UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි ඉගැන්වීම යළි පණ ගන්වමු

අපරදිග රටවල බුදුදහම කෙරෙහි දක්වන ලද ධනාත්මක, චිත්තාකර්ෂණීය උනන්දුව පාලි ග්‍රන්ථයන්ගේ ඇතැම් නවතම පළමු වන පරිවර්තන කඩිනම් කිරීමට පිටුබලයක් විය. එසේ ම කලින් අධ්‍යයනය නොකර තිබුණු ග්‍රන්ථ පවා පරිවර්තනයට යොමු කැරිණ.

1960 ගණන්වල මුල හරියේ දී මා ද්විතීයික පාසලේ ශිෂ්‍යයකුව සිටියදී, පාලි භාෂාව විෂයයක් ලෙස ඉගෙන ගන්නට ලැබීම මගේ වාසනාවකියි සිතමි. එහිදී විෂයානුබද්ධ ග්‍රන්ථ අතර ධම්මපදය ද එකකි.

ධම්පදය ගැඹුරින් හදාරන ලෙස අපි අපේ ගුරුවරුන් විසින් දිරි ගන්වනු ලැබුමු. එහි ආසන්න ප්‍රතිඵලය වූයේ අපේ සමකාලීන පරම්පරාවෙන් බෞද්ධ විද්වතුන් විශාල පිරිසක් බිහි වීමට මඟ පෑදීමයි.

අද සිටින බෞද්ධ තරුණයකු, පාලි භාෂාවේ මූලාරම්භය, එහි ඉතිහාසය සහ බුදු දහමට එහි ඇති සම්බන්ධය ගැන දන්නේ කුමක්ද? අප විසින් කල් තබා ම දැඩි අවධානයකින් දරුවකුගේ ළමා වියේ දී හැකි තරම් කල් ඇතිව පාලි භාෂාව හඳුන්වා දිය යුතුව තිබුණු අතර, එහි භාවිතය වඩවඩාත් දියුණු මට්ටමින් වර්ධනය කළ යුතුවද තිබිණ. ඇයි ද යත්, බුදුන් වහන්සේගේ දේශනාවට සුදුසු භාෂාව ලෙස එය සැකසුණු හෙයිනි.

වෙනත් බොහෝ භාෂාවලදී මෙන්ම පාලි භාෂාවේ මූලාශ්‍ර ද කාලයාගේ ඇවෑමෙන් යටපත් වී ගියේ ය. බුදුන් වහන්සේ සිය ඉගැන්වීම්හිදී භාවිත කරන ලද්දේ පාලි භාෂාව වෙතියි සියවස් ගණනාවක් තිස්සේ ථෙරවාදී සම්ප්‍රදාය විසින් පිළිගනු ලැබිණ. එබැවින්, බුදුන් වහන්සේ වැඩි කලක් ජීවත් වූත්, තමන්ගේ ධර්මය දේශනා කළාවූත්, උතුරු ඉන්දියාවේ මඟධ රාජධානියේ භාෂාව වූ මාගධී, පාලි භාෂාව සමඟ සමානාර්ථ වෙතියි ථෙරවාදය විසින් පිළිගෙන ලැබුණු බව පෙනේ. මගධයේ භාෂාව (මාගධී) සමඟ පාලි භාෂාවේ අනන්‍යතාව කෙබඳු එකක් දැයි ථෙරවාදී සාහිත්‍යය තුළ බෙහෙවින් කල් තබා ම දකින්නට ලැබෙයි. විය හැකි පරිදි එය ක්‍රි.ව. පළමු වන සියවස තරම් අතීතයට යන්නකි.

කෙසේ වෙතත් පාලි භාෂාව 19 වන සියවසින් පටන් ගෙන යුරෝපීය උගතුන්ගේ වාග් විද්‍යාව පිළිබඳ විභාගවල දී විෂයයක් ලෙස ඉදිරිපත් කරන ලදී. එහිදී පාලි භාෂාව බුදුන් වහන්සේ කතා කළ භාෂාවට සමාන නොවිය හැකි බවට කරුණු එළිදරවූ වන්නට පටන් ගත්තේ ය. මාගධී ශිලාලේඛන සහ ග්‍රන්ථයන්ගේ නෂ්ටාවශිෂ්ට සොයා ගන්නා ලද අතර, පාලි භාෂාව එකී නෂ්ටාවශිෂ්ටයන්ගේ භාෂාවට සමාන නොවන බව පැහැදිලිව පෙනෙන්නට වන. තව දුරටත් අශෝක අධිරාජයාගේ සමයේ පටන් වූ ශිලාලේඛනවිශ්ලේෂණයේ දී පාලි භාෂාවට එහි මූලයන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ ප්‍රදේශයෙන් ඈත උතුරු ඉන්දියාවේ බටහිර දේශයක භාෂාවකින් ලද බව ද පැහැදිලි වූයේ ය.

සත්තකින් ම එක් අතකින් පාලි භාෂාව, එක්තරා තර්කයකට අනුව, බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු සජීවී පොදු බසක් ලෙස උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් පුරා භාවිතයෙහි යෙදී ඇති බවට, බොහෝ දෙනා විසින් අනුමාන ලෙස සිතනු ලැබේ. ඇතැම් විට ත්‍රිපිටකය බුදුන් වහන්සේගේ මූල භාෂාව ආරක්‍ෂා කර ගත්තේ ය. එය ඊසාන දිග ඉන්දියානු භාෂාවකි. ඉතිහාසයේ එක්තරා අවධියකදී එකී ඊසාන දිග භාෂාව, පාලි භාෂාව සමඟ කරට කර සිටියේ ය. ඒ බෙහෙවින්ම සිතිය හැකි පරිදි පාලි භාෂාව පුළුල් ලෙස උතුරු ඉන්දියාවේ ව්‍යාප්තව පැවැති සමයේ ය. එබැවින් එවන් අවස්ථාවක ත්‍රිපිටකය වාර්තාගත කරන ලදී. එම වාර්තාකරණයේ දී ආගන්තුක භාෂාවකින් එවන් ඉගැන්වීම් සම්භාරයක් ඇතුළු වන විට, පාලි භාෂාවේ අක්ෂරයන්ගේ වෙනස් වීමට ද නිරායාසයෙන් මඟ පෑදිණ. එහි ප්‍රතිඵලයක් ලෙස මූලික භාෂාවේ අක්‍ෂරයනට අලුත් අංගෝපාංග එකතු වන්නට ද විය. මේ ක්‍රියාවලියේ දී සිදු වූයේ භාෂාවේ නිශ්චිත මූලික ලක්‍ෂණ හඳුනා ගන්නට බැරි තරම් බෙහෙවින් අමාරුවීමයි.

කෙසේ වෙතත් පාලි භාෂාවේ මූලයන් පිළිබඳ අවසාන පිළිතුර එය බව සියලු විශ්ලේෂකයෝ විශ්වාස නොකරති. එයින් අදහස් කැරෙන්නේ ඇතැම් විශ්ලේෂකයන් එය විශ්වාස නොකරන බවයි. ඇතැම් පර්යේෂකයෝ පාලි භාෂාවේ මූලය මගධ රාජධානියේ වෙතියි දිගට ම විශ්වාස කරති. පාලි භාෂාව පිළිබඳ මුල්තම බටහිර විද්වතුන්ගෙන් කෙනෙකු වූ රිස් ඩේවිඩ්ස් විශ්වාස කළේ එය ඊසාන දිග ප්‍රාදේශීය භාෂාවක් වන අතර, ඒ අත්‍යන්තයෙන් විය හැකි පරිදි කෝසල රාජධානියේ පැවැතියක් බවයි.

පාලි භාෂාවේ ප්‍රාග්තම මූලයන් කුමක් වූවත්, පිළිගත හැකි තර්කයක් අනුව, එය ත්‍රිපිටකය ආරක්‍ෂා කර ගන්නට සහ පවත්වා ගෙන යන්නට භාවිත කරන ලද භාෂාව වූ බව නිසැක ය. කුමක් නිසා ද යත්, අඩු තරමින් බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු පළමු වන සියවසේ දී ත් ධර්ම ග්‍රන්ථ ලේඛනගත කර නොතිබුණු අතර, පවත්වා ගනු ලැබුවේ වනපොත් කිරීමේ සම්ප්‍රදාය මඟින් හෙයිනි. ඒවා ලේඛනගත කරන්නට යෙදුණේ අත්‍යන්තයෙන් විය හැකි පරිදි ක්‍රි.පූ. පළමු වැනි සියවසේ වට්ටගාමිණී රාජසමයේ ශ්‍රී ලංකාවේ දී ය. මෙකී පාලි ග්‍රන්ථ ලියන ලද්දේ පදම් කරන ලද තල්පත් ඉරුවලයි. එසේ කැරුණේ භික්‍ෂූන් වහන්සේලාටත් දකුණු ඉන්දියාවෙන් එළඹි යුද්ධ ආක්‍රමණ වලට මුහුණ පාන්නට සිදුවුණු අතර ධර්ම ග්‍රන්ථ ආරක්‍ෂා කර ගැනීමට දරන ලද ප්‍රයත්නයක් ලෙසිනි.

පාලි භාෂාව ප්‍රධාන හෝ ව්‍යවහාරික භාෂාවක් ලෙස භාවිතය නතර වූයේත්, අනතුරුව එය ආගමික සංස්ථාවට පැවරුණේත් කෙසේ දැයි දැන ගැනීම අපහසු ය. පාලි භාෂාව සාමාන්‍ය සමාජය තුළ භාවිත බසක් බවට පත්වීමෙන් පසුව වූවත් එය විහාර සහ ආරාමයන්හි දිගට ම භාවිතයේ යෙදිණ. එහිදී ආගමික ග්‍රන්ථ ආරක්‍ෂා කිරීමට පමණක් නොව අටුවා (අට්ඨකතා) සම්පාදනයට සහ එවක නොයෙක් ජාතිනට අයිති ථෙරවාදී භික්‍ෂූන් අතර අදහස් හුවමාරු කර ගැනීමට ද මඟ පෑදිණ. පාලි භාෂාව කතා කළ නොයෙක් ථෙරවාදී රටවල එය ඒ ඒ රටෙහි ප්‍රාදේශීය අක්‍ෂර සම්ප්‍රදායයෙන් ලියන ලද අතර, නිතර ම වාගේ උච්චාරණය හෙවත් හැඬවීම කැරුණේ ඒ ඒ රටෙහි පැවති වෙනස්කම් වලට අනුරූප ලෙසිනි.

පාලි විද්වතුන් විසින් පාලි සාහිත්‍යයෙහි වැදගත්, විශිෂ්ට යුග දෙකක් හඳුනා ගනු ලැබ ඇත. ඉන් පළමුවැන්න වැටෙන්නේ ත්‍රිපිටකය ලේඛනගත කරන්න බලය පැවරීම හෝ ඊට ආසන්න පළමුවන සියවසටය. දෙවැන්න පස් වන සියවසට වැටෙයි. එසමයෙහි ඇති වුණු සංස්කෘත සාහිත්‍යය නැඟී සිටීම, පාලි භාෂාවේ පුනරුදයේ පළමුවන පියවර කඩිනම් කළේ ය. අන් කිසිවකුගේ මූලික වගකීමකින් තොරව, දැඩි ආයාසයකින් එහි පෙරමුණ ගත්තාහු මහා ප්‍රාඥ බුද්ධඝෝෂ හිමියෝත්, උන්වහන්සේගේ සහායක මහාවිහාරික භික්‍ෂූන් වහන්සේත් ය. එය සිදු කරන ලද්දේ අනුරාධපුර මහා විහාරයේ යි.

ඇතැම් විට දහනව වැනි සියවසේ ඇති වූ පිබිදීම මූලික හේතු විය හැකි වූවත්, විසි වැනි සියවස පාලි භාෂා පුනරුදයේ ආසන්නතම යුගය වන්නා සේ පෙනේ. පාලි භාෂාව විෂයයෙහි අපරදිගින් පැන නැඟුණු උනන්දුව මැනවින් මූර්තිමත් වූයේ, ආසියාවෙන් පිටස්තර ලෝකයට පාලි භාෂාව ඉගෙනීම සඳහා අනුබල දෙනු පිණිස 1881 දී පාලි පොත් සමාගම (Pali Text Society)ලන්ඩනයේ ආරම්භ කිරීමෙනි. සංස්කෘත භාෂාව අධ්‍යයනය පිණිස විධිමත් දෙපාර්තමේන්තු තව දුරටත් ලොව පුරා බුද්ධිමතුන්ගේ සමෘද්ධිමත් සමාජය, දිගු කලක් තිස්සේ නොමතකව ගොස් තිබුණු පැරැණි භාෂාවන්ගේ සැඟ වී තිබුණු අබිරහස් එළිදරවු කරමින් සිටිති.

අපරදිග රටවල බුදුදහම කෙරෙහි දක්වන ලද ධනාත්මක, චිත්තාකර්ෂණීය උනන්දුව පාලි ග්‍රන්ථයන්ගේ ඇතැම් නවතම පළමු වන පරිවර්තන කඩිනම් කිරීමට පිටුබලයක් විය. එසේ ම කලින් අධ්‍යයනය නොකර තිබුණු ග්‍රන්ථ පවා පරිවර්තනයට යොමු කැරිණ. ත්‍රිපිටකයේ ඉලෙක්ට්‍රොනික මුද්‍රණ බිහිවීම නිසා විද්වතුනට සහ ගිහියනට (ආගමික හා ලෞකික යන දෙපිරිසටම) වෙනසකින් තොරව එක සේ භාෂාව වඩාත් පහසුවෙන් ලබා ගත හැකි සහ පැහැදිලි ද වෙයි. එය භාෂාව සහ සාහිත්‍යයේ ආරක්‍ෂාව සහතික කර ගන්නට ද පිටුබලයක් වී ඇත.

නැවතත් පාලි භාෂාව පාඨශාලීය අධ්‍යාපනයේ විෂයයක් ලෙස හඳුන්වා දෙන්නට දැන් සුදුසු අවස්ථාවක් එළඹ ඇතැ යි මම සිතමි. ඒ අතර මීළඟ දශකය පටන් ගනිද්දී අඩු තරමින් ගිහි ජනතාව අතර පාලි භාෂාවේ පුනරුදය පිණිස සැලැසුමක් ගැන සිතා බැලීම මැනවි. අපි යළිත් මේ ශ්‍රේෂ්ඨ භාෂාව වන පාලි අඩු තරමින් බෞද්ධ ජනගහනය අතරවත් පොදු බසක් ලෙස පුළුල් මට්ටමින් භාවිතයේ යොදන්නට උත්සාහ දරා බලමු.

(මේ පරිවර්තනය 2005.10.05 වන දා ඩේලි නිව්ස් පත්‍රයේ පළ කරන ලද ලයනල් විජේසිරි මහතාගේ We must revive Pali in our schools ලිපියෙනි.)

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]