UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දී පැවැති කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි 2010 නොවැම්බර් මස 10 සහ 11 දෙදින තුළ සිදු කෙරුණු කඨින චීවර පූජා මහ පින්කම, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, විද්‍යා පීඨය හා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් ශිෂ්‍ය ප්‍රජාවත් ඒකරාශීව සංවිධානය කැරිණි. එහි පළමුවැන්න වූ උඩරට, පහතරට, සබරගමු ආදී සංස්කෘතිකාංග වලින් සමන්විත කඨින චීවරය රැගත් පෙරහර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, මහාචාර්ය මයුර සමරකෝන් මහතා, මහාචාර්ය විශ්වකුල මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙරංජි විජේවර්ධන මෙනවිය විසින් සංවිධානය කැරිණි. සර්ව රාත්‍රික පිරිත සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන ක්‍රියා කළඅය අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුසුමලතා ලංකාමුල්ල මහත්මියත් කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ මහාචාර්ය හේමන්ත කෝට්ටවත්ත මහතාත් කථිකාචාර්ය ගාමිණී රත්න ශ්‍රී මහතා විශේෂ වූහ. එම පින්කමට සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේත් කෘත්‍යාධිකාරී රත්මලානේ පඤ්ඤාජීව හිමිපාණන්ගේත් දායක පිරිසගේත් නොමද අනුග්‍රහය ලැබිණි.

නොවැම්බර් 10 හවස මහ පෙරහර ගංගොඩවිල විජේරාම රාජමහා විහාරස්ථානය අසලින් වීථි සංචාරය කොට සරසවි භූමියට පිවිසි අතර එදින රාත්‍රියේ කඨින වස්ත්‍රය තැන්පත් කර තිබුණේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මියගේ නිවසේ ය. එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ දම් දෙසුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නොවැම්බර් 11 පහන් වෙත් ම කඨින වස්ත්‍රය භික්‍ෂුණී මහා සංඝරත්නය විෂයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුසුමලතා ලංකාමුල්ල මහත්මියත් කළමනාකරණ අධ්‍යයන හා මහාචාර්ය විශ්වකුල මහතා, වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය හේමන්ත කෝට්ටවත්ත මහතා, කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මිය ඇතුළු පිරිස විසින් පූජා කරන්නට යෙදුණු අතර එයින් අනතුරුව එය කපා සකස් කිරීම ද සුමංගල ශ්‍රී ශ්‍රවණාගාරයේ දී සිදු කැරිණි.

එදින හීල දානය භික්‍ෂුණීන් වහන්සේ විසිතුන් නමක් විෂයෙහි පිරිකර සහිතව පූජා කරන ලදහ. දවල් පනස් නමකට අධික භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝයා විෂයෙහි කඨින චීවර, කප්රුක් පූජා සහිත සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද අනතුරුව විනය කර්ම සිදුකිරීම සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව සීමාමාලකයේ දී ද සිදු කෙරිණි.

විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු කඨින පින්කම මෙයයි. එදින පින්කමට සහභාගි වූ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති නාහිමියන්ට අනුව සිවුවනක් පිරිසකගේ ම ඒකරාශීත්වයෙන් සිදුවුණු මේ යුගයේ දකින්නට ලැබුණු දුර්ලභ ගණයේ පින්කමක් වූයේ ද මෙයයි.

විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේත් අනුබද්ධ විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේලාගේ සහ ලංකාවේ නන් දෙසින් වැඩම කළ භික්‍ෂුණීන් වහන්සේලාගේත් සහභාගිත්වයෙන් සිදුවුණු මෙම පින්කමේ දායකත්වය දැරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධිපතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ විද්වතුන්, කාර්ය මණ්ඩල සාමාජිකයින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකා පිරිස විසිනි.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]