UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2011.01.26

දහම් දෙසීම

ලෝකයේ වැඩියෙන් ම බණ කියන, බණ අසන රට ශ්‍රී ලංකාව වුව ද එහි ප්‍රතිඵල දක්නට නැතැයි ඉතා ජනපි‍්‍රය විවේචනයක් තිබේ. මේ පිළිබඳ ව කියැවෙන ගීතයක් විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කැර ඇත. එහෙත් බණ කියන භික්‍ෂූන් වහන්සේ හෝ බණ අසන ජනතාව මේ ගැන ගැඹුරින් සිතා බලා තිබේ ද යන්න සැක සහිත ය. පටාචාර හෝ කිසාගෝතමිය අරබයා බුදුරදුන් දේශනා කළ ධර්මය විමසා බලන කල , ශ්‍රාවකයා මුහුණ දුන් ගැටලුව, ශ්‍රාවකයා ගේ මානසික තත්ත්වය හා ශ්‍රාවකයා ගේ ඥාන ශක්තිය ආදී කරුණු පිළිබඳ ව දක්වා ඇති සියුම් අවධානය වටහා ගැනීමට පුළුවන.

එහෙත් මෙ කල සිදු වන්නේ කුමක් ද? දහම් දෙසීමේ දී බොහෝ විට ශ්‍රාවකයා ගේ වුවමනාව, හැකියාව හෝ ප්‍රයෝජනය සලකා බලන බවක් නො පෙනේ. එ බඳු බණ අසා පුරුදු අපට වෙනස් ආකාරයේ බණක් පසුගිය දුරුතු පසළොස්වක පොහොය දා (ජනවාරි 19 වන දා ) අසන්නට ලැබිණ. පුර පසළොස්වක පොහොය දිනයන්හි දී අරලිය ගහ මැදුරේ පවත්වනු ලබන ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාවේ 82 වන පියවර වූ එහි දේශකයාණන් වහන්සේ වූයේ ඕසේට්‍රේලියාවේ වෙසෙන ඉංගී‍්‍රසි ජාතික අජාන් බ්‍රහ්මවංසො හිමියන් ය. උන්වහන්සේ ඉංගී‍්‍රසි භාෂාවෙන් පැවැත් වූ එම ධර්ම දේශනය පොල්පිතිමූකලානේ ප්‍රඤ්ඤාසිරි හිමියන් විසින් මැනවින් සිංහලට පරිවර්තනය කරන ලදී.

ගතානුගතික සම්ප්‍රදායෙන් මිදුණු එම ධර්ම දේශනය සඳහා යොදාගත් මාතෘකාව වූයේ සිල් රැකීම යි. ශීලය ආරක්‍ෂා කැර ගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කිරීම පිණිස සත්‍ය සිදුවීම් තුනක් උන්වහන්සේ උපයෝගී කොට ගත් හ. බීමත්කමට ඇබ්බැහි වූ එක්තරා ඕස්ට්‍රේලියානුවකු දඬුවම් විඳීමේ සිද්ධියක් , සිල්වත් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයකු තායිලන්ත ජාතිකයන් පිරිසක් සමඟ ඇති කැරැ ගත් වෙළෙඳ ගිවිසුමක් සඳහා පංචශීල ප්‍රතිපත්තිය උපකාර වූ අයුරු හා එංගලන්තයේ බෞද්ධ ආරාමයක නායක ස්වාමීන් වහන්සේ නමක් මුහුණ දුන් සිද්ධියක් එම කතා තුන ය.

එහි දී සඳහන් කළ එංගලන්තයේ ආරාමයක නායක හාමුදුරුවන් මුහුණ දුන් සිද්ධිය බෞද්ධ භික්‍ෂුවක ගේ අන¼ගි ජීවිතාදර්ශනයකි. එම සිද්ධිය මෙ සේ ය.

දිනක් මැදියම් රැයෙහි ශබ්දයක් ඇසී බලන විට පින්පෙට්ටිය විවෘත කිරීමට සොරකු උත්සාහ ගන්නා අයුරු එම නායක හාමුදුරුවන් දැක තිබේ. නායක හාමුදුරුවන් පින්පෙට්ටිය දෙසට එනු දුටු සොරා උන්වහන්සේ ගේ ගමන වැළැක්වීම සඳහා පිහියක් එල්ල කොට තර්ජනය කැර ඇත. ඔහු කුමක් කරන්නේ දැයි විමසූ විට සොරා ගේ පිළිතුර වී ඇත්තේ පින්පෙට්ටියෙහි ඇති මුදල් ලබා ගැනීමට තමා ගන්නා උත්සාහයට බාධා නො කළ යුතු බව ය. ඒ සඳහා පින්පෙට්ටියෙහි අගුල කැඩීම අනවශ්‍ය යැයි පැවැසූ උන්වහන්සේ තමා ළඟ තිබූ යතුර සොරාට දී එය විවෘත කැර මුදල් රැගෙන යන ලෙස කීමට තරම් කාරුණික වූ හ.

එම සොරා කුසගින්න නිසා දුර්වල ව සිටින බව ද නායක හාමුදුරුවන්ට අවබෝධ වී තිබිණ. එ දින දානය සඳහා ලැබී ඉතිරි ව තිබූ පලතුරු ආදිය රැගෙන ආහාරයට ගන්නා ලෙස සොරාට දැන්වූයේ ඒ නිසා ය. පින්පෙට්ටියේ තිබූ මුදල් මෙන් ම පලතුරු ආදිය ද රැගෙන සොරා යන්නට ගියේ ය. පින්පෙට්ටියෙහි තිබූ මුදල් දිළිඳු පුද්ගලයකුට දුන් බව දායක සභාවට දැනුම් දීමට ද උන්වහන්සේ පසුව ක්‍රියා කළ හ.

වෙනත් සොරකමක් කොට අසුවූ එම සොරාට වසර දහයක සිර දඬුවමක් නියම කළ බව පුවත්පත්වල පළ වී තිබිණ. එම සිර දඬුවම ගෙවා අවසන් කළ ඔහු කලින් කී හාමුදුරුවන් හමුවීමට ආරාමයට පැමිණියේ ය. සොරා හැඳින ගත් නායක හාමුදුරුවෝ පින්පෙට්ටියෙහි යතුර ඔහුට දීමට සැරසුන හ. එය ප්‍රතික්ෂේප කළ ඔහු ප්‍රකාශ කළේ හාමුදුරුවන්ගෙන් වෙනත් දෙයක් සොරකම් කිරීමට අද පැමිණි බව ය. හාමුදුරුවන් එදා තමාට කාරුණික ව සැලැකූ ආකාරය සිර දඬුවම් විඳි වසර දහය පුරාම තමාට සිහිපත් විනැයි ඔහු කීය. ඒ නිසා අද පැමිණියේ තමා ගේ සිත දිනා ගැනීමට යොදාගත් රහස සොරා ගැනීම පිණිස යැයි ඔහු කීවේ ය.

අවසානයේ ඔහු උන්වහන්සේ ළඟ පැවිදි වී හොඳින් මහණදම් පිරී ය.

අජාන් බ්‍රහ්මවංසො හිමියන් ගේ මේ ධර්ම දේශනාවේ ඇතුළත් සිදුවීම් සාමාන්‍ය ජීවිතයේ දී අප අත්විඳින ඒවා ය. අයහපත් හැසිරීමක් නිසා ලද පරාජයක්, යහපත් හැසිරීම නිසා ලද ජයග්‍රහණයක් හා තණ්හාවෙන් තොර ව ක්‍රියාකරන බුද්ධිමත් මාර්ගෝපදේශකයකුට මිනිසකු යහමඟට ගත හැකි ආකාරයත් උන්වහන්සේ මනා ලෙස එහි පෙළ ගස්වා තිබිණ. බුදුරදුන් ගේ ගැඹුරු දහම් පණිවුඩය මේ සරල සිදුවීම් තුනෙන් ශ්‍රාවකයන්ට හොඳින් දැනුණු බව අප ගේ විශ්වාසය යි.

උන්වහන්සේ අනුගමනය කළ මේ පිළිවෙත අනෙකුත් ධර්ම දේශකයාණන් වහන්සේලාටත් ආදර්ශයක් වේවා.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]