UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළ බොදු උරුමය යළි පණගැන්වූ අනගාරික ධර්මපාලතුමා

ලෝකයේ ඕනෑම රටක ජාතික ආගමික පරිසරය පිරිහීමට පත්වන සෑම අවස්ථාවකම එකී රට ආරක්‍ෂා කිරීමට කුමන ක්‍රමයකට හෝ කෙනෙකු පහළවීම ලෝකයේ සෑම රටකම දැකිය හැකි ලක්‍ෂණයකි.

මිහිඳු මහරහතන් වහන්සේගෙන් සහ සංඝමිත්තා මහෙණින් වහන්සේගෙන් ලැබුණු උතුම් ආය¸ සංස්කෘතිය නිසා හෙළබිම ලෝකයේ මුතු ඇටය බවට පත්වී තිබුණ බව නොහරහසකි.

ලෝකයේ අනෙක් රටවල මෙන් සිංහල දීපයට ද වරින්වර පරසතුරු උවදුරු ඇති වූ බව ඉතිහාසය සඳහන් කරයි. මෙකී සතුරු උවදුරු සමඟ ආර්ය සමාජය විනාශ කරන විවිධ උපක්‍රම පාලනයේ නමින් සමාජ සේවාවේ මුවාවෙන්, අධ්‍යාපනයේ මුවාවෙන් සිදු වූ බව ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවන් හි දැකිය හැක.

චෝල, පාණ්ඩ්‍ය , ඕලන්ද, පෘතුගීසි, බ්‍රිතාන්‍ය යන විදේශිකයන්ට හෙළබිම ගොදුරු වීමත් සමගම මේ පුංචි සුන්දර දිවයින විවිධ ක්‍රමවලින් විනාශ මුඛයට ලක්වී ඇත.

දොන් ඩේවිට් හේවාවිතාරණ පසුව අනගාරික ධර්මපාල , ලක්දිව ඉපදුනේ ජාතිය ආගම අන්ත පරිහානියට පත් ව තිබූ අවස්ථාවකය.

බෞද්ධ දරුවන්ට බුද්ධ, ධම්ම , සංඝ යන තෙරුවන් ගැනවත් දැනුමක් ලබා දීමට තරම් බෞද්ධ භික්‍ෂූ සමාජය අපොහොසත් ව සිටි අතර බෞද්ධ පරිසරයක් නොතිබුන නිසා අතරමංවූ බෞද්ධ පිරිසක් ජීවත් වු සමාජයක එවකට ලංකාවේ සුප්‍රකට වෙළඳ ව්‍යාපාරික පවුලේ උපන් දොන් ඩේවිඩ් හේවාවිතරණ තරුණයා පිරිහී තිබූ සිංහල බෞද්ධ සමාජය නගා සිටුවීමට තම සම්පූර්ණ කාලය කැප කළහ.

බෞද්ධ අධ්‍යාපනයක් ලැබීමට කිසිම ක්‍රමයක් නොතිබුණ අවස්ථාවක මිෂනාරි අධ්‍යාපනය ලැබූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාගේ දක්‍ෂකම් දුටු මිෂනාරින් එතුමා ක්‍රිස්තියානි දහමට නැඹුරු කර ගැනීමට නොගත් උත්සාහයක් නැත.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරාවාදයෙන් පිබිදුනේ සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව,ඇමරිකානු ජාතික හෙන්රි ඕල්කට් මැතිතුමා පානදුරා වාදයෙන් පිබිදී ආ කෙනෙක් ලෙස හැඳින්විය හැකිය.

එතුමා සිංහල දීපයට පැමිණ කරන ලද දේශනා අසා තරුණ දොන් ඩේවිඩ් හේවාවිතාරණගේ ධෛර්ය දෙගුණ, තෙගුණ වී ඇත. රට වැටි ඇති ප්‍රපාතය දුටු දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා දිනෙන් දින බලවත් වේදනාවට පත් වූයේ මේ උතුම් ජාතිය නැවත ගොඩගන්නේ කෙසේද යන්න ගැන සිතමින්ය.

යටත් විජිත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ තම ආදරණීය පියාණන්ගේ බලවත් ඉල්ලීම නිසා යටත් විජිත රජයේ පරිපාලන සේවයට බැදීමේ විභාගයටද පෙනී සිට උසස් අන්දමින් සමත් වී ඇත. එහෙත් එතුමා සේවයට බැදී නැත.

යටත් විජිත බාර ලේකම්තුමා හමු වීමට පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව තම ආදරණීය පියාණන් සමග ගිය විට යටත් විජිත මහා ලේකම්තුමා ඉල්ලා ඇත්තේ රජයේ සේවයට බැඳෙන ලෙසයි.

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ, මගේ සම්පූර්ණ ජීවිතය ම ශාසනය වෙනුවෙන් කැප කරන බවයි.

බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමට හෙන්රි ඕල්කට්තුමා ආධාර මුදල් එකතු කිරීමට ලංකාව පුරා යෑම සදහා සූදානම් වූ විට එතුමාට ඒ සඳහා උපකාරයට කිසිවකු ඉදිරිපත් වුනේ නැත. ඒ සඳහා එක එල්ලේම ඉදිරිපත් වුනේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයායි. බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේ සක්‍රීය සමාජිකයකු වූ මෙතුමා අනගාරික ජීවිතය ආරම්භ කර දොන් ඩේවිඩ් යන නම අතහැර ධර්මපාල යන නම ගෙන තම සටන දිගටම සිදුකිරීමට අදිටන් කරගෙන ඇත.

තම සටනට ආදරණීය මෑණියන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබී ඇත. ධර්මපාල තරුණයාට තම මව වන මල්ලිකා හේවාවිතාරණ කියා ඇත්තේ අනෙක් සහෝදරින් දෙදෙනා නොසිටින්නට ඇයත් එකී ගමනට එකතුවන බවයි.

සුරාපානය ගවමස් හෝ වෙනත් මස් වර්ග කෑම ආර්ය සිංහල සමාජයට කිසිසේත් ම නොහොබිනා බව කියමින්

ගෙරිමස් කන්නා සුරාපානය කරන්නා චන්ඩාලයින් යැයි කීවේ ධර්මපාලතුමාය. සිංහල ජාතිය ආය¸යන්ගෙන් පැවත එන නිසා, ආය¸නම් සෑම දරුවකුම භාවිත කළ යුතු බව කීවේ ධර්මපාලතුමාය.

කම්මැලිකම මුළු සිංහල බෞද්ධ සමාජයම වෙලාගෙන තිබූ යුගයක ධර්මපාලතුමා උදෑසන හතරට අවදි වී තම දවසේ කටයුතු ආරම්භ කර ඇත.

ගිහි සමාජයට පමණක් නොව පැවිදි සමාජයට ද එතුමා කරුණු කියා ඇත්තේ නිර්භීතවම ය.

කිසිම නිලයක් බලයක් නැතිව, ශීල සමාධි ප්‍රඥා යන ගුණාංග සමඟ අවංක එඩිතර සිතින් එතුමා කළ සටනේදී ඊට විරුද්ධව පිරිසක් නැගී සිටියත් එතුමාගේ අදහස අත්හැරියේ නැත.

එතුමා සිංහළ ජාතිය ගැන පමණක් සිතුවේ නැත.

1914 දී භූතානයේ පාලකයා වූ කෙන්පෝට ලියා ඇත්තේ,

ඔබතුමන්ලාගේ රටේ දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලිංපොහි මිෂනාරි විද්‍යායතනවලට යවන්නේ ඇයි? ඔබලාගේ රටේම අධ්‍යාපන ආයතන ඇතිකර මේ ළමයින්ට ඉගැන්වීම නොකළොත් ඔබලාගේ අනාගතය අවුල් සහගත වීමට ඉඩ ඇති බවයි. ටිබෙට් රට ඉතාම දුප්පත් වුවත් ජපානය වැනි රටවලින් කාර්මික අධ්‍යාපනය සමඟ උසස් අධ්‍යාපනය ලබා නොගතහොත් අනාගතයේ සිදුවනදේ කණගාටුදායක විය හැකි බවයි.

සිංහල බෞද්ධ රටේ ළමයි අසූ දාහක් පමණ බෞද්ධ අධ්‍යාපනය නොලබා මිෂනාරි අධ්‍යාපනය ලැබීමේ වරද ඉදිරියට මුළු ජාතියටම විඳින්නට සිදු වන බව සිංහල රටේ එවක පාලකයින්ට දැනුම් දී ඇත්තේ 1914 භූටානයේ ප්‍රධාන පාලකයාට ලියූ ලිපියේ ය.

එතුමාගේ හදවතේ රට ජාතිය ආගම නගා සිටුවීම හැර වෙන කිසිම අරමුණක් නොතිබුන බව ඉතාම පැහැදිලිය.

එතුමා රටට කළ සේවය අපමණය

ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය ආදි බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයන් ඇති වුනේ හෙන්රි ඕල්කට් සහ අනගාරික ධර්මපාල තුමාගේ අප්‍රතිහත ධෛර්ය නිසාය. සිංහල බෞද්ධ සමාජයේ දියුණුව සෑම අංශයකින්ම පැතූ ධර්මපාලතුමා නිසා අද අපි නිර්භීත ජාතියක් හැටියට ජීවත්වන බව කීවාට වරදක් නැත.

 

 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]