UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර දුකට ඇද දමන නිවා දැමිය යුතු ගිනි

තමන්ටත් අන් අයටත් අයහපත පිණිස පවතින රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් ගිනි ප්‍රහාණය කිරීමට උත්සාහ කළ යුතුබව, වීර්ය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ.

ගින්න ගැන නො දන්නා කෙනෙකු මේ මිහිපිට නැත. ඒ තරමට ම ගින්න අපගේ ජීවිතය හා සම්බන්ධ යි. ගින්නෙහි ස්වභාවය යමක් දවාලීම යි. දවාලීම යන අර්ථයෙන් ගින්න විවිධ අවස්ථාවන් හි පරියාය වශයෙන් යොදා ගැනේ. කුස දවාලන නිසා ‘කුසගින්න’ ලෙස හඳුන්ව යි. යුද්ධයෙන් මිනිස් ජීවිත දවා විනාශ කරන නිසා ‘යුද ගින්න’ ලෙස හඳුන්ව යි. අගහිඟකම් වලින් දුක්විඳින පුද්ගලයා එයින් දවාලන නිසා ‘දුක් ගින්දර’ ලෙස හඳුන්වයි. අධික වියළි කාලවල වනාන්තර වල ඇවිලෙන ගින්න වනාන්තර දවාලන නිසා ‘ලැව් ගින්න’ ලෙස හඳුන්වයි.

ගින්නෙහි ඇති සියල්ල දවා ලන ස්වභාවය නිසා ම අතීතයේ සිට ම මිනිසා ගින්නට මහත් බියක් හා ගෞරවයක් දක්වන්නට පුරුදු වී සිටියහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙර සිටම භාරතයේ මිනිසුන් ගින්න දේවත්වයෙහිලා සලකා ගිනි දෙවියන් පුදුන්නට පෙළඹුණි. ගිනි පුදන ගෝත්‍ර, ගිනි පුදන ශාලා පිළිබඳව ත්‍රිපිටක පාළියෙහි බොහෝ සෙයින් කරුණු ඇතුළත් වන්නේ මේ නිසා ය. ශාලාවක් මැද සාදාගත් විශේෂ ස්ථානයක, නිරන්තරයෙන් ගිනි දල්වා ගිතෙල් වෙඬරු ආදිය ගින්නට දමා ගිනි දෙවියන් පිදීම ගිනි පුදන ගෝත්‍රවල ප්‍රධාන කාර්යය යි. මරණින් පසු දෙවියන් හා එක්වීම (ස්වර්ගයට යාම) පිණිස ඔවුන් මෙසේ ගිනි දෙවියන් පුදන ලදී. ගින්නෙහි මෙන් ම සූර්යයා ගේ ද යමක් දවන තවන ගතිය ඇති නිසා ම සූර්යයා ද දේවත්වයේ ලා සළකා වැඳුම් පිදුම් කිරීමට මිනිසුන් පෙළඹිණි. සූර්ය දෙවියන් උදෙසා විශේෂ දේවාල පවා සකස්කොට විවිධාකාරයෙන් පුද පූජා සිදුකළහ. යෝග අභ්‍යාසයන් හි පවා සූර්ය නමස්කාරය ඇතුළත් වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ලංකාවේ සිංහල - හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ සූර්ය මංගල්‍යයක් වශයෙනි.

අතීතයේ ගින්න උපදවා ගන්නේ් වියළි ලී දඬු දෙකක් එකට ඇතිල්ලීමෙනි. ත්‍රිපිටක පාළියෙහි මේ ගිනි ගානා දඬු හඳුන්වන්නේ ‘උත්තරාරිණි’ යන නාමයෙනි. ගින්න උපදවා ගැනීම දුෂ්කර කාර්යයක් වූ නිසා ම ගිනි පුදන ශාලාවලත්, තාපසාරාමවලත් ගින්න නො නිවා නිරන්තරයෙන් දල්වා තබා ගැනීමට පුරුදු වී සිටියහ. සුත්ත නිපාතයට අයත් ධනිය ගෝපාල සුත්‍රයෙහි ‘නිබ්බුතෝ ගිනි’ යනුවෙන් ගින්න නිවා දැමූ බවට විශේෂයෙන් සඳහන් වන්නේ ද නිතරම ගිනි දල්වා තබා ගැනීමට පුරුදු වී සිටි නිසා විය යුතුය.

බුදුරජාණන් වහන්සේ පහළ වන කාලයේදී බොහෝ මිනිසුන් ගිනි දෙවියන් පුදමින් ගෞරව සත්කාර දැක්වීමට පුරුදු වී සිටි නිසා ම, ධර්මය දේශනා කිරීමේ දී විවිධාකාරයෙන් ගින්න උපමා කොට ධර්මය දේශනා කළ සේක. උරුවේල කාශ්‍යප ආදී දහසක් ජටිල පිරිසට දේශනා කොට වදාළ ‘ආදිත්ත පරියාය’ සූත්‍රයත් සිවුපස පරිභෝගය පිළිබඳව භික්ෂූන් වහන්සේට දේශනා කොට වදාළ ‘අග්ගික්ඛන්දෝපම’ සූත්‍රයත් මේ අතරින් ඉතා ප්‍රකට සූත්‍ර දේශනා දෙකකි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී පළමු වස් කාලය අවසන් වීමෙන් පසුව, ඒ වනවිට ගණනින් හැට නමක් වූ රහතන් වහන්සේ පිරිස ධර්ම ප්‍රචාරය පිණිස ජනපද චාරිකාවේ වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළ සේක. ඒ වන විට උරුවේලාවේ පන්සියයක අනුගාමිකයන් පිරිසකට නායකත්වය දුන් උරුවේල කාශ්‍යප ඇතුළු පිරිස සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වා සංවේගයට පත්කොට දමනය කළ සේක. තමා ද කෙළෙස් නැසූ රහතන් වහන්සේ කෙනෙක් යැයි සිතා අධික මාන්නයෙන් සිටි උරුවේල කාශ්‍යප දමනය කිරීමට තුන්දහස් පන්සියයක් සෘද්ධි ප්‍රාතිහාර්ය දැක් වූ බව ‘මහාවග්ග පාළියෙහි’ සඳහන් වේ. පසුව ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ඇතුළු දහසක් ජටිල පිරිස

පැවිදි උපසපන් කරවා ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කළ සේක. ඇස, කණ, නාසය, දිව, කය මනස යන මේ ආයතන නිරන්තරයෙන් ගිනි ඇවිලෙමින් පුද්ගලයා සංසාර දුකට ඇද දමන බව මේ දේශනාවෙන් ඉතාම විසිතුරු ලෙස පැහැදිලි කර දුන් සේක. ගිනි දෙවියන් පුදමින් සිටි ඒ ජටිල පිරිසට සැබෑ ම ගින්න කුමක් ද යන්න වටහා ගැනීමට ඒ දේශනය උපකාරී විය. දේශනය අවසානයේ සියලු සංසාර ගිනි නිවා දමමින් දහසක් ජටිල පිරිස උතුම් අරහත්වයට පත්වූහ. ගෞතම සම්මා බුද්ධ ශාසනයේ එක්වරම විශාල පිරිසක් මාර්ගඵල අවබෝධයට පත් වූ පළමු අවස්ථාව ද එය විය.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් සමග චාරිකාවේ වැඩම කරද්දී එක් ස්ථානයක ඇවිලෙන විශාල ගින්නක් භික්ෂූන් වහන්සේට පෙන්වා එය උපමා කොට ‘අග්ගික්ඛන්ධෝපම’ සූත්‍රය දේශනා කළ සේක. දුස්සීලව වාසය කරමින් ගිහි උපාසක පිරිස් පිළිගන්වන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසය පරිභෝග කිරීමේ ආදීනව පිළිබඳව පෙන්වා දුන් එම දේශනයෙන් පසු හැටනමක් පමණ සිල්වත් භික්ෂූන් වහන්සේ උතුම් අරිහත්වයට පත්විය. පිරිස අතර සිටි 60 ක් පමණ දුසිල් භික්ෂුන් බියට තැති ගැනීමට පත් වීය.

සුත්ත නිපාතයට අයත් වසලයකු වන ආකාරය පිළිබඳ ව පැහැදිලි කරන ‘වසල සූත්‍රය’ ගිනි පුදන ගෝත්‍රයට අයත් භාරද්වාජ බ්‍රාහ්මණයාට කළ ප්‍රකට දේශනයකි. සුත්ත නිපාතයට අයත් ‘සුන්දරික භාරද්වාජ’ සූත්‍රය දේශනා කොට වදාළේ ගිනි පුදන ගෝත්‍රයේ බ්‍රාහ්මණයෙකු මුල් කර ගෙන යි.

පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන කෙලෙස් බුදුරජාණන් වහන්සේ ගින්නට උපමා කොට වදාළා. රාගය ආදී සිතේ ඇතිවන කෙලෙස් හේතුවෙන් තමා ද දැවීමට තැවීමට පත්වන අතර සෙසු ලෝකයා ද දැවීමට තැවීමට පත් කරවන නිසා මේ සියලු කෙලෙස් ගින්නකට උපමා කොට දැක්වීම කොතරම් විසිතුරු ද? එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ සමග පිණ්ඩපාතයේ වැඩම කළ වංගීස ස්වාමීන් වහන්සේට (අරිහත්වයට පෙර) විෂභාග අරමුණක් දැකීමෙන් රාග සිතක් උපන්හ. මෙය කොතරම් බලවත් වූවා ද ‘අනේ ස්වාමීනි මම රාගයෙන් පිච්චෙනවා මාව බේරා ගන්න’ යැයි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. රාග සිතක් ඇති වූ විට කරන, කියන, සිතන සියලු දේ තමන්ටත් අනුන්ටත් අයහපත පිණිසම හේතු වේ.

තමන්ගේ ලස්සන රූපයට බුදුරජාණන් වහන්සේ නින්දා කළා යැයි බුදුරජාණන්වහන්සේ කෙරෙහි වෛර බැඳගත් මාගන්දියා පන්සියයක් මාර්ගඵලලාභී කුමරියන් ගිනිතබා විනාශ කළාය. අවසානයේ දී මාගන්දියා ඇතුළු සියලු නෑදෑ පිරිස ද විනාශයට පත් වූයේ ද්වේශ ගින්න පාලනය කර ගැනීමට නො හැකි වූ නිසාය. ද්වේශයෙන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහත් උතුමන්ට චෝදනා කළ කෝකාලික භික්ෂුවගේ සිරුර පුරා ම සැරව ගෙඩි සෑදී කුණු වී එයින්ම මරණයට පත් වී නිරයේ උපත ලැබීය. දේවදත්ත නිරයගාමී වූයේ ද්වේශයෙන්, බුදුරජාණන් වහන්සේගෙන් පලිගැනීමට යාම නිසා ය. සිතේ ඇති වන ද්වේශ ගින්න තමන් ද විනාශයට පත් කරමින් අන් අයද පීඩාවට පත් කරන බවට මේ නිදසුන් කීපයකි.

මේ නිසා තමන්ටත් අන් අයටත් අයහපත පිණිස පවතින රාග, ද්වේශ, මෝහ ආදී කෙළෙස් ගිනි ප්‍රහාණය කිරීමට උත්සාහ කළ යුතුබව, වීර්ය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. බුදුරජාණන්වහන්සේ දෙව් මිනිසුන් හට ධර්මය දේශනා කොට වදාළේ මේ කෙළෙස් ගිනි නිවා සංසිදීම පිණිස ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමැති ප්‍රායෝගික වැඩපිළිවෙළ ඒ සඳහා ඇති එකම මාර්ගය වේ.

රාගය ආදී කෙළෙස් ගිනි ප්‍රහාණය කොට නිවා දැමිය යුතු අතර ම, සත්කාර ගරුකාර කරමින් පූජා පැවැත්විය යුතු ගිනි පිළිබඳ ව ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. අංගුත්තර නිකායට අයත් ‘මහා යඤ්ඤ සූත්‍රයේ’ දී මෙවැනි පිදිය යුතුගිනි තුනක් පෙන්වා වදාළා. එනම් ‘ ආහුනෙය්‍යග්ගී’ ‘ගහපතග්ගී’ ‘දක්ඛිනෙය්‍යග්ගී’ යනුවෙනි. ආහුනෙය්‍යග්ගී යනු තමන් ගේ දෙමාපියන් ය. සද්ධාවන්ත කුලපුත්‍රයන් විසින් තමන්ගේ දෙමවුපියන්ට, තමන්ට හැකි පමණින් සැලකීම, ඇප උපස්ථාන කිරීම, විශේෂයෙන් ධර්මයෙහි පිහිටුවිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ‘ගහපතග්ගී’ යනු තමන්ගේ බිරිය දරුවන් හා කම්කරුවන් ආදි ය යි. පවුලක ප්‍රධානියා වන පුරුෂයා මූලික කොට ඔහු විසින් අන් අයට සැලකිය යුතු බව මෙයින් පෙන්වා වදාළහ. ඒ නිසාම ඉතා සැපවත් සතුටින් යුතු පවුල් ජීවිතයක් ගතකළ හැකි වේ. තමාගේ දාස කම්කරුවන් කෙරෙහි සොයාබලා සැලකීමෙන් ව්‍යාපාර, ගොවිතැන් කටයුතු දියුණ කර ගැනීමට එය උපකාර වේ. ‘දක්ඛිනෙය්‍යග්ගී’ යනු සංසාර දුකින් නිදහස් වීම පිණිස ප්‍රතිපදාවට පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස යි. ඒ අයට සත්කාර කොට තමන්ට හැකි අයුරින් සිවු පසයෙන් උපස්ථාන කිරීම තමන්ගේ දියුණුවට හේතු වන අතර ම මහත් පුණ්‍යස්කන්ධයක් තමන්ගේ ජීවිතයට එක්රැස් කර ගත හැකි බව දේශනා කොට වදාළහ. බුදුරජාණන්වහන්සේගේ අග්‍ර දායිකා විශාඛාව පතිකුලයට යන දිනයේ ඇයගේ් පියාණන් විසින් ‘පිටත ගිනි ඇතුළට නො ගනුව, ඇතුළත ගිනි පිටට නො දෙව, ඇතුළත ගිනි පුදව‘ යනුවෙන් අවවාද තුනක් දුන් බව සඳහන් වේ. මෙහිදී ද ඇතුළත ගිනි පුදව යනුවෙන් සඳහන් කළේ තමාගේ ස්වාමියා දෙමව්පියන්, කම්කරුවන් සඳහා උපකාර කළයුතු බවයි.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budu[email protected]