UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

 බිනර පුර අටවක සැප්තැම්බර් 15 වනදා බදාදා

 

දම්පල් ගුණ සමරුව

 

නිද්දාට යෙදී ඇති අනගාරික ධර්මපාල තුමන් ගේ (1864 –1933) එකසිය හතළිස් හය වන ජන්ම දිනය නිමිතිකොට පැවැත්වෙන ගුණ සමරු උත්සව කිහිපයක් පිළිබඳ ව තොරතුරු අප වෙත ලැබී තිබේ. එතුමන් විසින් ඉටු කරන ලද සේවයට එ සේ කළගුණ සැලැකීම යහපත් ලක්‍ෂණයකි. එහෙත්, හුදු ගුණ කථන වලින් පමණක් ප්‍රයෝජනයක් නොමැත. අනගාරික ධර්මපාල තුමන් ගේ වැඩ පිළිවෙළ සාර්ථක නො වුයේ ඇයි? එම වැඩ පිළිවෙළෙහි අදට ඇති අදාළත්වය කුමක් ද? යනා දී වශයෙන් එය පුළුල් ලෙස අධ්‍යයනය කොට ප්‍රයෝජනවත් වන අයුරින් යොදා ගත යුතු ය. මෙතෙක් එ බඳු ඵලදායී උත්සාහයක් දරා ඇත්තේ වෛද්‍ය ගුණදාස අමරසේකර පමණි.

‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ,නමැති කෘතියෙන් ඒ සඳහා ඔහු දැරූ ප්‍රයත්නය අතිසාර්ථක යැයි කිව නො හැකි වූව ද සාධනීය ලක්‍ෂණ රාශියක් එහි දක්නට ලැබේ. ධර්මපාල තුමන් පිළිබඳ ව අලුතෙන් සිතන්නට පොළඹවනසුලු එම ග්‍රන්ථය මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමු.’

‘අනගාරික ධර්මපාලතුමා මෙරට විසූ හැම දේශපාලන පක්‍ෂයක් විසින් ම පාහේ පිටු දකින ලද අමතක කිරීමට තැත් කරන ලද පුද්ගලයෙකි. කාලයක් මුළුල්ලෙහි මෙ රට දේශපාලන බිමෙහි ආධිපත්‍යය දරා සිටි, අධිරාජ්‍ය ගැති (කොමිප්‍රදෝරු) පංතිය විසින් ධර්මපාලතුමා සලකන ලද්දේ මහත් හිසරදයක්, හිරිහැරයක් ලෙසිනි. ධර්මපාලතුමා විසින් මෙ රට මහජනයා වෙත පිවිසෙනු වස් පාදා දෙන ලද නා නා මාර්ගවලින් නොමඳ ව පල ප්‍රයෝජන ලැබූ මොවුන් ඉන් අනතුරුව ධර්මපාල නාමය වළලා දැමීමට තැත් කළ සැටි රහසක් නො වේ. “පසු ගිය අවුරුදු විසිපහ තුළ ම මෙ රට මිනිසුන් ඔහුට කන් දී නොමැත. අද ලංකාව තුළ ඔහුට ඇති බලය ගණන් ගත යුත්තක් නො වේ.” මෙ සේ පවසන ලද්දේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා විසිනි. ඒ වන විට ඔවුන්ට ධර්මපාලතුමා ගෙන් තව දුරටත් වැඩක් නො තිබුණු බව ඇත්තකි. මෙ සේ මේ පංතිය විසින් වළලා දමන ලද ධර්මපාල ඔවුන්ගේ අනුගාමිකයන් විසින් කලකට පසු යළි ගොඩට ගන්නා ලද්දේ ස්වාර්ථය උදෙසා තම සිතැඟි වලට සරිලන වේශයක් එතුමා වෙත ආරෝපණය කරමිනි. ඒ අනුව ධර්මපාලතුමා මේ සියවස තුළ බුද්ධාගම ලොව පතළ කිරීමට පෙර ආත්මයේ සිට කියාගෙන ආ බුද්ධාංකුරයෙකි. මෙ රට ජනයා සුරාවෙන් ගවමස් කෑමෙන් මුදවා ගැනීමට උපන් මහෝපාසකයෙකි. අධිරාජ්‍ය ගැති පංතියත් ඔවුන්ගේ අනුගාමිකයනුත් විසින් පසුගිය කාලය තුළ ආරෝපණය කරන ලද මේ අගතිගාමී වේශය පමණි පසුගිය වකවානුව තුළ මෙහි වූ පරපුර විසින් දැක ඇත්තේ. මොවුන්ගේ මේ අගතිගාමී ප්‍රචාරයට නො මඳ සහායක් මේ පංතිය තුළින් බිහි වූ මෙ රට නූතන ඉතිහාසය ලියනු ලබන ඉතිහාසඥයන් විසින් ද සපයා ඇත.”

කෙ සේ වූව ද 1931 දී පැවිදි දිවියට ඇතුළත් වූ එතුමා ගේ ජීවිතයේ අවසාන කාලය ඉන්දියාවේ ගත කළ බව අපි දනිමු. එ පමණක් ද නො ව බෞද්ධ රාජ්‍යයක් බිහි කිරීමේ එතුමා ගේ සිහිනය බිඳ වැටිණ. එහෙත් එතුමා ගේ වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය පිළිබඳ ව ගුණදාස අමරසේකර දරන මතය මෙ බඳු ය.

“ මේ සමාජ - දේශපාලන පෙරළි අතරින් 1956 දී මේ රටෙහි සිදු වූ පෙරළිය ධර්මපාල සේවය පිළිබඳ අර්ථ කථනයක් සඳහා මා තෝරා ගත්තේ එය මෑත යුගයේ මෙ රට සිදු වූ විශාල ම පෙරළිය නිසා නො වේ. එ මෙන් ම එයින් ධර්මපාලතුමා ගේ චින්තනය හෝ පරමාර්ථ මස්තක ප්‍රාප්ත වූ නිසා ද නො වේ. (56 න් ධර්මපාල තුමාගේ පරමාර්ථ ඉෂ්ට වී එතුමා බලාපොරොත්තු වූ සමාජය මේ රටෙහි බිහි වී යැයි කිසිවකු නිගමනය කළොත් එය අතිශය මුළාවකි.) වෙන අන්කිසි හේතුවක් නිසා ය. එ නම් ධර්මපාලතුමා විසින් අවදි කළ බලවේග මෙ රට දේශපාලන ක්‍ෂේත්‍රය තුළට ඇතුළු වී අප ඇස් පනා පිට ප්‍රදර්ශනය වූ ප්‍රථම අවස්ථාව එය වීමයි. ධර්මපාලතුමා විසින් දියත් කළ, එතෙක් අදිසි බලවේගයක් ලෙස සැඟ වී සිටි මහා ප්‍රවාහය මෙ රට දේශපාලන ක්‍ෂේත්‍රය තුළට කඩා වැදී ඒ මත රඟ දෙමින් උන් අතුරු ප්‍රවාහ තුළ එල්ලී සිටි මෙ රට වූ අධිරාජ්‍ය ගැත්තන්, ඉංගීරිසිය පුදන්නන් මෙන් ම මෙ රට මාක්ස්වාදීන් ද එවේලෙහි සිදු වූ දෙයින් අන්ද මන්ද වී මුසපත් වීම පුදුමයක් නො වේ.”

කෙ සේ වූව ද අනගාරික ධර්මපාල තුමන්ට එදා ජනතාව අතර වැඩි පිළිගැනීමක් ලැබී තිබුණේ අමද්‍යප වීරයකු වශයෙනි. විශේෂයෙන්් ම ශ්‍රීමත් හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා විසින් හඳුන්වා දෙන ලද 1912 සුරාබදු පනතට එරෙහි අමද්‍යප ව්‍යාපාරයේ එක් පාර්ශ්වයක් අනගාරික ධර්මපාලතුමා නියෝජනය කළේ ය. අනෙක් පාර්ශ්වය වූයේ ඩී.බී. ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක, ඩී.සී. සේනානායක, පියදාස සිරිසේන, ආතර් වී. දියෙස්, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි ප්‍රභූ පිරිසකි. එම ප්‍රභූ පිරිස දේශපාලන නැඹුරුවක් පෙන්නුම් කළ ද ධර්මපාලතුමන් ගේ ප්‍රයත්නය වඩාත් ආගමික නැඹුරුවකින් යුක්ත විය.

මේ අමද්‍යප ව්‍යාපාර බිහි වී වසර සියයක් ගත වූ පසු අදට ද මත්පැන් පානය බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස අප ඉදිරියේ පවතී. මතට තිත නමැති රාජ්‍ය මැදිහත්වීම තිබිය දී පවා සාර්ථක අමද්‍යප ව්‍යාපාරයක් අද දක්නට නොමැත. එ බඳු පසුබිමෙක අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව අනගාරික ධර්මපාල තුමන් හුදෙකලාව ගෙන ගිය අමද්‍යප සටන සුළුකොට තැකිය යුතු නැත. එය එකල යුරෝපයේ පැවැති අමද්‍යප ව්‍යාපාර මෙන් මත්පැන් විරෝධී සටනක් පමණක් ලෙස සැලැකීම වරදකි. එම නිසා, ජාතිකානුරාගී සමාජ ව්‍යාපාරයක අධිරාජ්‍ය විරෝධී සංස්කෘතික අරගලයේ අවිහිංසාවාදී සංකේතයක් වූ අනගාරික ධර්මපාලතුමා ගේ කාර්ය භාරය අදටත් වලංගු ය. ඒ අන් කිසිවක් නිසා නො ව ශ්‍රී ලංකාව ආර්ථික හා සංස්කෘතික යටත්්් විජිත භාවයෙන් නිදහස්වීමට තවමත් වෙර දරමින් සිටින බැවිනි.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]