UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෑම විටම තම මුවට හුරුකරගත් නපුරු නරක, රෞද්‍ර වචන පිට නොකිරීමට වග බලා ගන්න. කෙනෙක් හමු වූ විට වෙන්ව යන විට තෙරුවන් සරණයි. බුදු සරණයි යනුවෙන් අමතන්න. ආගම් භේදයකින් තොරව උදේ හවස නින්දට යන විට දරුවන් දෙමාපියන්ට වන්දනා කරන්න උගන්වන්න. සෑම විටකම සැහැල්ලුවෙන් සිනා මුසු මුහුණින් අවබෝධයෙන් සිටින්න.

උට්ඨානවතො සතිමතො
සුචි කම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසොභි වඩ්ඪති

ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වී ලෝක සත්වයා දුකින් (සසර දුකින්) අත්මුදවා ගත් සේක. මිනිසා නම් ලෝකයයි. ලෝකය තුළ නිශ්චිත යමක් නොමැත. පුළුල් පරාසයක සිතිය යුතුය. හැමවිටම අවබෝධය තුළින් ජීවත් විය යුතුය.

අවබෝධය මනාව ලබා ගත යුතුය. තමා තුළින් තමාව අවබෝධ කර ගැනීම, අනුන් තුළින් තමාව අවබෝධ කර ගැනීම යන මේ දෙකින්ම සිදු වන්නේ තමන් පිළිබඳව අවබෝධය තහවුරු කර ගැනීමයි. පුද්ගල ජීවිතයක් දැනුමින්, කුසලතාවෙන්, උත්සාහයෙන්, වීර්යයෙන්, අධිෂ්ඨානයෙන් පරිණත තත්ත්වයට පත් විය යුතුය. සෑම විටම සෑම දෙයක් පිළිබඳව ම උපේක්‍ෂා සහගතව බැලිය හැකි අවබෝධයක් තිබිය යුතුය. අද බොහෝවිට අවබෝධයේ යථාර්ථය වැළලී ගොස්ය. ඒ නිසාම විවිධාකාර වූ ගැටුම්කාරී කලහකාරී ස්වභාවයක් සමාජයෙන් ඉස්මතු වෙයි. ඇස්, කන්, නාසා ඇති මිනිසුනේ, මේ ජීවිතය තරම් වටිනා වෙනත් දෙයක් නොමැත. මෙලොවක් සේම පරලොවක් තිබේ. මෙලොව කරන හොඳ හෝ නරක ඊළඟ භවයට රැගෙන යෑමට සිදුවෙයි. මේ භවයේදී හොඳ නරක තේරුම් ගතහැකි පින්වන්තකමක් ලැබී තිබේ. දහම් මඟ පියවි ලෝකයේදීම විමසිය හැකිය. ඒ නිසාම මනාව සිහියෙන් සංයමයකින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත යුතුය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, මහණෙනි, ශාසනයේ ආයුෂය විනයයි. කිසියම් විටක කිසියම් ආකාරයකට විනය පිරිහෙයිනම් එදාට එතැනදී ශාසනය පරිහානිය පත්වේ. අපි හැම කෙනෙක්ම ධර්මය ගැන හිතන්නට අවශ්‍ය කරන කාලයයි මේ. බොහෝ අය තුළ ඉවසීම, මිනිස්කම, ආගමික හැඟීම නැති වී මිථ්‍යා විශ්වාසවලට, පටු ආකල්ප වලට නැඹුරු වී ඇති බවක් පෙනෙයි. දරුවන් විශාල වශයෙන් පරිහානියට පත්වේගෙන යන බවක් පෙනෙයි. මෙයට වගකිව යුත්තේ කවරකුද? ගෙදරදී දෙමව්පියන් පාසලේ දී ගුරුවරයා ආගමික පරිසරය තුළදී අනුශාසකයන් වහන්සේලා මූලික වශයෙන් මෙයට වගකිව යුතුය.

බොහෝ දෙමව්පියෝ සිතන්නේ දරුවෝ කොහොමහරි හොඳට ඉගෙනගෙන විභාග සමත්වෙලා උගතෙක්, වෛද්‍යවරයෙක්, එහෙමත් නැත්නම් වෙනත් පිළිගත් වෘත්තිකයෙක් විය යුතු බවය. පැහැදිලිව ම දෙමව්පියන්ගේ ඒ සිතුවිල්ල ඉතා යහපත් ය.

ඒත් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් නොව ඉන් ඔබ්බට ගිය ප්‍රබලයෙක් වුවත් සාරධර්ම, ගුණධර්ම නොමැතිනම් එහි කිසි ප්‍රතිඵලයක් නැත. මිනිස්කම තිබිය යුතුය. එක්තරා රජයේ රෝහලක වෛද්‍යවරයෙක් රෝගියකුට මහා අකාරුණික අයුරින් කටයුතු කළේය. එයින් ඒ රෝගියා හා එම සිදුවීමට ලක් වූ තැනැත්තාත් මහත් මානසික අසහනයකට පත් විය. එක්තරා සිදුවීමක් සාරාංශයක් කොට දක්වමි. කමල් නමින් අවුරුදු 19 ක තරුණ දරුවෙකි. සුමිත් නම් අවුරුදු 10 ක පුංචි දරුවෙකි. කමල් නිතරම සුමිත්ට පාසල් වැඩ කියාදෙයි. දිනක් කමල් පාඩම් කරමින් සිටින විට සුමිත් කමල්ගේ කෙටි සටහන් වගයකට තීන්ත කුප්පියක් හැළුවේය. එය සිතාමතා නොකළේය.

මෙයින් උරණ වූ කමල් කොටුවකින් සුමිත්ට පාරවල් කීපයක් ගැසුවේය. එම පාරවල් නිසා සුමිත්ගේ ඇඟ පුරා පළු දැම්මේය. කොයිතරම් උගත් වුණත් මිනිස්කම ඉවසීම තව කෙනෙක් අවබෝධකර ගැනීමේ මානුෂීය හැඟීම නැත්නම් ඒ උගත්කමින් ප්‍රයෝජනයක් නැත. එයින් සිදුවන්නේ අයහපතකි. හැම විටම දරුවන්ට ගුණධර්ම සාර ධර්ම කියා දිය යුතුයි. පුංචි කාලයේ සිටම දහම් පාසල් අධ්‍යාපනය ලබාදිය යුතුයි.

අම්මා කෙනෙක් දරුවෙක් උස් මහත් කිරීමේදී මනා අවබෝධයක් තිබිය යුතුය. දරුවෙක් කුස පිළිසිඳ ගත් දින සිටම මව ආගමානුකූ®ල විය යුතුය. නිතරම යහපත් වචන, පෝෂ්‍යදායී ආහාර, මෛත්‍රී සහගත සිතුවිලි වලින් යුක්තව සිටිය යුතුය.

කායෙන සංවරෝ සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු වාචාය සංවරො

සිත කය වචනය යන තුන්දොරින් සංවර විය යුතුය. ගැටුම්කාරී, කලහකාරී, පීඩාකාරී දෙයින්, ස්ථානවලින් ඈත් විය යුතුයි. මිහිරි සංගීතය පිරිත් ධර්මදේශනා, බෞද්ධයකු නම්, බෝධි පූජා, සෙත් පිරිත් ශ්‍රවණය කිරීම්, අනිකුත් ආගමිකයකු නම් ඒ ඒ ආගම්වලින් දක්වා ඇති යහපත් දේ කළ යුතුයි. නරක පුරුදු තිබේනම් සියල්ල අත්හල යුතුය. මව සංවර විය යුතුය. පියාද මවටත් වඩා සිය දහස් ගුණයකින් සංවර විය යුතුය. එවිට යහපත් වූ බෝසත් දරුවෙක් කුස තුළ වර්ධනය වෙයි. අප තුල ඇත්තේ කාලයක් හුරුකරගත් පුරුදුය.

මිනිස් සිරුර බොහෝ සේ පාලනය කරන්නේ පුරුදු වලින්ය. බොහෝ සෙයින් අප රාත්‍රියට නිදාගෙන පසුදා උදේ නින්දෙන් නැගිට්ට මොහොතේ සිටම සිදු කරනු ලබන ක්‍රියාවන් වලින් 99% ක්ම සිදු කරන්නේ නිරායාසයෙන් මිසක් ආයාසයකින් නොවේ. දෛනිකව බොහෝ අයට සකස්කරගත් කාල සටහනක් නැත. ඒ නිසාම වැඩවල පිළිවෙලක් නැත. මනස ඒකාකාරී නැත. හැම විටම මානසික හෝ කායිකව පීඩනයකින් පසුවෙයි.

තියෙන වැඩ කන්දරාව අවසන් කරගැනීමට කාලය මදි යැයි සිතෙයි. තමන් නොදැනීම තමන්ගේ මනසේ ද්වේෂය හටගනී. එවිට තමන් නොදැනුවත්ව ම සුරාවට, දුම්පානයට, ස්ත්‍රී ආශ්‍රයට නොයෙක් ආකාරයේ අදූරදර්ශී ක්‍රියාවන්ට පෙළඹෙයි. සිත ද්වේෂයෙන් (පටිඝයෙන්) යුක්තවනවිට, ප්‍රාණඝාතය, අදත්තාදානය, මුසාවාදය, පිසුණාවාචා, ඵරුෂාවාචා, සම්පප්ඵලාප, ව්‍යාපාද ආදී අකුසල් සිදුවෙයි. සතුන් මරාගෙන කෑම, මිනී මැරීම, හොරකම් කිරීම, බොරුකීම, පරුෂ වචන කීම, හිස්වචන කීම, තරහව, වෛරය, ක්‍රෝධය මේවා හිත කිලිටි නිසා සිදුවෙයි. පුද්ගලයාද විනාශ වෙයි.

ලෝකයේ කිසිවෙක් සදාකාලිකව ජීවත් වීමට පැමිණිවුන් නොවේ. ඒ නිසාම ජීවත්ව සිටින විට දුසිරිත් අයින් කොට සුබවාදී ආකල්ප වර්ධනය කර ගනිමින් තිසරණය අනුව ජීවත් විය යුතුය.

එසේ නැතහොත් සිදුවන්නේ වැදගැම්මකට නැති, නොසන්ඩාල, චණ්ඩ, පාපකාරී ජීවිතයක් බවට මේ සුන්දර ජීවිතය පත්වීමයි. ඒ නිසාම තමන්ට අවසානයේ ඉතිරි වන්නේ පසුතැවීම පමණයි. මේ නිසා කළ යුත්තේ තමන්ට වැදගත් වන දේ පිළිබඳ සිහිනයක් දැක දෛනිකව කාල පරාසයක් වෙන්කර ගනිමින් පිළිවෙලකට වැඩකරන පිරිසුදු අයෙක් වීමයි.

මුල සිටම මෙය ඉගෙන ගතයුතුය. තමන් පරිහානියට පත් අයෙක් නම්, සැමදාම එකම තැන සිටින අයෙක් නම්, අපල සූනියම් නොයෙක් දේ වලින් මනස පිරී ඇත්නම් අද සිට මේ මොහොතේ සිට ඒ සියල්ලම අමතක කරන්න. මද වෙලාවක් ඇස් පියාගෙන හිතින් හිතන්න මම යාන වාහන ඉඩ කඩම් ඇති පොහොසත් අයෙක් වගේ ම, හොඳ පවුලක්, තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති අයෙක් වෙමි වශයෙන් මහා සැහැල්ලුවකින් ඇස් අරින්න. ඇස් පියවන මොහොත දක්වාම තිබූ අදූරදර්ශී බවින් අත්මිදී යහපත් දූරදර්ශී සිතිවිලි වලින් සිත පුරවාගෙන තමා ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න. ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. ජීවිතයට අරමුණක් ඇති කරගන්න.

මෙන්න මේ කාලය වෙනකොට මම මෙන්න මේ දේ කරගන්නවා අධිෂ්ඨානයක් ඇති කරගන්න. ධාර්මිකව ඉවසිලිවන්තව එක තත්පරයක් නාස්ති නොකර උත්සාහයෙන් සිහියකින් නුවණකින් කටයුතු කරන්න. එවිට ඔබ සාර්ථක මිනිසෙක් වෙයි.

සෑම විටම තම මුවට හුරුකරගත් නපුරු නරක, රෞද්‍ර වචන පිට නොකිරීමට වග බලා ගන්න. කෙනෙක් හමු වූ විට වෙන්ව යන විට තෙරුවන් සරණයි. බුදු සරණයි යනුවෙන් අමතන්න. ආගම් භේදයකින් තොරව උදේ හවස නින්දට යන විට දරුවන් දෙමාපියන්ට වන්දනා කරන්න උගන්වන්න. සෑම විටකම සැහැල්ලුවෙන් සිනා මුසු මුහුණින් අවබෝධයෙන් සිටින්න.

කිසිම විටක කිසිම කෙනෙක් හෙළා නොදකින තත්ත්වයේ කෙනෙක් වීමට උත්සාහ කරන්න. උපේක්‍ෂා සහගත සිතුවිලි වලින් යුතු අයකු වන්න. සෑම විටම මිනිසා උත්තරීතර අයකු විය යුතුයි. මිනිස්කම අභිබවා යා හැකි කිසිම දෙයක් ලෝකයේ නැත. මානුෂික හැ¼ගීමෙන් ගුණධර්ම සාරධර්ම වලින් පිරිපුන් අයෙක් විය යුතුයි. හැම විටකම පංච ශීලය තුළ ජීවත් වීමට උත්සාහ කළ යුතුයි. යහපත් ආකල්ප ගුණධර්ම වර්ධනය කරගත් අයෙක් විය යුතුයි. මේ කරුණු පිළිබඳව මනාව හිතන්න, වඩාත් සිතන්න.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]