UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ දර්ශනය තුළ අදහස් කර ඇත්තේ දිළිඳු බව පුද්ගලයාට දුකක් වන බවයි. බුදුරදුන්ගේ ප්‍රධාන පරමාර්ථය දුකට පත්වූ සත්ත්වයින් එම දුකින් මුදවා උතුම් නිර්වාණබෝධය ලබාදීමය. එහෙත් පුද්ගලයින් ගේ ලෞකික ජීවිත පැවැත්ම උදෙසා අවවාද අනුශාසනා ලබාදීමට උන්වහන්සේ අමතක කළේ නැත. පුද්ගලයාගේ දෛනික දිවි පෙවෙතෙහි සාර්ථක භාවය සඳහා ශක්තිමත් ආර්ථිකයක් තිබීම අනිවාර්ය සාධකයකි.

ආර්ථික සුරක්ෂිතභාවය පුද්ගලයාට ආශිර්වාදයක් වෙයි. ලෞකික ජීවිතය සැපවත් කර ගැනීම උදෙසා මිල මුදල් ඉපැයීමට පුද්ගලයා නිතැතින්ම යොමුවෙයි. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයා මිල, මුදල් ඉපැයිය යුත්තේ ධාර්මිකවය. ධනය ඉපැයීමේදී තමාගේ් දියුණුව සේම අන් අයගේ යහපත කෙරෙහිද සැලකිල්ල යොමු කිරීම වැදගත් ය.

ආර්ථික ශක්තියක් පුද්ගලයෙකුට අත්‍යවශ්‍යයි. එසේ නොවනවිට පුද්ගලයින් වැරැදි ක්‍රියාවලට යොමුවීමේ අවස්ථාවන් ඇතිවේ. අන් අයට කරදරයක් හැරිහැරයක් නොවන පරිද්දෙන් ධනය ඉපයීම කළයුතුª බව පෙන්වා දෙන පෙළ දහමෙහි ධනය ඉපැයිය යුතු ධාර්මික ක්‍රියා පිළිවෙත විස්තර කරයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අණන සුත්‍රයේදී පෙන්වා දෙන්නේ

‘’භෝගා මේ අත්ථි උට්ඨාන විරියාධි ගාථා
බාහා බල පරිචිතා සේ දා වක්ඛිත්තා
ධම්මිකා ධම්ම ලද්ධා ඉති අධිගච්ජති
සුඛං අධිගච්ඡති සෝමනස්සං’’

උත්සාහයෙන් බාහු බලය යොදා දහඩිය මහන්සියෙන් ධාර්මිකව ධනය ඉපයීම කළ යුතු බවයි.

ධනය හරිහම්බ කිරීමේදී ධාර්මික බව ඉතා වැදගත් ය. මිථ්‍යා ආජීවය හෙවත් වැරැදි ජීවන මාර්ග වලින් වෙන්වී නිවැරදි දැහැමි ජීවන මාර්ගයන්ට යොමුවන ලෙස බුදුදහමින් පුද්ගලයාට උපදෙස් දෙයි. සම්මා ආජීවයට පටහැනි වෙළෙඳාම් පහක් අධාර්මික වෙළෙඳාම් වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එම වෙළෙඳාම් නම්

වහල් වෙළෙඳාම
සත්ව හිංසාව පිණිස ආයුධ වෙළෙඳාම
ජීවිත හානියට හේතුවන වස විස වෙළෙඳාම
මස් හා මස් පිණිස සතුන් වෙළෙඳාම
රහමෙර හා මත්ද්‍රව්‍ය වෙළෙඳාම

එම වෙළෙඳාම් වල නිරත වී පුද්ගලයා උපයන ධනය අයුක්ති සහගතය. එයින් පුද්ගලයා පිරිහීමට පත්වෙයි. තලාකූට, මානකූ®ට, කංසකූට ආදි මිත්‍යා වෙළෙඳ ක්‍රම වලින්ද පුද්ගලයා වෙන්වී වාසය කිරීම ලෞකික ජීවිතය සැපවත්ව පවත්වාගෙන යාමට හේතුවෙයි. අයහපත් ලෙස ජීවිකාව පවත්වාගෙන යන පුද්ගලයා අනාරක්ෂිතය. ඔහුට ධර්මයෙහි පිහිටක්, ආශිර්වාදයක් ලැබෙන්නේ නැත. නිරුතුරුවම බියෙන් හා සැකයෙන් ජීවිතය විදවීමට දැහැමින් තොරව ධනය උපයන පුද්ගලයාට සිදුවෙයි.

උත්සාහයෙන් තම ශ්‍රමය කැපකොට ධාර්මිකව උපයන ධනය පුද්ගලයාගේ දියුණුව සඳහාම හේතුවන බව සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇත්තේ මෙලෙසිනි.

භෝගෙ සංහර මානස්ස
භමරස්සේව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති
වම්මිකෝ වුපවීයති

මී මැස්සා මල නොතලා රොන් ගන්නා ලෙසින් අනුන්ට කරදරයක්, නොකර උපයන ධනය, වේයන් බඳින තුඹසක් මෙන් වර්ධනය වන බවයි. පත්තකම්ම සූත්‍රයේදී දුර්ලභ කරුණක් වශයෙන් දක්වා ඇත්තේ ධාර්මික බවයි. අධාර්මික ක්‍රම මඟින් උපයන ධනය නිසා අන් සත්ත්වයින් දුකට පත් වෙයි. බෞද්ධ ගෘහස්ථයා සිල්වත් වන්නේ කෙසේදැයි මහනාම ශාක්‍යයා බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළ විට යමෙක් යම් දිනක පටන් පරපණ නැසීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, සුරාව පානයෙන්වෙන් වූයේ ද ඔහු සිල්වතෙක් වන බව මහානාම සූත්‍රයේදී බුදුරදුන් දේශනා කර ඇත. ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින් ධනය ඉපැයීමේදී දක්ෂව, අනලස්ව, කුසීත නොවී ක්‍රියාකිරීමද වැදගත් ය. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ

අනුප්පන්නා චේව භෝගා නූපජ්ජන්ති
උප්පන්නා භෝගා පරික්ඛයං ගච්ඡන්ති

අලසයාට නැති වස්තුව ඇති නොවන අතර ඇති වස්තුවද නැති වී යන බවයි. එබැවින් අලස නොවී වීර්යයෙන් පුද්ගලයා ධනය ඉපැයිය යුතුය. උත්සාහයෙන්, බාහු බලය යොදා දහඩිය මහන්සියෙන් ධාර්මිකව උපයන ධනය ක්‍රමානුකූ®ලව වියදම් කිරීමද, පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතුවෙයි.

උපයන ධනය සිව් කොටසකට බෙදා එක් කොටසක් දෛනික පරිභෝජනයට ද, කොටස් දෙකක් තමන් නියැලෙන කර්මාන්තයෙහි දියුණුවටද ඉතිරි කොටස ආපදා අවස්ථාවක ලබා ගැනීමට වෙන්කළ යුතු බවයි.

උපයන ධනයෙන් සෑහීමකට පත් වී එය තමාට ප්‍රමාණවත් යැයි සිතා ණය නොවී අනාගත සුබසිද්ධිය සඳහා කටයුතු කරන පුද්ගලයා ගේ මෙලොව ජීවිතය සාර්ථකය. පුද්ගලයා උපයන ධනය විනාශ නොවී රැක ගැනීමට භෝග විනාශ මුඛ වලින් වැළකී සිටීමද ඉතා වැදගත් වෙයි. බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන එම භෝග විනාශ මුඛ මෙසේ ය.

පුද්ගලයා සතුව පවතින භවබෝග සම්පත් පිරිහීම සඳහා බලපාන කරුණක් වන්නේ නොකල්හි වීදි සංචාරයයි. එහි නිරත වන පුද්ගලයා දෝස හයකට යොමුවෙයි. එනම් තමා ආරක්ෂා නැත්තෙකු වීම, අඹු දරුවන්ට ආරක්ෂාවක් නැති වීම, ධනයට ආරක්ෂා නැතිවීම, සැක කටයුතු පුද්ගලයෙකු වීම, අභූත චෝදනාවලට භාජනය වීම, බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදුවීම ආදියයි.

මේ නිසා පුද්ගලයා සතු මිල මුදල් වහා විනාශ වී ගොස් ඉතා දිළිඳු තත්ත්වයට පත්වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් බැලීමට යන පුද්ගලයා දෝස හයකට මුහුණ දීමට සිදුවෙයි.

නැටුම් පවතින්නේ කොතැනකද, ගායනා පවතින්නේ කොතැනකද, වාදන පවතින්නේ කොතැනකද, විවිධ කතා පවතින්නේ කොතැනක ද, විවිධ ක්‍රියා පවතින්නේ කොතැනකද, රබන් ගැසීම ආදිය පවතින්නේ කොතැනක ද ආදිය සොයමින් ගමන් කිරීම නිසා තමා සතුව ඇති වස්තුව නැතිවන අතර නැති වස්තුවක්ද ඇති නොවෙයි.

යම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවහොත් එම පුද්ගලයා ආර්ථික වශයෙන් ද අධ්‍යාත්මික වශයෙන් ද පරිහානියට පත්වන බව සිඟාලෝවාද සූත්‍රයෙහි දෝස හයක් දක්වමින් පැහැදිලි කරයි.

එනම් වස්තුව නැතිවීම, අඩදබර ඇතිවීම, රෝගාදිය හට ගැනීම, අපකීර්තිය ඇතිවීම, ලජ්ජාව ඇතිවීම, නුවණ දුබල වීම

පුද්ගලයාගේ ආර්ථිකයත්, ආධ්‍යාත්මික පිරිපුන් බවත් පිරිහී යාම සූදුවට ඇබ්බැහි වීමෙන් සිදුවෙයි. මෙහි නිරත වන පුද්ගලයා දෝස හයකට යොමු වෙයි.

සූදුවෙන් දිනූ කළ සතුරෝ ඇතිවෙති, පැරදුණ කල්හි ධනය විනාශය ගැන ශෝක වෙයි, තමන් රැස් කරගත් වස්තු විනාශ වෙයි. ඔහුගේ වචන නොපිළි ගනී. මිත්‍රයන් නෙරපා දමයි, ආවාහ විවාහ ආදියට අකමැති වෙයි.

පුද්ගයාගේ ජීවිතයෙහි අර්ථවත්භාවය සඳහා කලණ මිතුරන්ගේ ඇසුර අත්‍යාවශ්‍ය වන අතර පාප මිත්‍රයකුගේ ඇසුර තුළින් පුද්ගලයෙකු දිළින්දකු බවට ද සාරධර්ම පිරිහුනු පුද්ගලයෙකු බවට පත්වීම ද සිදුවෙයි. පාපමිත්‍ර සේවනයෙන් ලැබෙන දෝස හයක් වෙයි. එනම්

සුදුවෙහි යෙදීම, සල්ලාල ක්‍රියාවන්හි යෙදීමද, සුරාපානයෙහි ලොල් වූවෝ වෙත්ද, අනභි මුඛයෙහි වංචා කාරන්නෝ වෙත්ද, අභිමුඛයෙහි වංචා කරන්නෝ වෙත් ද, අපරාධකාරයෝ මොහුගේ මිතුරෝ වෙත් ද මේ අයගේ ඇසුරෙන් ඒ ඒ පුද්ගලයන් පිරිහීමට පත්වෙයි.

පුද්ගලයාගේ සියලු කටයුතු අඩපන වෙමින් ආර්ථික ශක්තිය පිරිහීමට අලස බව හෙවත් උදාසීන බව හේතුවෙයි. මේ හේතුවෙන් පුද්ගලයා දෝස හයකට යොමු වෙයි.

දැන් ඉතා ශීත යැයි කියමින් කර්මාන්ත නොකිරීම, දැන් ඉතා උෂ්ණයැයි කියමින් කර්මාන්ත නොකිරීම, දැන් ඉතා සවස යැයි කියමින් කර්මාන්ත නොකිරීම, දැන් ඉතා බඩගිනි යැයි කියමින් කර්මාන්ත නොකිරීම, දැන් ඉතා කුස පිරී ඇතැයි කියමින් කර්මාන්ත නොකිරීම, දැන් ඉතා උදේ යැයි කියමින් කර්මාන්ත නොකිරීම.

මෙසේ භෝග විනාශ මුඛ හයට හසු ව පුද්ගලයා පිරිහීමට පත්වෙයි. එබැවින් මෙම විනාශ මුඛ වලට යොමු නොවී තමා උපයන ධනය සුරක්ෂිත කර ගැනීමට ක්‍රියා කිරීම වැදගත්ය.

ස්ත්‍රී ධූර්තවීම, සුරාවෙහි හා සූදුවෙහි ලොල් බව ලැබුණු සියලු ධනය විනාශ කරමින් පුද්ගලයා පිරිහීමට යොමු කරයි.

බොහෝ සූත්‍ර ධර්ම තුළින් පුද්ගලයාගේ මෙලොව ජීවිතය සුවදායක කර ගැනීම උදෙසා මහඟු ආදර්ශ සපයයි. පිරිහෙන ක්‍රියාවන්ට යොමු නොවී ස්වකීය දියුණුව සලසා ගැනීම සඳහා ධර්මානුකූ®ල පිළිවෙත් අනුගමනය කරන පුද්ගලයා මෙලොවත්, පරලොවත් සුවදායක කර ගනී.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]