UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ පුවත්පත මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත් වූ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් රචනය

බෞද්ධ ආර්ථික පිළිවෙත කුමක් ද?

සැප්: 15 වන පත්‍රය හා සම්බන්ධයි.

1. ”සකුණො මය්හතො නාම - ගිරි සානු දරීචරො
පක්කං පිප්ඵලි මාරුය්හ - මය්හ මයිහාති කන්දති “

කඳුය, පල්ලම් ය, කඳු රැලිය, යන තැන්වල හැසිරෙන්නා වු මය්හක නම් පක්‍ෂියා ඉඳුණු ගෙඩි ඇති පුලිල ගසට නැඟ ‘ මේ මාගේ ගසය . මගේ ගස යැ’යි හඬයි.

2.” තස්සෙවං විලපන්තස්ස - දිජසඞඝා සමාගතො
භුත්වාන පිප්ඵලිං යන්ති - විලපපටතෙවව සො දිජො “

මය්හක පක්‍ෂීයා එසේ හඬද්දීම අනෙක් පක්‍ෂි සමූහයා අවුත් පුලිල ගෙඩි කා යති.

ඒ මය්හක පක්‍ෂියාට ඉතිරි වන්නේ හැඬීම පමණකි.

3. “ එවමෙව ඉධකච්චො - සංඝරිත්වා සමංගතො
නෙවත්තනො න ඤතීනං - යථොධිං පටිපජ්ජති “

එසේම මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොහෝ ධනය රැස් කොට තමන්ගේ ප්‍රයෝජනය නො ගනිති. නෑදැයන්ටද සුදුසු පරිදි සංග්‍රහ නොකෙරෙති.

4.” නසො අච්ඡාදනං භත්තං - නමාලං න විලෙපනං
අනුභොති සකිං කිඤ්චි - න සංගණ්හාති ඤතකේ “

එබඳු ලෝභී පුද්ගලයා තමන්ගේ පමණට ඇන්ද යුතු වස්ත්‍ර ද , ආහාරද , මල් ගඳ විලවුන් ද, කැමති පරිදි එක වරකුදු අනුභව නොකරයි.

5. “ තස්සෙවං විලපන්තස්ස – මය්හං මය්හාති රක්ඛතො
රාජානො අථ වා චොරා – දායදා යෙම අප්පියා
ධනමාදාය ගච්ඡන්ති - විලප්තෙවව සො නරො “

ඒ මෝඩ ලෝභියා “ මාගේ ධනය, මාගේ ධනය “ යැයි හඬා වැළපෙද්දීම නොකා නොබී යුතුකම් ද නොකොට පොදි ගසාගෙන ආරක්‍ෂා කරද්දී රජවරු හෝ සොරු හෝ පැහැර ගනිති. එසේම නොසතුටු වූ උරුමක්කාරයෝද පැහැර ගනිති. ලොහොබියාට සුසුම් හෙළා මැරෙනු විනා අන් කළ හැක්කක් නොවේ . (මය්හක ජාතකය)

මෙවැනි ජාතක දේශනාවක් අද්‍යතන සමාජයට බෙහෙවින්ම වැදගත් වේ. මන්දයත් මුදල් පසුපසම හඹා යන මිනිසා සමාජ සදාචාරය ගැන නො සිතයි. තමා උපයන ධනයෙන් සුගතියක් ද නොකරයි. ඔවුන් කෙතකට බැඳි පඹයන් වැන්නහ. පඹයා කෙතෙහි බැන්ද දින පටන් කිසිම කෑමක් බීමක් නැතිව අව්වය, වැස්සය, පින්නය, රැය , දවාලය ආදී කිසිවක් නොබලා දිරාපත් වන තුරුම කෙත රැක දෙයි. අපමණ කරදර හිරිහැර වින්දා හැර කිසිම ඵලයක් භුක්ති නොවිඳී. ඵහි අනුභව අයත් කරගන්නෝ අනුන්මය . ඇතැම් මෝඩ ලෝභියෝ ද අව් , වැසි, පිනි, රෑ, දවල්, නොබලා මහත් ආයාසයෙන් ධන සපයති. එහෙත් තමාගේ ප්‍රයෝජනයට ද නො ගනිති. තම දු දරුවන්ගේ කටයුතු සඳහා හෝ යුතුකම් පිණිස හෝ නොයොදති. නිකරුණේ පොදි ගසාගෙන සිටිති. නොකිය හැකි තරම් කරදර විඳිනවා හැර ඔහුට අන් ඵලයක් නැත. පසෙක සිටින්නෝ කිසිඳු වෙහෙසකින් තොරව එහි ඵල අනුභව කෙරෙති. මෙබඳු ධනවත්හු පඹයන් වැන්නහ. මෙවැනි පඹයෝ අද්‍යතනයේද අප රට තුළ දුලබ නොවෙති. කෝසල සංයුක්තයේ එන ‘නුවණැති සත් පුරුෂයාගේ ධනය ‘ වත්මන් සමාජයට මිණි පහනක් වැන්න.

ධෛය¸යෙන් යුක්ත වූ නුවණැති තැනැත්තේ ධාර්මිකව ධනය ලබා තෙමේද නිසි පමණට ප්‍රයෝජනය ගනී. දන්දීම් ආදි පින්කම් හා ලෝකචාරිත්‍රාදී යුතුකම් ද කෙරෙයි. උතුම් ගුණැති හෙතෙමේ තම නෑ සමූහයා ද මැනවින් පෝෂනය කොට මෙලොවද නින්දා නොලබා උගත් සත් පුරුෂ ලෝකයාගේ ප්‍රශංසාද ලබා පරලොව සුගතියට ද පැමිණෙයි.

“ධීරො ච විඤ්ඤු අධිගම්ම භොගෙ
සො භුඤ්ජති කිච්චකරොච හොති
සො ඤතාසංඝං නිසභො භරිත්වා
අනින්දිතො සග්ගමුපෙති ඨානං “

(කෝසල සංයුක්තය )

දීඝ නිකායේ සිඟාල සූත්‍රයේ සඳහන් පරිදි ධාර්මිකව වස්තු සැපයීමෙනි. සමර්ථ වූ ගිහියන් විසින් සපයා ගත් ධනය කොටස් හතරකට බෙදිය යුතු වුවද නූතන ඇතැම් පිරිස් මේ තත්ත්වය නිසි ආකාරව අවබෝධ කොට ගෙන නැති බව පෙනේ. ධනය වියදම් කළ යුතු ආකාරය දැක්වෙන සූත්‍ර දේශනාව සිටු පුත්‍රයෙකුට දේශනා කරන ලද්දක් බැවින් සිටුවරුන් වැනි විශාල ව්‍යාපාරයන්හි යෙදී සිටින ධනවතුන් විසින් පිළිපැදිය යුතු ක්‍රමය මෙය වුවද හැමදෙනා විසින් ඉගෙන ගත යුතු එක් කරුණක් තිබේ. එනම් සුළුහෝ විශාල හෝ කවර පමණක ධනයක් සපයන්නකු විසින් වුව ද විපත්තීන්හි දී ගැනීමට සුළු කොටසක්වත් තැන්පත් කර තැබිය යුතු බවයි. දිනපතා පඩි ලබන කුලීකරුවෙකු වුවද විපත්තීන්හිදි ගැනීමට ද සුළු කොටසක් එනම්, අඩුම ගණනේ රුපියල් පහක්වත් අරමුදලක් වශයෙන් වෙන් කරවා තැබීම නොවරදවාම කළ යුතුය. අංගුත්තර නිකායේ “ චතුක්ක නිපාතයේ “ ධනය නිවැරදි ලෙස මෙහෙයවන පුද්ගලයා සන්තුෂ්ටියට පත් වන අයුරු ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ.

“භුත්තා භොගා භතා භච්ඡා විතිණ්ණා ආපදාසු මේ, උද්ධග්ගා දක්ඛිණා දින්නා අථො පඤ්ච බලි කතා, උපට්ඨිතා, සීලවන්තො , සඤ්ඤතා බ්‍රහ්මචාරයො “

(අංගුත්තර චතුක්ක නිපාතය )

උක්ත ගාථා ධර්මයෙන් ඉස්මතු වන කරුණු කිහිපයක් මෙහි දී විශ්ලේෂණය කර ගත හැක.

1. භුත්තා භොගා

භෝගයෝ අනුභව කරන ලද්දාහුය. ඇතැම්හු ධනය සපයා තමා ද භුක්ති නො විඳිති. ප්‍රයෝජනයකින් තොරව පොදි ගසාගෙන සිටිති. එය මනුෂ්‍යයනට , විශේෂයෙන් බෞද්ධයනට නොවටී. එහෙයින් සෑම බෞද්ධයෙකු විසින් ම තමන් ධාර්මිකව සපයා ගත් වස්තුව තමන්ගේ ප්‍රමාණයට කෑම් බීම්, ඇඳුම් , පැළඳුම් ගමන් බිමන් ආදියෙහි යෙදීමෙන් හොඳට අනුභව කළා යැයි සතුටු විය යුතුය.

2. භතා භච්ඡා

පෝෂණය කටයුත්තෝ පෝෂණය කරන ලද්දාහුය. හැම දෙනා විසින් පෝෂණය කොට යුතු පිරිසක් වෙති. එසේ පෝෂණය කටයුතු දෙමව්පිය අඹුදරු, සේවකාදී පිරිස නිසි පමණට පෝෂණය කිරීම සඳහා ද මගේ වස්තුව හොඳ හැටි යෙදුවා යැයි ද සතුටු විය හැකිය.

3. විතිණ්ණා ආපදාසු මෙ

මාග් විපත්තී හු ද, විශේෂයෙන් දුරු කරන ලද්දාහු ය. මනුෂ්‍යයකුට ලෙඩ දුක්, නෑයන්ගේ හා මිතුරන්ගේ විපත්ති ආදි නොයෙක් කරදර හිරිහැර පැමිණෙයි. ඒවා ස්වභාවධර්මයෝය. ඇතැම් නුවණ නැති පුද්ගලයෝ ධනය තිබියදීත් එබඳු අවස්ථාවන්හි දි නිසි පමණට වියදම් නො කිරීමෙන් මහත් කරදරයනට මුහුණපාති, එයද බෞද්ධයිනට නොවටිනා හෙයින් තමන් ගේ ධනයෙන් ඒ ඒ අවස්ථාවේ පැමිණි විපත්තී හු දුරු කරන ලද්දාහයි ද සතුටු විය යුතුය.

4. උද්ධග්ගා දක්ඛිණා දින්නා

මතුයෙහි විපාක දෙන්නා වූ සංඝදාන ද දෙන ලද්දේය. ගිය ජාතියෙහි දුක් නිසා මේ ජාතියෙහි වස්තු ලැබෙයි. මතු ජාතිවලදී විපාක ලැබීමට මේ ජාතියෙහි දිය යුතුය. එහෙයින් මතු ජාතිවල දී සැප ලබන්නට කැමැත්තවුන් විසින් තම ධනයෙන් දීමට ද කොටසක් වෙන් කළ යුතුය.

5. පඤ්චබලි කතා

යුතුකම් වශයෙන් කටයුතු පූජා පස ද කරන ලද්දේය. යුතුකම නම් යෙදුණු - බැදුණු ක්‍රියාවයි. නොකරම බැරි ක්‍රියාවයි. එසේ කටයුතු යුතුකම් රැසක් වුවත් හැම ගිහියෙකු විසින්ම ප්‍රධාන වශයෙන් කටයුතු පූජා, පිදීම් මතු දැක් වූ අයුරින් පසක් වේ. නෑයන්ට සංග්‍රහ කිරීම, ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම, මිය ගිය නෑ හිත මිතුරන්ට පිංදීම, දෙවියන්ට පිං දීම හා රජයට ගෙවිය යුතු බදු මිල ආදිය නිසි පරිදි ගෙවීම යන මේ යුතුකම් පස වේ.

6. උපට්ඨිතා සීලවන්තො සඤ්ඤතා බ්‍රහ්මචාරයො

සිත , කය, වචනය යන තුන් දොර සංවර කරගත්, බ්‍රහ්මචාරී වූ සිල්වත්හු උපස්ථාන කරන ලද්දාහු ය. භික්‍ෂූහු ධන සැපයීමක් නො කරන බ්‍රහ්මචාරීව සිල්වත්ව සිට මහ ජනයාට ආදර්ශයෙන් හා උපදේශයෙන් සුගති මාර්ගය පෙන්වන පිරිසකි. එබඳු භීක්‍ෂූන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන මෙයින් උපස්ථාන කිරීම ද ගිහියන් ධනයෙන් කටයුතු කිරීම තව ද යුතුකමකි.

ගිහිගෙයි වසන නුවණැතියෙන් යම් ප්‍රයෝජනයක් සලකා ගෙන වස්තුව බලාපොරොත්තු වේ ද යට කී ලෙස වස්තුව වියදම් කරන තැනැත්තේ,

“ වස්තුවෙන් ලබා ගත යුතු ප්‍රයෝජන මා ලැබුවේය , පසුව සැනසිල්ලට හේතු වන කුසල් ද රැස්කර ගත්තේ ය” යි සතුටු වෙයි.

මෙසේ කටයුතු කරන නුවණැත්තේ පන්සිල් ද මැනවින් රැක මෙලොව ද සතුටු ව පරලොව ස්වර්ගයෙහි විපාක සුවයෙන් ද සතුටු වේ. මේ අයුරින් බුදු දහමෙයි දක්වා ඇති ආර්ථික ප්‍රතිපදාවෙන් එදාට පමණක් නොව අදත්‍යන සමාජයටද මා හැඟි බව විද්‍යමාන වේ. ලැබු මේ උතුම් මනුසත් දිවියෙහි ජීවන යාත්‍රාව පැදවීමේ දී බෞද්ධ ආර්ථික පිළිවෙත අනුව ගමන් කරමින් තමා ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් දෙලොව දියුණුව අත්කර ගත යුතු අතර එමඟින් සමාජ සංවර්ධනයට ද දායකත්වය සැලසිය යුතුය.

“ පිරි මහ කුළුණු ගුණයෙන් නව අරහාදී
බුදු හිමි සරණ යන්නෙමි නුවණැස පෑදී
නිවනින් සැනසෙන්නේ මෙම අත් භව යේදී
වීරිය වඩන්නෙමි අකුසල් වෙත නෑදී “

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]