UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පේත වත්ථු කතා මාලාවෙන්

උරග පේත වත්ථුව

මොවුන් ගේ ධර්ම කථා අසා පැහැදුණු සක් දෙවිඳු, මිත්‍රවරුනි, ඔබලා කෙනෙකුගේ කය බිදී යාම නම් වූ මරණය මැනවින් දැන මරණාණුස්මෘතිය මැනවින් පුහුණු කරන ලද්දාහු ය. මෙතැන් පටන් ඔබලා කෘෂිකර්ම ආදී වෙහෙසකර කර්මාන්ත නො කරන්න. මම ඔබට ධනය දෙමි යි කියා බ්‍රාහ්මණ නිවෙස සත් රුවනින් පුරවා, අප්‍රමාදයෙන් යුතුව දන් දෙන්න. සිල් රකින්න, පෙහෙවස් සමාදන්ව ආරක්‍ෂා කරන්න යැයි අවවාද කොට තමා කවුදැයි හඳුන්වා දී අතුරුදන් වී ගියේ ය. ඒ සියල්ලෝ මෙසේ දානාදී පින්කම් කොට ආයු කෙළවර දෙව්ලොවම උපන්නාහු ය. බුදුරජාණන් වහන්සේ අර්ථෝත්පත්ති ගළපා මේ දේශනය උපාසකයාහට වදාළහ

භා ග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි එක්තරා උපාසකයකු අරභයා මේ දේශනාව කළ සේක. සැවැත්නුවර විසූ මේ උපාසකයාගේ සෙනෙහෙබර පුත්‍රයා කාලක්‍රියා කළේ ය. පුතුගේ මේ අකල් මරණය හේතුවෙන් ඔහු මහත් සේ කම්පා වූයේ හැඩීම්, වැළපීම් නිතර ඇත්තේ කිසිදු කර්මාන්තයක ද නො යෙදුණේ ගෘහයෙහි ම සිටියේ ය.

අළුයම ලොව බලා වදාරන බුදුරජාණන් වහන්සේ සෝවාන්වීමේ වාසනාව ඇති මේ උපාසකයා දැක පෙරවරු කාලයෙහි ඔහුගේ ගෘහය වෙත වැඩම කොට දොරකඩට වැඩ සිටි සේක. උපාසක තෙමේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව අසා වහා නැගිට ගොස් පා සිවුරු අතින් ගෙන ගෙට වැඩම කොට අසුනක් පනවා දුන්හ. වැඳ එකත්පස්ව හුන් උපාසකයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ, ඇයි ද උපාසකය, ශෝක භරිතව වාගේ මෙන් පෙනීම් ඇත්තේ යැයි ඇසූ සේක. එසේය ස්වාමීනී, මාගේ ප්‍රියමනාප වූ තරුණ පුතු හදිසියේ මළේය. ඒ ශෝකයෙන් පීඩිතව සිටිමි’ යි උපාසකයා කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ශෝකය දුරුකරනු සඳහා පෙරවූවක් මෙසේ වදාළ සේක.

බමුණ, ඈත අතීතයෙහි කසී රට බරණැස් නුවර ධර්මපාල නම් බමුණු පවුලක් විය. බ්‍රාහ්මණ, බැමිණිය, පුත්‍රයා, දියණිය, ලේලිය හා දාසිය ද වශයෙන් සදෙනෙක් ගෘහයෙහි වාසය කළෝය. මේ සියල්ලෝ මරණානුස්මෘති භාවනාවෙහි ඇළී නිතර වැඩූහ. මොවුහු යම් විටක ගෘහයෙන් බැහැර යන්නේ ද සෙසු අයට අවවාද කොට ආලයක් නැතුවම නික්ම යයි. දිනක් පුත්‍රයා සමග බමුණා කුඹුරට පිටත්ව ගියෝ ය. බමුණා සී සෑම් කරද්දී පුත්‍රයා වියලි තණ රොඩු එකතුකොට ගිනි තැබූහ. අසල ගසක සිටි නාගයෙක් දුම් වැදී බියවී සිදුරෙන් පිටතට විත් බ්‍රාහ්මණ පුත්‍රයා හට දෂ්ට කළේ ය. විෂ ශරීරගත වූ සුළු මොහොතකින් ඔහු මැරී වැටුණේ ය. ඔහු සක් දෙව් රජව දෙව්ලොව උපන්නේ ය. බ්‍රාහ්මණයා සෙනෙහෙබර පුතුගේ මළ සිරුර කුඹුරේ පසක රෙදි කඩකින් වසා තබා බිෙඳනසුළු කය බිදී ගියා යැයි මරණ සතිය වඩා නැවැත සී සෑම කළේ ය.

සුළු වේලාවකින් කුඹුර අසලින් යන මිනිසෙකු දැක, යහළුව, මගේ ගෙදරට පණිවිඩයක් කියා යන්න යැයි ඉල්ලීමක් කළේය. එක් අයෙකුට පමණක් බත හා මල් සුවඳ ආදිය සමඟ සියල්ලෝ ස්නානය කොට පිරිසුදු ඇඳුම් ඇඳ එන්න යැයි බැමිණියට කියන ලෙසය. ගෙදර සියල්ලෝ එසේ කොට කුඹුරට පැමිණියෝය. බ්‍රාහ්මණයා ද දිය නා මළ පුතු අසල සිට බත් කා සුවඳ ගල්වා පවුලේ සැම එක්ව ගිනි දල්වා මැටියෙන් කළ කලයක අනිත්‍ය ස්වභාවය කලයට සම්බන්ධකොට අනිත්‍යය මෙනෙහි කරවමින් මළ සිරුර දර කඩක් සේ දවන්නට වීය.

එකල්හි මිය ගිය පුත්‍රයා සක්දෙව් ලෙසින් ඉපිද පෙර ආත්ම භාවය ගැන විමසන්නේ තම සිරුර දවමින් සිටින පිරිස දුටහ. මෙහිදී බ්‍රාහ්මණ වේෂයකින් දල්වන චිතකය අසලට පැමිණියේ ය. පින්වත්නි, ඔබලා මුවෙක් දවන්නේ ද? මම ද බඩගිනි ඇත්තෙක්මි. මට ද මස් ටිකක් දෙවයි ඉල්ලීය. බමුණ, මේ මුවෙක් නොවේ. මනුෂ්‍යයකු යයි කීවේ ය. එසේ නම් එම දවන තැනැත්තා ඔබලාගේ සතුරෙක් විය හැකිය. නැත බමුණ, සතුරෙක් නොවේ. අපගේ ස්නේහවන්ත ඖරෂ (අප දෙපලට දාව උපන් එකම) පුත්‍රයා ය. ගුණවත් තරුණ පුත්‍රයා ය. එසේ නම් එබඳු ගුණවත් එකම පුතු මළ කල ඔබලාට ශෝක නැත්තේදැයි විචාළේය. බ්‍රාහ්මණය තමා ශෝක නොකිරීමට කරුණු කියන්නේ:

“සර්පයකු (උරගයා) දිරූ සැව සිය සිරුරෙන් හැරපියා යන්නේ යම්සේ ද මේ ශරීරය ආයුෂ ආදිය ගෙවී නිෂ්ප්‍රයෝජන වූ කල්හි හැම සත්ත්වයාම තම සිරුර හැරදමා යන්නේ ය.”

“දවනු ලබන මේ සිරුර නෑයින්ගේ හැඬීම් නොදනී, එහෙයින් මළ පුතු නිසා නොහඬමි. ඔහුගේ යම් ගමනක් වීද හේ ඒ ගමන ගියේ ය.”

ශක්‍රයා බැමිණියගෙන් මෙසේ ඇසීය. පියා පුරුෂ භාවයෙන් නොහඬනා විය හැක. එහෙත් මවකගේ හදවත මෘදුය. පුත්‍ර ස්නේහය බලවත් ය. උණු වෙන සුළු ය. කවර හෙයින් ඔබ නොහඬන්නී ද?

“හේ කැඳවීමක් නැතිවම පෙරලොවින් මෙහි ආයේ ය. පුත තෝ පරලොව යවයි අප විසින් නොකියන ලද්දේ ය. එහෙත් නො කියාම ගියේ ය. යම්සේ අවේ ද, එසේම ගියේ ය. එහෙයින් කවර හැඬීමක් ද?

දැවෙන මළ සිරුර නෑයන්ගේ විලාපය නොදැනී. එහෙයින් මළ පුතු නිසා මම නොහඬමි. තමාගේම කර්මයෙන් ආයේ ද, ස්වකීය කර්මයෙන් ම ගියේ ය.”

බැමිණියගේ වචනය අසා නැගණියගෙන් ශක්‍රයා මෙසේ ඇසීය. නැගණියෝ වැඩිමහල් සහෝදරයාට බොහෝ ආදරය ඇත්තා හ. කවර හෙයින් ඔබ නොහඬන්නී ද?

“මම හඬන්නේ නම් කෘශ වෙමි. ඒ හැඬීමෙහි මට කවර ඵලයක් වේ ද නෑ මිතුරු සුහද පුද්ගලයන් කෙරෙහි ඇල්ම දුක් ය. (මගේ හැඬීමෙන් දෙමවුපියෝ මහත් සේ ශෝක වෙති).”

“දැවෙන සිරුර නෑයින්ගේ හැඬීම නොදනී. එහෙයින් මම මොහු ගැන නොහඬමි. ඔහුගේ කර්‍මය පරිදි යම් ගතියක් වී නම් හේ ඒ ගමන ගියේ ය.”

සක්දෙව් මෙසේ නැගණියගේ වචන අසා මළ අයගේ භාර්යාවගෙන් මෙසේ ඇසීය. මිය ගිය තැනැත්තා ඔබගේ කවරෙක් ද? බමුණ, ඒ මගේ සැමියා ය. සහෝදරිය ස්ත්‍රීන් ස්වාමියා කෙරෙහි මහත් ස්නේහ ඇත්තී ය. ස්වාමියා මළ විට ඕ තොමෝ වැන්දඹු වෙති. අනාථ වන්නී ය. එසේ තිබිය දී කවර හෙයින් ඔබ නොහඬන්නී ද?

“යම්කිසි ළදරුවකු අහසෙහි ගමන් කරන සඳට (ඉල්ලා) හඬයි ද’ යමෙක් මළ තැනැත්තෙකු වෙනුවෙන් ශෝක කරයි ද එයද මෙබඳුමය.”

“දැවෙන සිරුර නෑයින්ගේ හැඬීම නොදනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුගේ කර්මය පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේ ය.”

සක්දෙව් රජ අනතුරුව දාසිය විචාළේ ය. නැගණියනි, මියගිය තැනැත්තා ඔබගේ කවරෙක් ද? බමුණ, ඔහු මගේ ස්වාමි දරුවාය (අයිතිකරුය.) එසේ නම් ඔහු මියයාමෙන් ඔහු මට දඬුවම් කළේ ය. ඔහුට වතාවත් කළේය. දැන් ඒ දෙකෙන්ම ගැළවීම නිසා ඇතිවූ සතුටින් ඔබ නොහඬන්නේ ද?

“පින්වත් බමුණ, යම්සේ බිදුණු දිය කළය නැවැත සන්ධි කළ නො හැකි වේ ද, යමෙක් මළ අය සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණත් මෙබඳුමය.”

“දැවෙන සිරුර නෑයන්ගේ විලාපය නොදනී. එහෙයින් මම මොහු වෙනුවෙන් නොහඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේ ය.”

මොවුන් ගේ ධර්ම කථා අසා පැහැදුණු සක් දෙවිඳු, මිත්‍රවරුනි, ඔබලා කෙනෙකුගේ කය බිදී යාම නම් වූ මරණය මැනවින් දැන මරණාණුස්මෘතිය මැනවින් පුහුණු කරන ලද්දාහු ය. මෙතැන් පටන් ඔබලා කෘෂිකර්ම ආදී වෙහෙසකර කර්මාන්ත නො කරන්න. මම ඔබට ධනය දෙමි යි කියා බ්‍රාහ්මණ නිවෙස සත් රුවනින් පුරවා, අප්‍රමාදයෙන් යුතුව දන් දෙන්න. සිල් රකින්න, පෙහෙවස් සමාදන්ව ආරක්‍ෂා කරන්න යැයි අවවාද කොට තමා කවුදැයි හඳුන්වා දී අතුරුදන් වී ගියේ ය. ඒ සියල්ලෝ මෙසේ දානාදී පින්කම් කොට ආයු කෙළවර දෙව්ලොවම උපන්නාහු ය.

බුදුරජාණන් වහන්සේ අර්ථෝත්පත්ති ගළපා මේ දේශනය උපාසකයාහට වදාළහ. ශෝක නමැති හුල උදුරා දමා ‘චතුස්සත්‍යාබෝධ මාර්‍ග ප්‍රඥාව’ ඇත්තේ ඔහු සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]