UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව උපාධ්‍යාය ධුරයෙන් පිදුම් ලබන ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

අත්තනගල්ල රාජ මහා විහාරය, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය ,
තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරය
ඇතුළු විහාරයන්හි අධිපති ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ

සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක

නව උපාධ්‍යාය ධුරන්දර
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

 


ආගමික, ජාතික, සමාජයීය සේවාව ඉතා ප්‍රශංසනීය ය

අත්තනගල්ල රජමහ විහාරාධිපති සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්ථවිරයන් වහන්සේ වෙත අපේ මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවෙන් උපාධ්‍යාය ධුරයක් පිරිනැමීම නිමිති කරගෙන සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරණු ලබන්නේ ඉමහත් සතුටිනි.

වර්තමාන භික්‍ෂු පරපුරේ දැන උගත් ආදර්ශවත් භික්‍ෂුවක් හැටියට අත්තනගල්ල රජමහ විහාරය මුල් කරගෙන දේශීය හා විදේශීය වශයෙන් සිදුකරගෙන යනු ලබන ආගමික, ජාතික, සමාජයීය සේවාව ඉතා ප්‍රශංසනීයය.

විශේෂයෙන් අපේ මල්වතු මහා විහාරයට හිතපක්‍ෂපාතීව පැරැණි ශාසනික සම්ප්‍රදායන් ආරක්‍ෂා කරමින් හා අනුගමනය කරමින් ශ්‍රමණ සාරුප්‍ය ආකල්පයන්ගෙන් යුක්තව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උදාර මෙහෙවරක නියැලී සිටින උපාධ්‍යාය ධූරන්දර ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්ථවිරයන්ට එම සද්කාර්යයන් තවදුරටත් කරගෙන යාමට තෙරුවන් සරණින් හා සිරි දළදා සමිඳු පිහිටෙන් ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධවේවායි ආශිංසනය කරම්හ.


සිදු කරන ලද ශාසනික හා සමාජ සත්කාරය අති විශිෂ්ට ය

දේශීය හා විදේශීයව ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙමින්, වෙනත් සමාජ සත්කාරක කටයුතුවලද යෙදෙන,උගත් සංඝයා වහන්සේලා අතර ප්‍රමුඛස්ථානයක වැජඹෙන අතිපූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්දාභිධාන නායක හිමිපාණන් , මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය පදවියකට පත්කරනු ලැබීම පිළිබඳ අවස්ථාවට පණිවිඩයක් නිකුත් කිරීමද සතුටට කරුණකි.

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ලෝකය පුරාම ගෞරවාදරයට පාත්‍රවෙමින්, ලෝකයේ බොහෝ රටවල බෞද්ධ ජනතාව අතර කීර්ති නාමයක් දිනාගත් සංඝ පීතෘන් වහන්සේ නමක් වන ගරු කටයුතු පන්නිල ආනන්ද නාහිමියෝ , මෙතෙක් සිදුකරන ලද ශාසනික හා සමාජ සත්කාරය අතිවිශිෂ්ටය. ජාතික හා ආගමික වැදගත්කම අතින් ඉහළ ස්ථානයක් ගන්නා සියනෑකෝරළය මෙන්ම අත්තනගල්ල පෙර සිටම විවිධ කරුණු නිසා ප්‍රසිද්ධ වූයේ දේශපාලන නායකත්වය නිසාවෙනි. එහෙත් ආගමික හා ශාසනික සේවය නිසා අත්තනගල්ල විහාරස්ථානය ආලෝකමත් වූයේ මෙම අභිමානවත් සංඝ පරම්පරාව නිසාවෙනි. එම සංඝ පරම්පරාවේ කීර්තිමත් පුරුකක් වශයෙන් අද දින උපාධ්‍යාය පදවියකට පත්වූ අතිපූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්දාභිධාන නායක හිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. විදේශ රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවලට අමතරව සිය විහාරස්ථානය වූ අත්තනගල්ල රජමහා විහාරය හා ආශි‍්‍රත විහාරස්ථානවල දියුණුව මෙන්ම, නොයෙකුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, වැනි කටයුතු වලදි සිය පෞද්ගලික ධනය පවා පරිත්‍යාග කිරීම උන්වහන්සේගේ සමාජ සත්කාරක සේවාවේ කැපී පෙනෙන ලක්‍ෂණයකි. කිසිදිනෙක තනතුරු සොයා නොගිය උන් වහන්සේ, තනතුරු නිසා බැබළීමට උත්සාහ නොකළහ. එහෙත් තනතුරු උන්වහන්සේ සොයා පැමිණෙමින්, උන්වහන්සේ නිසා තනතුරුවල බැබළීමක් සිදුවිය. ඉදිරියේදී ද මෙම සමාජ හා ශාසනික සත්කාරය සිදුකිරීමට හැකිවන පරිදි සියලු දෙවියන්ගේ පිහිටෙන් උන්වහන්සේට චිරජීවනය ලැබේවා!යි ප්‍රාර්ථනා කරමි.


කරන ලද සමාජ මෙහෙවර අපමණ යි

ඓතිහාසික අත්තනගල්ල රජමහ විහාරය ඇතුළු විහාරස්ථාන 09 යක අධිපති, අමෙරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරය සහ තායිවානයේ ප්‍රථම ථෙරවාදි බෞද්ධ විහාරයේ අධිපති අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි ධර්මවිජය විහාරයේ ලේඛකාධිකාරි, අත්තනගල්ල සාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත, මහනුවර උපෝෂිත පුෂ්පාරාම මහා විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක, අතිගරු ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක නායක කාරක මහා සංඝ සභාව විසින් ඓතිහාසික මල්වතු මහා විහාරයේ උපෝෂථාගාරයේදී උපාධ්‍යාය පදවිය පිරි නැමීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙමු.

බෞද්ධ බැතිමතුන් අතර, අති පූජනීය තත්ත්වයට පත් ලොව පතළ අරහන්ත රජමහා විහාරයේ තිබූ කීර්ති නාමය ඔප් නැන්වීමට පන්නිල ආනන්ද හිමියන්ගේ ආගමික හා සමාජයීය ක්‍රියා කලාපය බෙහෙවින් ඉවහල් වූ බව සඳහන් කරනුයේ ඉමහත් බැති සිතිනි.

අමෙරිකාව, ජපානය,චීනය, තායිවානය වැනි රටවල තම හිතවතුන්ගේ ආධාර හා උපකාර මත පන්නිල ආනන්ද නා හිමියන් විසින් ශ්‍රී‍්‍ර ලංකාව තුළ කරනු ලැබූූ ආගමික හා සමාජයීය සේවාවන් ලියා දන්වන්නේ නම් එය පොතක් ලෙස මිස ඡේද කීපයකින් ලිවීම කිසිසේත් කළ නොහැක. එම සේවාවන් අතර, රුපියල් කෝටි 04 කට අධික මුදලක් වැයකොට ඉඳිකල පුස්තකාල ගොඩනැගිල්ල, රුපියල් කෝටි 02 කට අධික මුදලක් වැය කොට ඉදිකල සාමණේර හිමියන් සඳහා වූ සංඝාවාස ගොඩනැගිල්ල,දහම් පාසල් ගොඩනැගිල්ල අත්තනගල්ල පූජා භූ®මියේ ඉදිකල ගොඩනැගිලි ඒ අතරින් කීපයකි. එසේම අත්තනගල්ල විහාරස්ථානය අවට ඇති සියලුම විහාරස්ථානවල මොනයම් හෝ ඉදිකිරීමක් මෙම ස්වාමීන් වහන්සේ විසින් සිදු කර ඇත. ඒ අතර සංඝාවාස, පුස්තකාල ගොඩනැගිලි මෙන්ම ධර්මශාලා , බුදුමැදුරුද වේ. අත්තනගල්ලේ පමණක් නොව මුළු රටේම ආර්ථික අපහසුතා මත ජීවත්වන දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වල බුදු මැදුරු සාදා ඇත. රටම කම්පා කරමින් පැමිණි සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් නිවාස තැනීම ප්‍රථමයෙන් ආරම්භ කරනු ලැබුවේ පන්නිල ආනන්ද නා හිමියන් විසිනි. හික්කඩුව, පැරෑලියේ කාමර 03 ක්, සාලයක්, සහ මුළුතැන් ගෙයක් සහිත උළු සෙවිලි කල නිවාස 336 ක් සෑදීමට පමණක් නොව නිවෙස්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ පවා ලබා දීමට උන් වහන්සේ කටයුතු කළහ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහලක් ලෙස අතිවිශාල රෝගී පිරිසක් දිනපතා ප්‍රතිකාර ගනු ලබන වතුපිටිවල මූලික රෝහලේ රෝහල් සංවර්ධන පදනමේ සභාපතිත්වය වර්ෂ ගණනාවක සිට උසුලනු ලබනුයේ නායක ස්වාමීන් වහන්සේ විසිනි. විදේශ රටවල ඉතා ජනපි‍්‍රය ලෙස භාවිතා වන මූලික ප්‍රතිකාර ඒකකය ලංකාවට හඳුන්වාදීමේ ගෞරවයද හිමි වනුයේ පන්නිල ආනන්ද නා හිමියන්ටය. එය අද වතුපිටිවල මූලික රෝහලේ ඉතා ජනපි‍්‍රය ප්‍රතිකාර ඒකකයක් බවට පත්ව ඇත. ඒතුළින් රෝගියෙකු රෝහලට ඇතුල් වූ සැනින් ප්‍රතිකාර ආරම්භ කරනු ලබන අතර, මූලික ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් පැය කීපයකින් අසනීපය සුව වූ විගස රෝහලින් පිටවීමට හැකියාව ලැබේ. මේ තුළින් රෝහලේ ඇතිවන තදබදය ද විශාල ලෙස අඩුවී ඇත. එසේම රෝහලේ බලවත්ව පැවති අඩුපාඩුවක් සපුරාලමින් රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල ළමා වාට්ටුවත්, භික්ෂූ වාට්ටුවත්, භික්ෂුණියන් සඳහා වූ වාට්ටුවත්, සෙම පටල ඒකකය, දැඩි සත්කාර ඒකකයේ උපකරණ ඇතුළු විවිධ අඩුපාඩු ඉතා කෙටි කාලයක් තුළ සපුරාලනු ලැබුවේ විදේශ හිතවතුන්ගේ ආධාර මතය.

දහම් පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම ඉංගී‍්‍රසි පුහුණු පාඨමාලා පවත්වා ග්‍රාමීය දරු දැරියන්ගේ ඉංගී‍්‍රසි භාෂාව වැඩිදියුණු කිරීම, වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වන සිසුන් සඳහා ශිෂ්‍ය ආධාර ලබාදීම අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස හා සනීපාරක්ෂක කටයුතු, තවත් සමාජ සත්කාරයන්ය.

අත්තනගල්ලේ පමණක් නොව දුෂ්කර පළාත් රැසක ඉදිකළ ළදරු පාසල් ගොඩනැගිලි , පාසල් පොත් ලබාදීම, රෝගීන් සඳහා විවිධ ආධාර ලබා දීම ඇතුළුව කරන ලද සමාජ මෙහෙවරයන් අපමණය. මෙවන් සමාජ සත්කාරයන් රැසක් ඉටුකළ පන්නිල ආනන්ද හිමියන් රටේ රාජ්‍ය නායකයන්ගේද ගෞරවාදරයට පත් වූ හිමිනමකි. කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තොරව ඉටු කරනු ලබන මෙම සමාජ සත්කාරයන්ද දෙස් විදෙස් ධර්මධූත සේවාව ඇතුළු සියලු කාර්යයන් මනාව තේරුම් ගත් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව විසින් මෙම උපාධ්‍යාය තනතුර පිරිනැමීම පිළිබඳව එතුමාණන් වහන්සේලාටද අපගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරමි. 2010 සැප්තැම්බර් 18 වෙනි දින මල්වතු පාර්ශ්වීය උපාධ්‍යාය ධූරයෙන් පිදුම් ලබන පන්නිල ආනන්ද නායක හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් අතිගරුජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආර්ථික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 19 වන ඉරු දින අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු මහත් දීපයටම මිණි පහනක් බඳු අතිපූජ්‍ය පන්නිල ආනන්ද නා හිමියනි, ඔබ වහන්සේට දිගාසිරි!ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]