UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා පේෂකාර පේත වත්ථුව - පේත වත්ථු කතා මාලාව - 08

එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයෙහි බොහෝ භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙන් සුදුසු කමටහන් ලබා ගෙන වාසයට සුදුසු ඈත ගම්බලා කණ්ඩායම් වශයෙන් වස් විසීමට යාම පුරුද්දක් වූවෝ ය.

මෙසේ දොළොස් නමක් වහන්සේ, වස් විසීමට කාලය ළං වූ හෙයින් භාග්‍යවතුන්, බුදුරජාණන් වහන්සේ හමුයෙහි කමටහන් ගෙන ජල පහසුකම්, සිසිල් සෙවන හා ගොදුරු ගම් සමීපයෙහි ඇති තැනක් සොයමින් ඉදිරියට ගමන් කළෝ ය. මෙවන් තැනක් හමුවී ය. ඒ රාත්‍රීය එහි ගත කොට පසුදා පිණ්ඩපාතය සඳහා අසළ ගමට වැඩියහ. මෙය රෙදි වියන ඇත්තන් සිටි පේෂකාර ගමකි. මෙය පවුල් එකොළොස් දෙනකුගෙන් යුත් කුඩා පෙදෙසෙකි. පිඬු සිඟා වැඩි භික්‍ෂූන් වහන්සේ දුටු මේ ගම්වැස්සෝ මහත් සොම්නසින් යුතුව තම තමන්ගේ ගෙට වඩම්මවා ගෙන ගොස් දන් දුන්නෝ ය. වළඳවා අවසන ඔබ වහන්සේ මේ කොහි වඩින්නේ දැයි අසා දැන ආරාධනා කොට එගම් සමීපයෙහිම ඇති අරණ්‍ය පෙදෙසෙහි කුටි සාදා වැසිකිළි, කැසිකිළි ඉක්මනින් සාදා දී එහිම සතුටින් නවතා ගත්හ. මේ භික්‍ෂූන් වහන්සේ එහිම වස්වූසූ හ.

මෙහි නායක පේෂකරු දෙනම වහන්සේගේ ද අනෙක් අය එක් එක් භික්‍ෂූන් වහන්සේ ගේ ද කැපකරු දායකයෝ ලෙස මෙම වස් තුන් මාසය උපස්ථානය කළෝ ය. මෙහි ජ්‍යෙෂ්ඨ පෙහෙකරුගේ භාර්යා තොමෝ මිථ්‍යා දෘෂ්ටික වූ හෙයින් ශ්‍රද්ධා නැත්තියෙකි. එහෙයින්ම තණ්හා ඇත්තී ය. අප්‍රසන්න ය. ඕ තොමේ හට මේ ගති පිහිටි හෙයින් සකස් කොට දන්දීම ආදිය නොකළා ය. උපස්ථානයන්හි ගරු සරුවක් නැත. මේ ගැන කළ කිරුණු ජ්‍යෙෂ්ඨ පෙහෙකරු ඇයගේ ම බාල සොහොයුරිය ගෙට කැන්දා ගෙනවිත් ගෙයි ආධිපතිත්වය භාර කළේ ය. මැය ශ්‍රද්ධා ඇත්තී සකස් කොට මනාව භික්‍ෂු උපස්ථාන කළා ය. ස්වාමියා ගේ සිත් දිනා ගත්තී ය. පසුව තුන්මස අවසන වස් පැවැරූ ඒ භික්‍ෂූන් වහන්සේට එක් එක් (වැසි) සළුව බැගින් ද පූජා කළා ය. මෙහිදී ද මසුරු සිත් ඇති පළමු බිරිය තම හිමියාට මහත්සේ පරිභව කළා ය. නුඹ විසින් මේ භික්‍ෂූන්ට දුන් ආහාරපාන ආදී යම් දානයක් වේද ඒ දානය “නුඹට පරලොව දී අශුචි ව ද, මුත්‍රා, ලේ - සැරව ද වේවා යි සාප කළා ය. දුන් යම් වස්ත්‍රයක් වේ ද ඒවා දිලිසෙන යකඩ වස්ත්‍ර ආදිය වේවා යි ද කීවා ය.

මේ ජ්‍යෙෂ්ඨ පේෂකරු කාලයාගේ ඇවෑමෙන් කලුරිය කොට වින්ධ්‍යා නම් වූ පර්වත භූමියේ ආනුභාව ඇති රුක් දෙවියෙක් ව උපන්නේ ය. ඒ මසුරු බිරිය කලුරිය කොට රුක් දෙවියා වසන තැනට නුදුරුව පේතියක් ව උපන්නී ය. මේ පේතිය නග්න ය. දුර්වර්ණ ය. බඩ ගින්නෙන් හා පිපාසයෙන් නිතර පීඩිත වූවා ය.

මෙසේ වූ ඇය රුක් දෙවියන් සමීපයට ගියේ, “ස්වාමීනී, මම සා පිපාසාවෙන් දැඩිව පෙළෙන්නෙමිය. මම නග්න වූ යෙමි. මට ආහාර පාන, වස්ත්‍ර දුන මැනවැ’යි බැගෑපත් වී සිටියා ය. එවිට ඒ දෙවිතෙම ඇයට දිව්‍ය ආහාරපාන දුන්නේ ය. පේතිය ඒ දිව බොජුන් අතට ගත් සැනෙන් ඒවා අසූචි හා ලේ සැරව මුත්‍රා බවට පත් විය. දුන් වස්ත්‍රය ද දිලිසෙන යකඩ පටයක් බවට පත් විය.

එකල්හි වස් පවරා බුදුරජාණන් වහන්සේ වැඳීමට යන එක් භික්‍ෂූන් වහන්සේ නමක් මහත් ගැල් සමූහයක් සමග වින්ධ්‍යා පර්වත අඩවියට පැමිණි සේක. රාත්‍රියෙහි ගමන් යන මේ ගැල්කරුවෝ දහවල්හි වනයෙහි සිහිල් සෙවනෙහි විඩා සංසිඳුවීමට පැන් පහස ඇති එක් තැනක් දැක ගොනුන් මුදා හැර ගිමන් හැරියෝ ය. ගමන් වෙහෙස හා විවේකය කැමැති පළමු කී භික්‍ෂූන් වහන්සේ ද මඳක් ඈතින් ඇති ගස් සෙවණක සඟල සිවුර නවා එළා සැතපුණ සේක. තෙහෙට්ටුව නිසා ක්ලාන්ත ගති ඇත්තේ මුන් වහන්සේ තද නින්දට වැටුනහ. පසුව අවදිව බලන්නේ ගැල් කරුවෝ පිටත්ව ගොස් ඇති බව දැනුණි. ගැල් මඟ සොයා ගත නොහැක්කේ වැරැදි මඟක යන්නේ ඒ රුක් දෙවියා වසන තැනට පැමිණියේ ය. එකල්හි මේ දෙව්පුත් තෙමේ මිනිස් වෙසින් ළඟට පැමිණ තොරතුරු විමසා පයගානා අදුන් ආදිය දී ළංව සිටියේ ය. මෙතැනට නැවැත පැමිණි පේතිය තම දුක කියා ඉල්ලීම් කළා ය. මේවරද ඒ දෙව්පුත් දිව්‍ය ආහාර පාන, වස්ත්‍ර දුන් මුත් පළමු පරිදිම අශුචි හා ලේ සැරව, මුත්‍ර බවට විය. මෙය දුටු භික්‍ෂූන් වහන්සේ සංවේගය පහළකොට දෙවියන්ගෙන් මේ ගැන විමසූ සේක. මේ පේත ස්ත්‍රීය අශුචි ද මුත්‍ර ද, ලේ හා සැරව ද අනුභව කරයි. හැමකල්හිම මෙසේ වන්නී ද? මෙය පෙර කිනම් කර්මයක විපාක ද?

“මැයට දුන් යහපත් වූ මොළොක් වූ පිරිසුදු වූ සුවපහසු අලුත් වස්ත්‍ර ලෝහ වස්ත්‍ර සමාන ය. මේ ස්ත්‍රිය පෙර කවර කර්මයක් කළා ද?”

දෙවියෝ,

“වහන්ස, මෝ මාගේ පෙර බිරිය වූවා ය. ඕ තොමෝ මදක්වත් නොදෙන සුළු ය. මසුරු ය. තද මසුරු වූවා ය. එවකට මහණ බමුණන්ට දන්දෙන මට ආක්‍රෝෂ, පරිභව කළා ය.”

“(එදා මා) දන් දෙද්දී මේ දානය තොපට පරලොව දී අශුචිද, මුත්‍ර ද, රුධිරද, සැරව ද, වේවා! (වස්ත්‍ර දන් දෙද්දී) මේ වස්ත්‍ර තොපට ලෝභ වස්ත්‍ර වේවායි. තෙපි සැමදා ම අශුචි අනුභව කරව.”

(පරිභුඤජ ත්වං අසුචිං සබ්බකාලං) යනුවෙන් මෙබඳු වූ වාග් දුශ්චරිත (පරුෂ වචන) කොට මේ පේතලෝකයට පැමිණ අශුචි අනුභව කරයි.” කීවේ ය. මෙසේ ඒ රුක් දෙවියෝ ඇය පෙර කරන ලද කර්මය කියා නැවැත වහන්ස, මෑ පේත ලෝකයෙන් මුදාලීමට යම් උපායක් වේ දැයි ඇසීය.

උන්වහන්සේ ඇතැයි කීහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේට හෝ ශ්‍රාවක ආර්ය මහා සංඝයාට හෝ එක් භික්‍ෂුවකට හෝ දානයක් දී මැයට පින් අනුමෝදන් කරවිය හැක. එකල්හි ඇගේ මේ පේත දුකින් මිදීම වන්නේ යයි පැවසූහ. එය අසා දේව පුත්‍රයා එකෙනෙහිම ඒ භික්‍ෂූන් වහන්සේට දිව්‍යමය වූ ප්‍රණීත ආහාර පාන දන් දී ලබාගත් පින් පේතියට අනුමෝදන කළහ. පේතිය ද දිව්‍ය ආහාරපාන ලද්දී ආහාරයෙන් සතුටට පත් වූවා ය.

දිව්‍ය පුත්‍රයා නැවත දිව්‍ය සළු දෙකක් ඒ භික්‍ෂූන් වහන්සේගේ අතට දී බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ සිහිකොට පූජා කළේ ය. ඒ දක්‍ෂිණාවෙන් ලද පින් ද දෙවියන් පේතියට අනුමෝදන් කළේ ඕ තොමෝ දිව්‍ය වස්ත්‍ර හැඳි දිව්‍යලංකාරයෙන් සැරසුණේ කාම සම්පත්තීන්ගෙන් සමෘද්ධ දෙවඟනක් හා සමාන වූහ.

පසුව, ඒ භික්‍ෂූන් වහන්සේ ද දිව්‍ය පුත්‍රයාගේ සෘද්ධි බලයෙන් සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණියේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳ වස්ත්‍ර යුගල පූජා කොට සියලු පුවත් සැළ කළහ. බුදුරජාණන් වහන්සේ ද මේ කතාව අර්ථෝත්පත්ති කොට ගළපා පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කොට බුද්ධ භාෂිතයක් බවට පත් කළ සේක. මේ ධර්ම දේශනාව බොහෝ ජනයාට වැඩදායක වූවෝ ය. මෙම පේත කතා වත්ථුවේ එන පද කීපයක් පිළිබඳ ධර්මානුකූල කෙටි පැහැදිලි කිරීමක් පහත සඳහන් වේ.

ශ්‍රද්ධාවෙන් දීම - ශ්‍රද්ධාව නම් තුනුරුවන් ගැන විශ්වාසය තබා එම විශ්වාසය සත්‍ය දැයි විමසීමෙන් තහවුරු වීම නිසා ඇතිවන පැහැදීමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකාය මුල් සූත්‍ර පනහට ඇතුළත් 1.5.7 “විමංසක සූත්‍රයේ” දී තමන් වහන්සේ සම්බුද්ධ වේද? හෝ නොවේද? දැන ගැනීම සඳහා හාත්පසින්ම පරීක්‍ෂා (සමනෙනසනා) කළ යුතු බව ශ්‍රාවකයන්ට වදාළ සේක. එසේම ධර්ම රත්නය හා සංඝ රත්නය පිළිබඳව ද විමසන ලෙස අනුශාසනා කළ සේක. ධර්මයේ සිවුවන ගුණය “එහි පස්සිකෝ” යනුවෙන් සඳහන් වේ. මෙහි තේරුම වනුයේ එව, බලව යනුවෙනි. තථාගතයන් වහන්සේගේ දහම විමසා බලා පිළිගැනීමට එයින් ආරාධනා කෙරෙයි. සඟ ගුණ අනුශාසනාවේ දී “දක්‍ඛිණෙය්‍යො” වශයෙන් දක්වා ඇත. නිවන් අපේක්‍ෂාවෙන් දන්දිය හැක්කේ සංඝරත්නයට බව මෙයින් පැහැදිලි කෙරේ. මෙසේ තුනුරුවන් කෙරෙහි පැහැදී දන්දීම ශ්‍රද්ධාවෙන් දීම නම් වේ. ශ්‍රද්ධාව චල හා අචල ශ්‍රද්ධා වශයෙන් දෙඅකාර වෙති. මෙයින් නොසෙල්වන අචල ශ්‍රද්ධාව ඇතිවනුයේ සෝතාපන්න මාර්ග ඥානයේදී ය.

සකස්කොට දීම – හැමවිටම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ හට දන් දිය යුත්තේ සකස් කොටම ය. සකස්කොට දීම යනු දානයට ආරාධනා කළ තන්හි සිට භුක්තානුමෝදනා අවස්ථාව දක්වා වූ සියලු කාර්යයන්ම මනා පැහැදීමකින් යුතුව නිම කොටම පිළිගැන්වීමය. පිළිගන්වනු ලබන සියලු දාන වස්තු පහසුවෙන් පරිභෝග කළ හැකි වන පරිදි පිළියෙළ කොටම දිය යුතු ය.මිථ්‍යාදෘෂ්ටිකවීම – බුදුදහමේ සඳහන් වන පරිදි බලවත්ම අකුසල ධර්මය මිථ්‍යාදෘෂ්ටියයි. මේ තුළ ලෝභ, ද්වේෂ, මෝහ යන තෙවැදෑරුම් අකුසල් මූලයෝම තිබීම එයට හේතුවේ. මෙය කොතරම් බලවත් වේදයත්, මව මැරීම, පියා මැරීම රහතන් වහන්සේ මැරීම.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීම හා සංඝ භේදය වැනි පංචානන්තර්ය කර්මයන්ට ද (අනතුරු භවයේ නොපිරිහෙළාම විපාකදෙන පව් ය) වඩා බලවත් වේ. මේ පඤ්ච පාපයෝ විපාක වශයෙන් විඳ ක්‍ෂය වී යෙයි. ආර්යපුත්‍ර මුගලන් මහරහතන් වහන්සේ හා දෙව්දත් තෙරුන් වහන්සේ උදාහරණ වශයෙන් දැක්විය හැක. එහෙත් මිථ්‍යා දෘෂ්ටිය මුළු සසර පුරා (මිථ්‍යා දෘෂ්ටියෙන් මිදෙනතුරු) විපාක දෙන බලවත්ම අකුසලය වේ. මේ මිථ්‍යාදෘෂ්ටිය නම් කවරක් ද? ලෝක යථාර්ථය නොහොත් පරමාර්ථ සත්‍යයෝ තමා විසින් නොදැනීම ය. පඤ්චස්කන්ධය පිළිබඳ අනවබෝධයයි. බුදු දහමට අනුව පරම සත්‍ය සතරකි. මෙම සත්‍යයෝ ලොව සියල්ලටම පොදුවේ. රටකට, ජාතියකට ආගමකට සීමා නොවෙති. වෙනත් ආගම් වල ද දේශනා කරනු ලබන මිනිස්, තිරිසන්, අපාය, ස්වර්ග හා බ්‍රහ්ම ආදී ලෝකවල ජීවත්වන සත්ත්වයනට ද පවා පොදු ය.

දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් තමන් විසින් අවබෝධ කරගනු ලබනතුරු සත්වයා සසර නැවැත නැවැත ඉපදෙමින් දුක් විඳිති. දුක් විඳීමට කිසිවකු කැමැති නැත. එසේ නම් සැපය සඳහායි යනුවෙන් විශ්වයේ ඇති වෙනත් කවර විෂයයක් හැදෑරුවත් අවබෝධ කළත් මේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොකළේ නම් නැවැත ඉපද සත්වයෝ දුක් විඳිති. මේ දුක් ලබන්නේ ලෝකය පිළිබඳව, තම කය පිළිබඳව ඇති වැරැදි දැකීම නිසා ය. මේ වැරැදි දැකීම මිථ්‍යාදෘෂ්ටිය යයි. (මජ්ඣිමනිකාය අටුවාව උපාලි සූත්‍රය බලන්න) බුදු දහම වුවද වැරැදි ලෙස අල්ලා ගතහොත් (බුද්ධකාලය විසූ කෝකාලික - සුනකඛත්ත – අරිට්ඨ වැනි හිමිවරුන්ගේ චරිත උදාහරණයෝ ය.) මිථ්‍යා දෘෂ්ටිකව අපාගත වෙයි. මියගිය අයට පින්දීම - මෙම කතා පෙළ මඟින් මේ කාරණය වරින්වර සාකච්ඡා කර ඇත. ඒවායේ සඳහන් නොවුනු කෙටි සටහනකි මේ. මියගිය කෙනෙක් තමාට කිසියම් ආකාරයකින් හෝ පෙනී ගියහොත් අතින් ඔහුට දන් දී හෝ උපකාරයක් කර හෝ ඔහුව දුකින් මුදාලිය නොහැක. ඔහුට ලබාගත හැක්කේ සිතෙන් දෙන දේ ය. එනිසා හැම විටම පරිභෝග කළ හැකි දාන වස්තු මුල්කොට මහා සංඝයා වහන්සේට දානයක් පිරිනමා එයින් ලැබෙන පින මලගිය ඥාතියා හෝ මිත්‍රයා වෙත අනුමෝදන් කරවීම ධර්ම උපදේශයයි.වැසිසළුව - වැසි නම් වැස්සට නමෙකි. සළුව නම් වස්ත්‍රයයි. වැස්ස හෝ වැසිකාලය නිමිතිකොට පූජා කරන වස්ත්‍රය වැසිසළුව නම් වේ. විනය පිටකයට අයත් “වස් විසීම” සඳහන් තැන්හි අටුවා වන්හි මේ පිළිබඳ විස්තර ඇත. වස් තුන්මස (නිකිණි, බිනර, වප්) ඉකුත්ව වස් පවාරණයෙන් පසු පෙරවස් සමාදන් වූ ස්වාමීන් වහන්සේ වප්, සිට ඉල් පෝය දක්වා වූ කාලය සළකනු ලබන්නේ චීවර මාසය ලෙස ය. මෙය වස් තුන් මස පුරා බොහෝ කුසල් රැස්කරගත් බෞද්ධ ගිහි පැවිදි ඇත්තන්ට තවත් අගනා මාසයකි. ඒ කඨින පින්කම් කාලය වීම ය. උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වැඩ සිටි වස් සමාදන් වූ සෑම විහාරස්ථානයම වර්ෂයකට වරක් මේ කඨින මහෝත්සවය සිදු කෙරෙති. මෙහිලා විශේෂයෙන් වනුයෙන් කඨින චීවර පූජාවයි.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]