UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පේත වත්ථු කතා මාලාවෙන්...

සංසාර මෝචක පේත වත්ථුව

(මෙහි සංසාර මෝචක යනු “සැරි සැරීමෙන් මුදාලීම” යන තේරුම ලබා දෙයි.)

දඹදිව මගධ දේශයේ ඉට්ඨකාවතී හා දීඝරාජි ද යනුවෙන් ගම් දෙකක් වූහ. මෙහි “සංසාර මෝචක” නම් වූ එක්තරා කුලයක් වූහ. මොවුහු බොහෝ දෙනා මිථ්‍යාදෘෂ්ටිකයෝ වූවෝ ය. මෙයින් ඉට්ඨකාවතී ගමෙහි අතීත කාලයෙහි එක්තරා ස්ත්‍රියක් වූයේ පවට ලජ්ජා නැත්තේ පවට බය නැත්තේ බොහෝ පණුවන් පළගැටියන් මරා පේතයන් අතර උපන්හ. එහි බොහෝ කාලයක් සා පිපාසාදී දුක් විඳ අප බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන දවස එම ගම එම මිථ්‍යාදෘෂ්ටික කුලයෙහිම මිනිස් දුවක්ව ඉපිද සත් හැවිරිදි පමණ වූයේ ගම් වැසි අනෙක් දරුවන් සමග මහ මඟ සෙල්ලම් කරමින් වුන් හ.

ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේ ද එම ගමම ඇසුරු කොට අරුණවතී නම් වූ විහාරයෙහි වැඩ වසන්නේ තවත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් සමඟ මහ මඟ වඩින්නමෝ සෙල්ලම් කරමින් සිටි දරුවන් පසුකරන්නේ ය. මෙහි සිටි දරුවෝ දෙමවුපියන්ගේ ගුණවත්කම් හා පෙර පුරුදු ඇත්තේ සියලු ස්වාමීන් වහන්සේට පසඟ පිහිටුවා වැන්දාහුය. සැදැහැනැති මිථ්‍යාදෘෂ්ටික කුල දරුවා පමණක් නොවැන්දාය.

සැරියුත් මහ තෙරුන් වහන්සේ නොහික්මුණු දැරියක් මෙන් සිටි මේ කුඩා දැරිය කෙරෙහි අනුකම්පා ඇත්තේ ඇගේ පෙර ජාතිය ද, දැනුදු මිථ්‍යාදෘෂ්ටික කුලයෙහි උපත ද, මතුවට ද අපාගත වීමෙහි සුදුසුකම් ද දැක, ඕ භික්‍ෂූන් වදින්නේ නම් නරකයෙන් මිදී පේත ආත්මයක උපත ලදුවත් තමන් නිසාම සම්පත් ලබන බවත් දැන, මහත් කරුණාවෙන් ඇයට මෙසේ වදාළහ. (ඇයි දියණිය) ඔබ නොහික්මුණු දැරියක් සේ සිටිමින් භික්‍ෂූන් වහන්සේ නොවඳින්නේ ද? ඔබත් වඳින්න යැයි වදාළහ.

මෙය ඇසූ අනෙක් දැරිවියන් ඈ අතින් අල්ලා ගෙනවිත් බලෙන් මෙන් සැරියුත් මහ තෙරුන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලාට වැන්ද වූහ. ඇයට ද ආශිර්වාද කළ භික්‍ෂූන් වහන්සේ ඉදිරිමඟ බලා වැඩියහ.

වැඩිවිය පැමිණි මේ දැරිය එම කුලයේම තරුණයකු හට විවාහ කර දෙන ලද්දේ් පිරුණු ගැබ ඇතිවම (තරුණ වියේදීම) කලුරිය කොට පේත යෝනියේ උපත ලද්දේ නග්නව, දුර්වර්ණව, සා පිපාසා ඇතිව, දැක්මෙන් බියකරු පෙනුම ඇත්තේ වූවා ය. මෙසේ වූ ඇය එක් රාත්‍රියක සැරියුත් මහ රහතන් වහන්සේ හමුයෙහි එකත් පස්ව පෙනී සිටියා ය. මැය දුටු සැරියුත් මහ තෙරුන් වහන්සේ, ඔබ නග්නවෙහි, දුර්වර්ණ වූ කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුර ඇත්තෙහිය. ඉල්පුණු ඉළ ඇටින් සහ සිහින් සිරුරින් යුතුව මෙහි සිටින තී කවරෙක් වෙති ද?

ස්වාමීනී, මම දුකට පත්, යමලොව උපන් පේතියක්මි. පව්කම් කොට මෙලොවින් පේත ලෝකයට ගියා වෙමි.

ඔබ මෙලොවින් පේත ලෝකයට ගියේ කය, වචන, සිත යන තිදොරින් කුමන පවක් කළ හෙයින්ද?

ස්වාමීනි, මට පහන් සිතින් යුතුව (අනුකම්පා ඇතිව) “දන්දෙව“ යි ආදී පින් කරවයි කියා මෙහෙයවීමට පියෙක් හෝ මවෙක් හෝ අන් නෑයෙක් හෝ නොවීය. මිථ්‍යාදෘෂ්ටිගත පවුලකට, කුලයකට හෝ පිරිසකට මැදිව ඉපදීමේ අයහපත බලන්න.

එසේ පින් නොකළ හෙයින් මෙතැන් සිට අවුරුදු පන්සියයක් කල් මෙහි දුක් විඳින්නෙමි ය. ස්වාමීනි, පහන් සිත් ඇතිව ඔබ වහන්සේ මම වඳිමි. මහත් අනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම් කිසිවක් දන් දී එහි පින මාවෙත අනුමෝදන් කරන සේක්වා. මා දුගතියෙන් මුදාලන සේක්වායි ඈ කීවාය.

කාරුණික වූ ඒ සැරියුත් තෙරුන් වහන්සේ එක් මහණක් හට බත් පිඩක් ද රියනක පමණ පිළිකඩක් ද, එක් පැන් තලියක් ද දන් දී ඇයට ප්‍රාප්තිදානය (පින් අනුමෝදන් කරවීම) කළහ.

දිව බොජුන් සමාන භෝජන ද, දිව්‍ය වස්ත්‍ර සමාන දිව්‍ය සළුද, නන් පාන වර්ග ද ඒ දානයාගේ විපාක වශයෙන් ඇයට උපන්නේ ය.

ඉක්බිති ඇය පිරිසුදු සිරුර ඇත්තී උතුම් වස්ත්‍රාභරණයෙන් සැරැසී මහත් වූ ශරීර වර්ණයෙන් යුතුව දස දිග බබුළුවමින් නැවැත සැරියුත් තෙරුන් වහන්සේ කරා එළඹියහ.

මෙවන් වර්ණවත් ඔබ කුමන හේතුවකින් කුමන පිනකින් මෙසේ බබුළුවයි ද?

ලෝකයෙහි කරුණා ගුණයෙන් යුත් සැරියුත් නම් වූ ඔබ වහන්සේ දුන් ඒ පිඩක් පමණ අහරද, රියනක් පමණ පිළි ද, තලියක් පමණ පැන් ද, මහණුන්හට දානයක් වශයෙන් දී ඒ පින මට දුන් හෙයින්.. නග්න වූ කෘශ වූ දුර්වර්ණ වූ සා පිපාසායෙන් පෙළුණු පේතව සිටි මා මෙසේ වීය. මෙවන් වූ මා දැන් බිය නැත්තී සිත් සේ රස මස වුළෙන් යුත් බත් වළඳමි. නන්දන රජුගේ ජීවිතය මෙන් කැමැති කැමැති වස්ත්‍ර හඳිමි. පැන් තලියෙහි විපාක ලෙස ගැඹුරු සතරැස් පොකුණු මැවී ඇත. එසේ සැප ලබා දුන් කුළුනැති මුණිවරයකු වූ ඔබ වහන්සේ වැඳීමට මම මෙහි ආමි.

ඒ පේතිය විසින් මෙසේ කී කල්හි ආයුෂ්මන් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඉට්ඨකාවතිය, දීඝරාජිය යන ග්‍රාම දෙක්හි ජනයා තමන් වහන්සේ වෙත පැමිණි කල්හි මේ කතා වස්තුව විස්තර වශයෙන් වදාරමින් මිථ්‍යා දෘෂ්ටියෙන් ඔවුන් මුදා (සංසාර මෝචක කර්මයෙන් මුදා) උපාසක භාවයෙහි පිහිටවූහ. (මෙහි සංසාර මෝචක, කර්මයෙන් මුදලීම නම්, සසර සැරි සැරීමට හේතු වූ මිථ්‍යා දෘෂ්ටියෙන් මුදා) සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවාලීමෙන් සසරෙන් මුදා ගැනීමය. සැරියුත් තෙරුන් වහන්සේගේ මේ සත්පුරුෂ ක්‍රියාව භික්‍ෂූන් වහන්සේ අතර මාතෘකාවක් බවට පත්වීය. ඒ භික්‍ෂූන් වහන්සේ මේ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ධර්මය දේශනා කළ සේක. බොහෝ පිරිසට මෙය වැඩ සැළසුණහ.

සටහන

මිථ්‍යා දෘෂ්ටිය යනු දස අකුසල් හි ඇති බලවත්ම අකුසලය වනවා පමණක් නොව විපාක දීමෙන් ක්‍ෂයව යන අකුසලයක් ද නොවේ..එහෙයින් උපන් සත්ත්වයා මිථ්‍යා දෘෂ්ටිගතව සිටින තාක් කල් නැවැත නැවැත දුගතීන්හිම උත්පත්ති ලබනු ඇත. අනවරාග්‍ර (අග මුල නැති) මේ සංසාරයෙන් මිදීමක් ද කිසිදා නොවේ. එහෙයින් යමෙකු මිථ්‍යා දෘෂ්ටියෙන් ගළවා ගන්නේ නම් එය මහත් සත්පුරුෂ ක්‍රියාවකි. ඔහුට හෝ ඇයට කළ හැකි උතුම්ම ලාභයකි. මේ මිථ්‍යා දෘෂ්ටිය නම් යථා භූත ඥානයෙන් තොරවීමය. හේතු ප්‍රත්‍යයෙන් ලොව හටගත් දේ භූත නම් වේ. එවන් භූතයන්ගේ හට ගැන්මේ නියම ධර්මතාව නොදැනීම යථාභූත ඥානයෙන් තොරවීම ය. සත්ත්වයා, පුද්ගලයා ආත්මීය සංකල්පය යන වැරැදි ලෙස දැකීමෙන් මිදී, ස්කන්ධ – ආයතන හෝ ධාතු වශයෙන් හටගත් සියලු දේ දැකීම සම්‍යක් දෘෂ්ටියයි.

මෙම කථා ප්‍රවෘත්තියෙහිද සඳහන් පරිදි ද යමෙක් අයහපතෙන් මුදාලීමට තවත් කෙනෙක්හට උපකාර කළ හැකි ය. උදව් කළ හැකි ය. එය සත්පුරුෂයාගේ ලක්‍ෂණයකි. පළමු කොට තමන් වරදින් මිදී අන් අයද එවන් වරදින් මුදා ගැනීම ඒ සත්පුරුෂ ගුණ යයි. එකී පේතයාගේ කථාවෙහි මට ‘දන් දෙව පින්කරව‘ ආදී වශයෙන් යහපතෙහි යෙදෙවීමට මවක් හෝ පියෙක් හෝ නෑයෙක් මෙන්ම මිතුරන් ද නොවූ හෙයින් යම ලොව පේතව උපන් බව ඇය කියන්නී ය. අවසන් හි සත්පුරුෂ සැරියුත් මහරහතන් වහන්සේ ඇයට පිහිට වූ සේක. මෙසේ වූ කල්හි මෙවන් කතා ප්‍රවෘත්තින් තුළින් අප ද වරදින් මිදී තමා ඇසුරෙහි සිටින ඇත්තෝ ද හැකි තරම් වරදින් මුදා ගැනීමට කටයුතු කිරීමට ඉටා ගනිමු.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]