේ නිරයේ ඉන්නවා කියලා. බලන්න පින්වතුනි බුදුකෙනෙකුගේ පහළවීම සියලු ලෝ වැසි සතුන්ට මොනතරම් උත්තරීතර මොහොතක්ද කියලා.

ඉතින් අපගේ ඒ ගෞතම බෝධි සත්වයන් වහන්සේ උතුම් සම්බුදු පදවිය අද වගේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදී ඇසතු රුක් සෙවණේදී ලබාගත්තේ කෝටි සංඛ්‍යාත දෙවි බඹුන් සාදු නාද පවත්වත්දී ඒ සුන්දරම සුන්දර මොහොත සියැසින් දැකගන්න ලැබුණානම් ඒ මොනතරම් භාග්‍යයක්ද වර්තමානයේදි කෙනෙක් සුන්දරම උත්තරීතර මොහොත ලෙස දකින්නෙ පංචකාමය පිනවන්න ඇස, කන, නාසය, දිව, කය, මන පිනවන්න ලැබෙන අවස්ථාවකි.

මේ ලෝකයේ ඉන්න භාග්‍යවත්ම පිරිස තමයි පින්වතුනි අපි. එයට හේතුව රාගය නමැති ගින්න සදහටම දුරු කරපු ද්වේශය නමැති ගින්න සදහටම දුරුකරපු, මෝහය නමැති ගින්න සදහටම දුරුකරපු වීතරාගී , වීතදෝෂි, වීතමෝහී, ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපව සරණ යාමයි. වාසනාව ලැබීම . මේ වාසනාව කෙනෙකුට ලැබෙන්නේ පින්වතුනි කල්ප ගණනකින්. අපට බෞද්ධ ජනතාව මේ ලැබී ඇති දුර්ලභ අවස්ථාව පිළිබඳව හරියට දන්නවා නම් දැනට ගතකරන ජීවිතය සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට වෙනස් කරනවා. දැනට බොහෝ දෙනෙක් කරන්නේ ධනය, වංශය, හතරමායිම්, දේපළ, යානවාහන, රූපය හැකියාව ආදි දේවල් පසුපස්සේ ගමන් කිරීමනේ. තමන්ගේ දරුවන්ටත් ඉතිං පුරුදු කරන්නෙ ඒ ටිකමනෙ.

මේ භයානක වු සංසාරික ගමන නිමා කරන්න. කැමති වෙන්නේ නැහැනෙ. ඉතාම ස්වල්ප දෙනෙකුට තමයි උන්වහන්සේගේ නියම දහම් පණිවිඩය තේරිලා තියෙන්නෙ.

අපි පින්වතුනි, සංසාරයේ වැඩිම කාලයක් ඉඳල තියෙන්නෙ නිරයේ. ඊට පස්සේ තිරිසන් ලෝකවල ඊට පස්සේ පෙරේත ලෝකවල, ඊට පස්සේ අසුර නිකායෙ එතකොට මේ සංසාරයේ අපරිමිත කෙළවරක් පේන්නේ නෑ. කල්ප වලින් තමයි සංසාරය මනින්නේ. මේ වෙනකොට කල්ප කෝටි ගණනාවක් ගෙවිල තියෙනවා. අපි පින්වතුනි, මහා නිරයේ භුත නිරයේ අසිපත්‍ර වනයේ කටු ඉඹුලේ ගහ තියෙන නිරයේ වගේම ලෝදිය හැළිය තියෙන නිරයේ අනන්ත කාලයක් දුක් විඳල තියෙනවා. අපේ බහුතර බෞද්ධ පිරිසක් තවම පිළිගන්නේ නැහැ. මේ නිරය කියල එකක් තියෙනවා කියලා. අප තථාගතයන් වහන්සේ නිරය පිළිබඳව සිදුකළ මේ විස්තරාත්මක දේශනය මජ්ජිම නිකායේ තුන්වන කොටසේ දේවදූත සූත්‍රයේදි විස්තර වෙනවා. ඕනෑම කෙනෙකුට කියවා බලන්න පුළුවන්. වරක් මා ඇමරිකාවේදි මේ නිරය පිළිබඳව දේශනා කළ අවස්ථාවේදි සුදුජාතික පිරිස මගෙන් ඇහුව මෙය බුද්ධ දේශනාවක්ද කියලා. එතකොට මම ඒ ඇත්තන්ට මජ්ජිම නිකායේ ඉංග්‍රිසිි පරිවර්තනය දුන්නා සූත්‍රය බලන්න. ඒ අය පොත ඉල්ලගෙන ගිහින් දවස් දෙකකින් සූත්‍රය කියවා ඒ කාරණය පිළිඅරගෙන ගෙනාවා.

බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු නිරය ගැන සිතා බලන්න. ඒ වගේම බහුතරයක් දිව්‍ය ලෝක පිළිගන්නේත් නෑ. ඒ වගේම නැවත ඉපදීම පිළිගන්නෙත් නෑ. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරල දෙවැනි දවසෙම දේශනා කළේ දේවදූත සූත්‍රය. ඒ ලංකාවාසි පිරිස නිරයෙන් ගලවා ගන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිගන්නෙ නැත්නම් අදහා ගත්තෙ නැතිනම් අපි කරන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම මොකක්ද? ඒ නිසා පින්වතුනි, අද හොඳම දවස

ලංකාවාසි ලෝකවාසි සියලු බෞද්ධ ජනතාවට ඒ තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හදවතින්ම පිළිගැනීම. උන්වහන්සේගේ සම්බුද්ධත්වය අදහා ගැනීම. ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියල. පින්වතුනි අපේ තිබෙන පුදුම අවාසනාවක් කියන්නේ අපි බහුතරයක් තවම බුදුරජාණන් වහන්සේ කියන්නෙ කවුද කියල දන්නේ නැ. දවසක් චුන්දි කියන රාජ කුමරිය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා කොයි වගේ ශාස්තෘවරයෙක් කෙරෙහි පැහැදුණොත් මරණින් මත්තෙ සුගතියට යනවද? දුගතියට යන්නේ නැද්ද? කියලා එතකොට තමයි ඇයට තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා මුලින් සඳහන් කළ පරිදි ඒ පාලි පාඨයෙන් චුන්දි කුමරියට පිළිතුරු දුන්නෙ. ඒ තමයි පා නැති සතුන් පා දෙකේ සතුන්, සිව්පා සතුන්, බොහෝ පා ඇති සතුන්, රූපි සතුන්, අරූපී සතුන්, සංඥා ඇති සතුන් ,සංඥා නැති සතුන්, සංඥා ඇති නැති සතුන් යන මේ විශ්වයේ සිටින සියලු සතුන් අතර ඒ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රතරම වන බවයි. ඒ නිසා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම් ඒ අග්‍රතරම උත්තමයා කෙරෙහි පැහැදීමයි. අග්‍රතරම උත්තමයාට පැහැදුණ කෙනාට අග්‍රතරම විපාක ලැබෙනවා. යැයි බුදුරජාණන් වහන්සේ චුන්දි කුමාරයාට දේශනා කළා. එහෙම නම් පින්වතුනි ඔබ සියලු දෙනාම සතුටු වෙන්න ඕන. අපට මේ අග්‍රම වු උත්තමයාට සමීප වෙන්න භාග්‍ය වාසනාව උදාවුනා කියලා. “යේ කේචි බුද්ධං සරණං ගතායේ - ගතේ ගමිස්සන්ති අපායගාමී “ කෙනෙක් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයාට සතර අපායේ උපතක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ අපිට ස්ථීරවම කියලා දෙනවා. එහෙම නම් අපි ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ සම්බුද්ධත්වය පිළිබඳව ඒ ඒ ගුණධර්ම පිළිබඳව ඒ ආර්යය මහා සංඝරත්නය පිළිඳව නොසෙල්වුන ප්‍රසාදය ඇති කරගෙන අවබෝධයෙන්ම තිසරණයට පත්වෙන්න ඕනෙ. සම්බුද්ධත්ව ජයන්ති සමය කියන්නේ අන් කවදාකටවත් වඩා වාසනාවන්ත සමයක්. දෙවියන් බඹුන් ප්‍රසාදයට ප්‍රමෝධයට පත්වු යුගයක්. අපට ධර්මය අවබෝධ කරගන්න තිබෙන මොහොතක්. එහෙම නම් අපි ඒ සම්බුද්ධත්ව ජයන්තිය නිවැරැදිව සැමරීම පිණිස අවබෝධයෙන්ම තිසරණයට පත්වි උන්වහන්සේගේ දහම් මග ගමන්කොට

මේ භයානක සසර කතරින් එතෙරවීමට අධිෂ්ඨාන කර ගතිමු. සාරා සංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා පුරා උතුම් සම්බුදු පදවිය ලැබූ අප ගෞතම තථාගතයන්ට කරන ශ්‍රේෂ්ටතම ගෞරවය නම් පිළිවෙතින් පෙළ ගැසීම නම් එයයි. ඔබට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය හා උතුම් නිවන් සුව සාක්‍ෂාත් කරගැනීමට වාසනාව භාග්‍යය උදාවේවා.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]