UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වර්ණ මයුර ජාතකය

අප බෞද්ධයෝ වැඩිදෙනා ඇතැම්විට, පිරිත් දේශනාවට වඩාත් කැමැත්තක් දක්වන බැව් පෙනේ. මෙයට හේතුව වන්නට ඇත්තේ පිරිතෙහි කිසියම් ආරක්‍ෂක ශක්තියක් ඇතැයි විශ්වාස කිරීම හා අප ගරුතර මහා සංඝයාවහන්සේලා, ඉතාමත් ලගන්නා ලෙස, අපගේ මනසට ඉමහත් සැහැල්ලුවක් දැනෙන ලෙසට පිරිත් සජ්ඣායනය කිරීම විය හැකිය. පිරිතකට සවන්දෙන විට ඉන් නිකුත් වන්නාවු හඬ රිද්මය අපගේ සවන් සැනසීමට පත්කරවන සුළුය අප රට තරම් බණ කියන, පිරිත් කියන, බණ අහන පිරිත් අහන දන් දෙන රටක් තවත් ලොව ඇද්දැයි සැක සහිතය. එය, අප සැමට ආශිර්වාදයකි. අප රාත්‍රියේ නින්දට වැටෙන්නේ ගුවන් විදුලියේ පිරිත් අසා ගෙනය. උදේ අවදිවන්නේ නාලිකා රැසක් තරගයකට මෙන් එක එකා පරදන අයුරින් පිරිත් අප සවනට ගෙන එමින්ය. ඒ සියලුම නාලිකාවන්ට බොහෝ පින් බුදුවදනක් ඇසෙනවා තරම් වාසනාවක් තවත් ඇද්ද?

අපගේ අති උතුම් පිරිත් පොත්වහන්සේගේ 13 වන පිරිත ලෙස දක්නට ලැබෙන්නේ, ගාථා හතරකින් යුක්ත කෙටි පිරිතකි. මෙය, මෝර පිරිත ලෙස හැඳින්වේ. පිරිතේ ආනුභාවය හා ආරක්‍ෂාව සාකල්‍යයෙන්ම ඉටුකර ගැන්ම පිණිස, පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැන්ම අතිශයින්ම වැදගත්ය.

මෝර පිරිතට වස්තු බීජය සපයා ඇත්තේ ජාතක පොතේ 158 වැන්න වූ ස්වර්ණ මයුර (මෝර) ජාතකයෙන්ය. එය අපූරු, රසවත්, කෙටිකතාවක් වැන්න.

බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ එක්තරා බෝධිසත්ව ආත්මභාවයකදී, “ස්වර්ණ මොණරෙක්ව“ ඉපිද හිරු, සඳු වඳිමින්, ධර්මානුකූලව තම මනස ඉහළ තලයකට ගෙන ආවේය. අප අතර නිතර දෙවෙලේ අසන්නට ලැබෙන මෝර පිරිතේ මුල් වස්තුබීජය මෙයයි.

බුදුන් වහන්සේ මෝර ජාතකය දේශනා කොට වදාළේ, භික්‍ෂූන් වහන්සේ නමක් මුල්කොට ගෙනය. (ජාතක පොතේ 158 වැන්න)

බරණැස් නුවර බඹදත් රජ දවස, අප බෝසතාණන් වහන්සේ රන්වන් මොණරෙකු, ලෙස උත්පත්තිය ලැබීය. පුණ්‍යවන්ත මෙම රණ මොණරා, හිරු දෙවි පුදන්නෙකි. මිනිස් වාසයෙන් තොරව, තම පින්දහම් කිරීමට යෝග්‍ය පරිසරයක්වන අති රමණීය හිමාල කඳුවළල්ලේ, කඳු තුනකට ඈතින් දක්නට ලැබෙන, දණ්ඩකාර නම් ලස්සන පරිසරයක, දිනපතා හිරු දෙවි පිදීම ඔහුගේ සිරිතවිය. මෙම පින්වන්ත, මොණරා දිනපතා

උදාතයං චක්ඛුමා ඒකරාජා - හරිස්සවණ්ණෝ පඨවීප්ප භාසො -
තං තං නමස්සාමි හරිස්සවණ්ණං - පඨවිප්පභාසං - තයජ්ජ ගුත්තා විහෙරේමු දිවස
ං යන ගාථාව ගායනා කරයි.

පිරිත, උදේ සවස කියමින් තම ආරක්‍ෂාව සලසා ගන්නේය. උදේට උදේතයං යන්න වෙනුවෙන් ප්‍රකාශ කරන මොණරා සවසට ‘අපේතයං’ යනුවෙන් පිරිත අරඹයි.

වරක් මෙම ශෝභා සම්පන්න රන්වන් පැහැයෙන් යුත් මොණරා දුටු එක්තරා වැද්දෙක්, රන්වන් මොණරා ගැන තම පුතුට මෙසේ කීය.

“පුතා, දණ්ඩකාරණ්‍ය කන්දේ රන් මොණරෙක් ඉන්නවා. කවදා හරි අපේ රජ්ජුරුවන්ට, රන් මොණරෙක් අවශ්‍ය වුණ දවසක, උඹ ඒ බව රජුට කියලා, රන් මොණරා රජුට අල්ලලදීපන්. උඹට විශාල ධනයක් ලැබේවි.” ටික දිනකින් වැදි පියා මිය ගියේ ය.

දිනක්, බඹදත් රජ බිසව සිහිනෙන් රන් මොණරෙකුගෙන් බණ අසනවා දුටුවාය. ඇයට රණ මොණරෙකු දැක ගන්නට සිත්වූවාය. මේ අවශ්‍යතාව කෙතරම්දැයි කිවහොත්, තමාට රණ මොණරෙකු නොලැබුණහොත්, දිවිනසා ගන්නා බව රජුට කීවාය. රජු කලබලයට පත්විය. රට පුරා රණ මොණරෙකු සෙව්වේය. වැදි පුතුට මේ ආරංචිය ලැබුණි. දන්ඩකාරණ්‍ය කදු මුදුනේ රණ මොණරෙකු වසන බව රජුට දැන්වීය. මෙම රණ මොනරා රජුට ලබා දෙන්නෙකුට ඇතෙක් බරට වස්තුව ලබාදෙන බව රජතුමා ප්‍රසිද්ධ කළේ ය.

වැද්දෝ ක්‍රියාත්මක වූහ. රණ මොණරාට උගුල් පිට උගුල් ඇටෙව්වේය. එලුවේය. “උදේතයං - අපෙතයං “ යන මොණර පිරිතේ බලයෙන් වැද්දන් හත්දෙනෙකුට “ස්වර්ණ මයුරා” අල්ලාගන්නට නොහැකිවිය. රණ මොණරෙකු නොලදව කලකිරීමට පත් බඹදත් බිසවද රණ මොණරා නොලද දුකෙන්ම මිය ගියා ය. ඒ දණ්ඩ කාරන්‍ය වසන රන් මොණරා කෙරෙහි රජතුමා වෛර බැන්දේය. රජු තම උත්සාහයද අත්හැරියේ නැත. එක්තරා වැද්දෙකුට අපූරු උපායක් සිතිණ.

මේ උගුල්වලින් රැහැන් වලින් වැඩක් නැත. මේ රණ මොණරාගේ තවුස් බලය බිඳින්නට අප කදිම උපායක් යොදමු. මොහු, රණ මොණරා යන එන තැනක අප සෙබඩක් රදවමු. ඌට ගී ගයන්න කියමු. එවිට, රන් මොණරාවුවත් මේ සෙබඩ ළඟට පැමිණ එකට කම්සැප විඳිනවා ඇති. මේ තමා ලොව දහම කපටි වැද්දාගේ උපාය හරිගියේය. රන් මොණරා අල්ලා රජු වෙත ගෙන ආවේය.

“දේවයන් වහන්ස, මා රජ මාලිගාවට ගෙන ආවේ කුමකටද?” රන් මොණරා රජතුමාගෙන් උගේ මස් කාපුවම” අමරණීය” වනවා. ඒ නිසා උඹව මරලා මස් කරන්න අපට අවශ්‍යයි රජතුමා කීවේ ය.

ස්වාමීනී, මාත් මැරෙනවා නම්, මගේ මස් කාපුවහම අජරාමර වන්නේ ‍ෙකසේද? රජතුමනි, මා පෙර ආත්මයක මේ දඹදිව සක්විති රජු ලෙස මේ දඹදිව රජ කළා. නිතිපතා පන්සිල් රැක්කා. දෙව්ලොව උපන්නා. කරුමයක මහත මේ සිදු කළ එක්තරා සුළු පාපකර්මයක් නිසා මොණරෙක් ලෙස මෙසේ ඉපදුනා. පින්කළ නිසා, නිකම්ම මොණරෙක් නොවෙයි. රත්තරන් පාට මොණර රජෙක් වෙලයි මා ආත්මභාවය ලැබුවේ ඔබතුමාගේ දැන ගැනීමට කියන්නම්. මා එදා සක්විති රජ වී සිටින කාලයේදී මා ‘අහසින් ගමන් කළ ලස්සන රන්රුවන් වාහනයක්, රථයක්’ මට එදා තිබුණා. ඔබතුමාගේ මඟුල් පොකුණේ එය සඟවා ඇති. ඒ පොකුණේ ඒ රථය ඇති. වතුර හිස් කොට, ගොඩගන්න. මහා පුදුමයකි රන්රුවන් වාහනය එම මගුල් පොකුණ අඩියේ දක්නට ලැබුණි.

සතුටට පත් රජු, රන් මොණරා මුදා හැරියේය.

දහමෙහි ඇති වටිනාකම පස් පවින් වැළකී ධාර්මිකව ජීවත්වීම පිළිබඳව රන් මොණරා, රජතුමා දැනුම්වත් කළේ ය.

මෙම අතීත කතාව භික්‍ෂූන් වහන්සේලාට දේශනා කළ විට, එහි වැඩසිටි භික්‍ෂූන් වහන්සේ රහත්ඵලයට පත්වූහ.

“එදා රජු - ආනන්ද තෙරුන්ය. රණ මොණරා මා” යි බුදුන්වහන්සේ වදාළ සේක.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]