UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් දෙසීමේ සේඛියා

සිය මෑණියන් කෙරෙන් විවරණ ලැබ නන්විධ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පුරා සා අවුරුදු දුෂ්කර ක්‍රියාවකින්ද පසු කාමසුඛල්ලිකානුයෝගී හා අත්තකිලමතානු යෝගයන් කෙරෙන් බැහැරව මැදුම් පිළිවෙතට එළැඹ සිවුසස් හා අරි අටඟිමඟ ස්වයං අවබෝධයෙන් අනතුරුව “ සම්මා සම්බුදු “ පදවි ලැබ තිලෝවැසි සියල් සතුන් දහම් දැනුමෙන් පෝෂණය කොට අමා මහ නිවන් මඟට යොමු කරවීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරමින් සිටියදී දේශිත අරුත්බර දහම් දෙසුම් අවධානයට අධ්‍යයනයට හා ආදර්ශයට ගෙන සියල් සතුන් බොදු දහමින් දැනුවත් කිරීම හා නිවන් මඟට යොමු කරවීමම පරමාර්ථ කොටගෙන අපේ බොදු සඟ පරපුර විසින් බුදුන් වහන්සේ කාලයේ සිට අද දක්වාත් මතුවටත් අප හමුවේ දේශනා කරනු ලබන බොදු දහමින් සරු අර්ථවත් දෙසුම් “ දහම් දෙසුම් “ නම් වන්නේය.

බොදු සඟ පරපුර විසින් බුදුන් වහන්සේ කාලයේ සිට අද දක්වාත් මතුවටත් දහම් දෙසීමේදී භාවිත “ දහම් දෙසීමේ සේඛියා “ නොහොත් සිකපද පහත සඳහන් පරිදි වේ.

කුඩයක් ඉහළාගෙන සිටින හොඳ ශරීර සුවතාවයකින් පසුවන තැනැත්තකුට හෝ කුඩ ඉහළාගෙන සිටින නීරෝගීව පසුවන ශ්‍රාවකයන් සමූහයක් හෝ ඉදිරියේ බණ දහම් දේශනා කිරීම හෝ පිරිතක් හෝ පිරිත් හෝ සජ්ඣායනා කිරීම ඇවැතක් සිදුවන කාර්යයක් හා ලෝකයා ඉදිරියේ බෙහෙවින් අශෝභන දසුනක් මවන්නක් බැවින් එසේ කිරීමෙන් අනිවාර්යයෙන්ම වැළකී සිටිය යුතුය.

කුඩය හෝ කුඩ හකුළාගෙන අතෙහි රඳවා නොගෙන කුඩය හෝ කුඩ හෝ පසෙක තබා සිටින ශ්‍රාවකයෙකුට හෝ ශ්‍රාවකයන් සමූහයකට බණ දහම් දෙසීම හා පිරිත් සජ්ඣායනා කිරීම වරද සහගත නොවේ.

2. සතර රියනක් නොහොත් අඩි හයක් දිග පොල්ලක් යෂ්ටියක් හෝ දඬු කඩක් ඇතැතිව සිටින නීරෝගී ශ්‍රාවයෙකු හෝ ශ්‍රාවකයන් සමූහයක් ඉදිරියේ බණ දහම් දේශනා කිරීම හා පිරිත් සජ්ජායනා කිරීම පෙර සදහන් කළ ‘සේඛියාවේ ‘ මෙන්ම අශෝභන දසුනක් මවන්නක් හා ඇවැතක් සිදුවන වරද සහගත කාර්යයක් බැවින් අනිවාර්යයෙන්ම එසේ කිරීමෙන් වැළකී සිටිය යුතුය.

ශ්‍රාවකයින් තමන් අත දරන කිනම් ආකාර හෝ දඬු කඩක් පසෙක තබා දේශක ස්වාමීන් වහන්සේ ඉදිරියේ පැදුරක් වැනි බිම් මට්ටමට අයත් අසුනක එකත්පස්ව වාඩිවී සිටී නම් එකී ආකාර ශ්‍රාවකයන් ඉදිරියේ බණ දහම් දෙසීම හා පිරිත් සජ්ජායනා කිරීම වරද සහගත නොවේ.

3. කඩුවක් ඇතැතිව සිටින නිරෝගී ශ්‍රාවකයකු හෝ කඩු අතැතිව පසුවන නීරෝගී ශ්‍රාවකයන් සමූහයක ඉදිරියේදී බණ දහම් දෙසීම පිරිත් සජ්ඣායනා කිරීම හා විවිධ සදහම් අවබෝධ කරවීම බෙහෙවින් වරද සහගත කාර්යයක් හා ඇවැතක් සිදුවන හේතුවකි.

එහෙත් කඩුවක් පැළැඳ සිටීමේ නිල ලත් රජකු සෙනෙවියකු සේනාපතියකු හෝ සේනාධිපතියකු සිය නිල ඇඳුමට අයත් නිල ලාංඡනයක් වශයෙන් කඩුව පැළඳ සිටී නම් ඔහු හෝ ඔවුන් ඉදිරියේ දහම් දෙසීම සහ පිරිත් සජ්ඣායනා කිරීම වරද සහගත නොවේ.

4. කෙතරම් නීරෝගී පුද්ගලයකු හෝ පිරිසක් හෝ වුවද ඔහු හෝ ඔවුන් දුනු, හී, කඩු හා තුවක්කු ආදි අවි ආයුධ අතදරා සිටී නම් ඔහු හෝ ඔවුන් ඉදිරියේද බණ දහම් දෙසීම ආවැතක් සිදුවන අනිවාර්යෙන්ම සිදු නොකළ යුතු කාර්යයකි.

පෙරකී අවි ආයුධ පසෙක තබා දේශකයාණන් වහන්සේ ඉදිරියේ බිම් මට්ටමේ ආසනයක එකත්පස්ව වාඩි වී සිටී නම් ඔවුන් හමුවේ බණ දහම් දේශනා කිරීම සහ පිරිත් සජ්ජායනා කිරීම වරද සහගත නොවේ.

5. ශ්‍රාවකයන් කෙතරම් නීරෝගී පිරිසක් වුවද ඔවුන් මිරිවැඩි හෝ පාදුකා හෝ පයලා සිටී නම් එවැනි ශ්‍රාවකයන් ඉදිරියේද දහම් දෙසීමෙන් වැළකී සිටිය යුත්තේ පාවහන් පයලා සිටින අය ඉදිරියේ බණ දහම් දෙසීම ඇවැතක් සිදුවන හේතුවක් නිසාය.

(“පාදුකා “ යනු මුස්ලිම් ජාතිකයන් සිය නිවසේදී පයලා සිටින සෙරෙප්පු විශේෂයකි)

6. ඇවැතක් සිදුවන බැවින් මොනයම් ආකාර ස්වරූපයකින් යුත් පාවහන් පයලා සිටින අයවළුන් සිටි නම් ඔවුන් ඉදිරියේ මොන හේතුවක් නිසාවත් දහම් දෙසිය යුතු නොවේ.

7. රියක නැගී සිටින නිරෝගී සුවයෙන් පසුවන අයකුට හෝ පිරිසකට දහම් දෙසීමද නොමනා කාර්යයක් හා ඇවැතක් සිදුවන්නකි. දේශකයන් වහන්සේද එම රිය තුළම නැගී සිටී නම් රිය තුළ පසුවන සෙසු අය හමුවේ දහම් දෙසීමේ වරදක් නැත.

8. නීරෝගී පුද්ගලයකු බිම වැතිර සිටී නම් ඔහු ඉදිරියේද දහම් දෙසීමෙන් අනිවාර්යයෙන්ම වැළකී සිටිය යුත්තේ එසේ කිරීමද ඇවැතක් සිදුවන්නක් බැවිනි.

9. පල්ලත්ථිකයෙන් පසුවන නීරෝගී පුද්ගලයකු හෝ පිරිසකට දහම් දෙසීමෙන් වැළකී සිටිය යුත්තේ ඇවැතක් සිදුවන බැවිනි.

පල්ලත්ථිකයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ හිඳීමේ දෙආකාර සිරුරු ස්වභාවයන් දෙකකි.

1. හස්ථ පල්ලත්ථිකය

මිටි අසුනක හෝ බිම හෝ දෙදණ කෙළින්කර වාඩිවී දණ දෙක දෙපැත්තට නොයනු පිණිස පිටතින් අත්දෙක යවා එකට බැඳ ගැනීම “ හස්ථපල්ලත්ථිකය “ නම්වේ.

2. දුස්ස පල්ලÀථිකය

බිම හෝ මිටි අසුනක හෝ දණහිස් උඩු කුරුකොට කතිර හැඩයට පාදෙක තබා දෙපැත්තට නොයනු පිණිස තමාගේ ඇඳුමෙන් තද කර ගැනීම “ දුස්ස පල්ලත්ථිකය “ නම් වේ. මෙම අවස්ථාවේ තමා ඇඳ සිටින ඇඳුම තරමක් පැරැණි දිරා ගිය ඇඳුමක් නම් පුපුරා ඉරී පැළීයාමට ඇති ඉඩකඩ බොහෝය.

10. නීරෝගී සුවයෙන් පසුවන හිසකෙස් කෙසේවත් නොපෙනෙන පරිදි ජටාවක් බැඳි හෝ හිස් වැස්මක් පැළඳි අයකුට හෝ පිරිසකට දහම් දෙසීම ඇවැතක් සිදුවන්නකි.

ශීර්ෂාවරණයක් වශයෙන් නොව හිස සැරසීමක් වශයෙන් කෙස් සියල්ල නොවැසෙන ලෙස බඳනා ලද ජටා ඇතියවුන් දහම් දෙසීම ඇවැතක් නොවේ. බුරුම ජාතික මිනිසුන්ගේ ජටාව එබන්දකි. (වත්මන් මියන්මාර ජාතිකයෝ යනු බුරුම ජාතිකයෝය)

11. නීරෝගී සුවයෙන් පසුවන හිස වසා පොරවා සිටින අයවළුන් නොහොත් ශ්‍රාවකයන් හමුවේද බණ දහම් දෙසීමෙන් වැළකි සිටීම අනිවාර්යය වේ.

12. අසුන් මත වාඩිවී සිටින නීරෝගී ශ්‍රාවකයන් පිරිසක් හමුවේ දේශකයාණන් වහන්සේ බිම වැඩ සිටිමින් දහම් දෙසීමද අනිවාර්යයෙන්ම නොකළ යුත්තකි.

13. හොඳ සිරුරු සුවයෙන් යුත් නොහොත් නීරෝගී ශ්‍රාවකයන් පිරිසක් උස් අසුන් අරා සිටී නම් දේශකයන් වහන්සේ මිටි අසුනක වැඩ සිටිමින් ඔවුන් හමුවේද බණ දහම් දෙසීම අනිවාර්යයෙන්ම නොකළ යුතුය.

14. නීරෝගී පිරිසක් සුව පහසු අසුන් මත සිටී නම් දේශකයන් වහන්සේ හිටි පියවර වැඩ සිටිමින් බණ දහම් දේශනා කිරීමද අනිවාර්යයෙන්ම නොකළ යුත්තේ ඇවැතක් සිදුවන බැවිනි.

15. නීරෝගී පිරිසක් ඉදිරිපසින් ගමනේ යෙදෙන අවස්ථාවක දේශකයන් වහන්සේ ඔවුන් පසුපස යමින් බණ දහම් දේශනා කිරීමද අනිවාර්යයෙන්ම නොකළ යුතුමය.

16. හොඳ සිරුරු සුවයෙන් යුත් පිරිසක් නියමිත මාර්ගයේ ගමනේ යෙදෙමින් සිටින විට දේශකයාණන් වහන්සේ අතුරු මඟක ගමනේ යෙදෙමින් බණ දහම් දෙසීමද නොකළ යුතුමය.

එසේ කිරීම ඇවැතක් සිදුවන හා ලෝකයා ඉදිරියේ ඉතාමත් අශෝභන දසුනක් මවන්නක්ද වේ.

පෙර සඳහන් දහම් දෙසීමේ සේඛියා හෙවත් සිකපද පිළිබඳවද දැනුවත් වී සුදු ඇඳුමකින් සැරැසී හිස්වැසුම් හා පාවහන් කෙරෙන් බැහැරව පැදුරක් වැනි බිම එළා වාඩි විය හැකි අසුනක එකත්පස්ව වාඩිවී භික්‍ෂූන් වහන්සේ විසින් බොදුදහම තුළ පවතින විවිධ දහම් විෂයානුබද්ධව ගෙන දේශනා කරනු ලබන බොදු දහමින් සරු අරුත්බර දහම් දෙසුම් චිත්ත ඒකාග්‍රතාවයෙන් යුතුව අවධානයෙන් හා සාවධානයෙන් යුතුව ශ්‍රවණය කොට දේශිත දහම් තුළ පවතින අරුත් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම හා ප්‍රායෝගික ගිහි ජීවිතය තුළ ඒ අනුව කටයුතු කිරීමට හා හැසිරීමට උත්සාහ කිරීම සසර ජය ගැනීමේ මංපෙත් විවර කරගැනීමක් වනු ඇත.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියො දපනං
ඒතං බුද්ධාන සාසනං “

මීරිගම ශාසන වර්ධන පිරිවෙන්හි ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ ආචාර්ය සීතාඑළියේ චන්දානන්ද හිමියන්ගේ පෝදා දහම් දෙසුමක් ඇසුරෙනි.

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]