UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 නිරයත් අපායත් ඇත්තේ මිනිස් ලොව ම යි

2010 ජූලි 25 දින ‘ නිරය මිනිස් අපාය නො වේ ද? යනුවෙන් ම විසින් ලියන ලද ලිපියට පිළිතුරක් වශයෙන් ‘නිරයත් මිනිස් ලොවත් එකක් ම නොවේ. යනුවෙන් ජාලිය මනුජ රණවීර මහතා විසින් 2010 අගෝස්තු 16 දින පිළිතුරු ලිපියක් සපයා ඇත. මෙසේ අදහස් දැක්වීම පිළිබඳව මම ඒ මහතාට ඉතා සතුටින් කෘතඥතාව පළ කරමි. එසේම පාඨකයන්ගේ අදහස් නිරාකරණය කර ගැනීමට මඟ පෙන්වීම පිළිබඳව “ බුදුසරණ “ කතුතුමාට ද මගේ කෘතඥතාව හිමි වෙයි.

අපේ බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දී වදාළේ සැකකිරීමත් විමතියට පත්වීමත් සාධාරණ බව යි. “පොත පතේ තිබුණත් ගුරුවරයකු කිව්වත් පිළිගන්නට එපා. තමාට වැටහුණොත් පමණක් පිළිගෙන පිළිපදින්න “ යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ.

පුවත්පත්වල එන අදහස් ඉස්සර පිළිගනු ලැබුවත් වර්තමානයේ දී එසේ පිළිගන්නේ නැත. යනු මගේ හැඟීමයි. තවද බුදුදහම ප්‍රඥාවන්තයන් සඳහාම බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.එසේම බුදුදහමේ , සැඟවුණු දේවල් ද නැත යනු ද මගේ අදහසයි. නමුත් අපට නොතේරෙන දේවල් එහි තිබිය හැකිය. එබඳු දේවල් ඇතොත් විමසා සැක හැර ගැනීම ප්‍රඥාවන්තයන්ට සුදුසුය.

නිරය හෙවත් අපාය යනුවෙන් විශේෂ නිර්මාණයක් ඇත යනුවෙන් බෞද්ධයින් බොහෝ දෙනා විසින් පිළිගනු ඇත. මේ අදහසට විරුද්ධවන මා මිථ්‍යාදෘෂ්ටිකයෙකැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එහෙත් මම තෙරුවන් පිළිගත්, පස්පවින් නිතර වැළකී සිටීමට උත්සාහ කරන, කර්මය පිළිබඳ විශ්වාසයක් ඇති තැනැත්තෙක් මි. මට අවශ්‍ය කරන්නේ පව්පල දෙන ස්ථානය කුමක් දැයි දැන ගැනීමටය. එසේ දැන ගැනීම පවින් වැළකීමට පෙළඹවීමක් ද විය හැකි බැවිනි.

හිතවත් රණවීර මහතාණෙනි, ඔබතුමා කරුණු ඉදිරිපත් කරන්නේ පාලි ත්‍රිපිටකයෙනි. පාලි ත්‍රිපිටකයේ පරමාර්ථ සත්‍ය දේශනාත් සම්මුති සත්‍ය දේශනාත් යන වර්ග දෙකම ඇතුළත්ය. එයින් සම්මුති සත්‍ය දේශනා කලින් කල වෙනස් වීමට ඉඩ තිබේ. එයින් එක උදාහරණයක් පමණක් ඉදිරිපත් කරමි.

බබළන සියල්ල දෙවියන් බව ආදිකල්පිකයෝ සිතූ®හ. එබැවින් ඔවුනට ඉරත් හඳත් දෙවියෝ ය. බුද්ධ කාලයේ දී ත් ඉර හඳ දෙවියෝ ය. චන්ද පරිත්තයේ දීත් සූරිය පරිත්තයේ දීත් බුදුන් වහන්සේත් ඒ දෙදෙනා ;දෙවියන් ලෙස සැලකූහ. හඳත් ඉරත් බුද්ධ භක්තිකයන් නිසා ඔවුන් දෙදෙනා නොනසන ලෙස බුදුහිමියන් රාහු අසුරෙන්ද්‍රයාගෙන් ඉල්ලා සිටියේ එහෙයිනි. මෙකල හඳ ග්‍රහයෙකි. ඉර තරුවකි. අද ඒ දෙදෙනා දෙවියන් ලෙස නොසැලකේ.

සස ජාතකයේ දී ගින්නට පැන්න බෝසත් හාවාගේ චිත්‍රය ශක්‍රයා විසින් හඳ මඳ ඇන්දේය. විසිවන සියවස මැද හරියේ දී නීල් ආම්ස්ට්‍රෝන්ගේ හඳ මැද පා තබා ආවයින් පස්සේ පුංචි ළමයෙක් වත් ඒ කතාව පිළිගන්නේ නැත. චන්ද්‍ර පරිත්තය, සුරිය පරිත්තය හා සස ජාතකය සම්මුති දේශනාය. සම්මුති සත්‍ය දේශනා පාලි ත්‍රිපිටකයේ හිඟ නොවේ.

පව් පල දෙන ස්ථාන

පව්පල දෙන ස්ථාන වශයෙන් බෞද්ධ පොත්වල සඳහන් වී ඇත්තේ නිරය තිරිසන් අපාය, පේත අපාය හා අසුර නිකායයි. මේ ස්ථාන හතරෙහි පව් පල දෙන්නේ ඊළඟ භවයේ දීය. එනම් පර ලෝකයේ දීය. පේත අපායත්, තිරිසන් අපායත් පිළිබඳව පසුගිය ලිපියේ දී විස්තර කරන ලදී. (අසුර අපාය, පිළිබඳව ඊළඟ ලිපියකදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි ) මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වන්නේ නිරය ගැන තොරතුරු දැන ගැනීමටය.

‘නිරය ‘ කවර ස්ථානයක පිහිටියේ දැයි කිසිවෙක් නොදනිති. පූර්ව කාලයක සිටි චේතිය රජතුමාත්, දේවදත්ත තෙරුන් වහන්සේත් පොළොව පලාගෙන නිරයට ගිය බැව් කියනු ලැබේ. එබැවින් නිරය පොළොව යට ඇති එකක් යැයි සමහරු සිතති.

නිරයට යාමට පළමු බාලයන් මේ ආත්ම භවයේදී තෙවැදෑරම් දුකකට පත්වෙන බව බාලපණ්ඩිත සූත්‍රය කියයි. ඒ තෙවැදෑරුම් දුක නම් සමාජයේ නින්දාවට පත්වීම, රාජපරාධකරුවන් විඳින දුක බලා තමන්ටත් එබඳු දුක් විඳීමට සිදුවේ යැයි පසුතැවිලි වීම හා මරණින් පසු නිරයට යාමට සිදුවන්නේ යැයි දුක් වීමයි. මෙකියන දුක් ඇත්ත වශයෙන් මානසික දුක් ය.

එහෙත් කායික දුක් විඳවීම, සඳහා බාල පණ්ඩිත සූත්‍රයත් දේවදූත සූත්‍රයත් සත්වයන් යවන්නේ නිරයටය. නිරයේ නිර්මාණය පසුගිය ලියවිල්ලේ දී විස්තර කරන ලදී. යම රජ සංකල්පය ඊශ්වර වාදි අදහසක් බව මම මෙහිදීද කියමි. කරවන්නෙක් හෝ කරන්නෙක් සිටී නම් එය නිර්මාණවාදී, ඊශ්වරවාදී සංකල්පයකි. පව් පල දීම සඳහා කරන්නෙක් හෝ කරවන්නෙක් අනවශ්‍යය. මේ සඳහා උදාහරණයක් සිළුමිණ පත්‍රයේ ‘නෙළුම් විලේ ‘ ගුණසිංහ හෙට්ටිආරච්චි මහතා විසින් දැනට මාස දෙකට පමණ ඉහත දී ඉදිරිපත් කර තිබුණි. (පුවත්පතේ දිනය සඳහන් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි ) එම පුවත්පතේ සදහන් වූ කාරණය ඉතාම කෙටියෙන් මෙසේය. එක්තරා වයස්ගත අම්මා කෙනෙකු ට පුතෙකු විසින් පහර දී ගෙදර එද්දී ඔහුට ලැබුණ දඬුවමයි. පුතා ගෙදර එද්දී, මාර්ගය දිගේ ආ ගොනෙක් (මී ගොනෙක් ද විය හැකි බව පෙනේ) කෙළින්ම ඔහු වෙත පැමිණ, නොකඩව ා ඔහුට ඇනගෙන ඇනගෙන ගියේය. අන්තිමේදී මිනිසාට රෝහල් ගත වීමට සිදුවිය. බොහෝ විට මෙබඳු දේවල් කෙනෙකුගේ මෙහෙයීමෙන් තොරව ඉබේම වාගේ සිදුවන්නේ ය.

දඬුවම් දීම සඳහා නිරය යොදාගෙන ඇත්තේ, ඉතාම තීව්‍ර අධිකතර වේදනාවක් දීම සඳහා විය යුතුය. බුදු දහම උදාවීමට පෙර පැවැති ජෛන ආගම, බ්‍රාහ්මණ ආගම වැනි ආගම් වලත් පව් පින් හෝ කුසල් අකුසල් ඇත. පාප කාරීන්ට දඬුවම් දීම සඳහා සුවිශේෂ දඬුවම් තිබුණු බවක්ද පෙනේ. මේ දඬුවම් ජන සම්මතයේ පිළිගත් ඒවාය. ජනයා පවින් වැළැක්වීමට කැමැති වූ බුදුන් වහන්සේත් සම්මුති සත්‍ය වශයෙන් යම රජ සංකල්පයත් නිරයේ දුක් උපක්‍රමත් භාවිත කරන්නට ඇති බව සිතිය හැකිය.

මාතලී දෙව්පුත් විසින් නිමි රජතුමා සතර අපාය නැරඹීම සඳහා කැඳවාගෙන ගිය බව නිමි ජාතකයේ සඳහන් බව රණවීර මහතා කියයි. ජාතක කථා ස්වරූපයෙන් ලියා ඇති මේ කථාව ද ප්‍රබන්ධයක් බව මගේ හැඟීමයි. චුල්ලධර්මපාල ජාතකයත්, කුටි දූෂක ජාතකයත් වෙනත් අරමුණු ඉටුකර ගැනීමට ලියා ඇති ජාතක කථා බවත් ඒවායේ අදාළ පුද්ගලයන් නිරයට යවා ඇත්තේ චාරිත්‍රයක් වශයෙන් බව මගේ හැඟීමයි.

නිරයට නොයවා තිරිසන් ආත්ම භාවයක හෝ වෙනත් මිනිස් ආත්ම භාවයක උපත ලැබීමට සලස්වා, පව් පල දුන් කතා පුවත් ද අපට අසන්නට ලැබේ. ධම්මපදට්ඨ කථාවේ එන ‘චක්ඛුපාල වස්තුවෙහි “ දී එක්තරා වෙද මහතෙක් අක්ෂි රෝගීන්ට බෙහෙත් කළේය. එක්තරා කාන්තාවක් තමාගේ ඇස් සුව කරවා ගත්තේ තමාගේ ඇස් සුව වූවොත් පොරොන්දුවක් ඉටුකරන බව ප්‍රකාශ කිරීමෙනි. ඇස සුව වුවොත් මා වෙදමහතාගේ මෙහෙකාරියක් වන බව පැවසීමෙනි. ඇස් සුව වුවත්, මෙහෙකාරියක වීමට අකමැත්තෙන් ඈ තවමත් තමාගේ ඇස් සුව වී නැතැයි වෙදමහතාට ප්‍රකාශ කළාය. එවිට වෙද මහතා කාරණය තේරුම්ගෙන, තමන් හිතා මතාම වෙනත් බෙහෙතක් ඇයට දී ඇයගේ ඇස් අන්ධ කළේය. වෙදමහතා ඊළඟ භවයකදී චක්ඛුපාල නමින් පැවිදි වී අර්හත්භාවය ලබා ගත්තේ ඇස් අන්ධ වීමත් සමඟය. ඇස් අන්ධ කළ වෙද මහතා නිරයට නොගියේය.

ධම්ම පදට්ඨ කථාවේ එන ‘කාලි යක්ඛිණී ‘ වස්තුවේ එන කතා පුවතක් මෙසේය. “ එක්තරා කෙළෙඹී පුත්‍රයකුගේ බිරිය වඳ ස්ත්‍රියක් වූවාය. එබැවින් බිරියගේ කැමැත්තෙන්ම කෙළෙඹි පුත්‍රයා වෙනත් ස්ත්‍රියක් සරණ පාවා ගත්තේය. ඇය ගර්භණී වූ විට, වඳ ස්ත්‍රිය , ව¼ඳ බෙහෙතක් සකස් කර දී ඇගේ ගැබ සුන් කළාය. දෙවන අවස්ථාවක දීද පසුව ගෙනා ස්ත්‍රිය ගැබ් ගත් විට, වඳ ස්ත්‍රිය නැවතත් වඳ බෙහෙතක් රහසිගතව සකස් කරදී ඇගේ ගැබ සුන් කළාය . තුන්වන අවස්ථාවේදී ඇය ගැබ් ගත් බව නොකියා සිටියත්, වඳ ස්ත්‍රිය එය පසුව දැනගෙන රහසිගතව වඳ බෙහෙත් සකස් කර දුන්නාය. ගැබ මෝරා තිබූ මේ අවස්ථාවේ දී ගර්භයත් සමඟ ම ඒ ස්ත්‍රිය මරණයට පත් වූයේ ‘තිගේ දරුවනුත් යම් දිනක මම කමි’යි වඳ ස්ත්‍රියට සාප කරමිනි. ඊළඟ භවයේ දී වඳ ස්ත්‍රිය කිකිළියක් වූ අතර අනෙක් ස්ත්‍රිය බැළලියක් වුවාය. බැළලී කිකිළිය දැමූ බිජුවට තෙවරක්ම කෑවාය. අනතුරුව කිකිළී දිවිදෙනක්වද බැළලී මුව දෙනක් වද උපන්නාහ.

ගබ්සා කිරීම මිනී මැරිමකි. තුන්වරක්ම ගබ්සා කොට මවත් මරණයට පත් කළ වඳ ස්ත්‍රිය නිරයට ගියේ නැත.

පෙර ආත්ම භවයකදී වද දී දෙමවුපියන් මරණයට පත්කළ මුගලන් මහරහතන් වහන්සේ මරණයට පත්වූයේ හොරුන් විසින් ඇට කටු පොඩිවන තුරු පහර දීමෙනි. උදේන රජුගේ බිසවක වූ සාමාවතී ගින්නෙන් පිළිස්සි මිය ගියේ පෙර ආත්ම භවයකදී තණකොළ පැදුරුයට වැඩ සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේට නොදැනගෙන හෝ ගිනි දැල්වීම නිසාය.

පව් පල දීම සඳහා අමුතුවෙන් නිරයක් මවා දීම අවශ්‍ය නොවෙයි. ඒ සදහා සුදුසු පරිසරයක් ඉබේම මැවෙන බව මගේ හැඟීමයි. මෙයින් අපට ‘නිරය ‘ නැමැති සංකල්පයක් නොමැති බව පැහැදිලි වෙයි.

පව් පලදෙන ප්‍රධාන ස්ථානය මිනිස් ලොවයි

බාල පණ්ඩිත සූත්‍රය අනුව නම් කයින්, වචනයෙන්, සිතින් පව් කරන්නෝ උපදින්නේ නිරයේ ම ය. එහෙත් දිට්ඨ, ධම්ම වේදනීය කර්මයට අනුව පව්පල දෙන්නන් උපදින්නේ නිරයේ නොව මිනිස් ලොවය, අප බොහෝ දෙනකුට තම තමන්ගේ නෑදෑ හිත මිතුරන්ගේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම ප්‍රතිඵල දැක ඇතිවාට සැකයක් නැත. “මේ ජීවිතයේ දීම පල දෙන කර්මය” යනුවෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් ලියන ලද කෘතියෙහි දිට්ඨධම්ම වේදනීය කර්ම ඵල රාශියක්ම දක්නට ලැබෙන්නේ ය.

පව්පල දීම සිදුවන්නේ මෙලොව දී බවට ඉඟියක් සිඟාලෝවාද සූත්‍රයේ දී අපට ලැබෙයි. ‘අපායමුඛ ‘ නමින් පව්පල දෙන අපාය දොරටු හයක් එහි දැක්වෙයි. ඒ දොරටු හය කම් රහමෙර පානය, අවේලාවේ වීථී සංචාරය, ගී නැටුම් බැලීම, පමාවට හේතුවන දූ කෙළියෙහි යෙදීම, පාපමිත්‍ර සේවනය, හා අලස කමයි. ‘අපායමුඛ ‘ නම් පිරිහීම හා දුක්පීඩා ලැබෙන ස්ථානයි. මේවාට අතිරේකව සතර කර්ම ක්ලේෂ හා සතර අගතිද පාපයට මුල්වෙන අවස්ථා වශයෙන් දැක්වෙයි. මේ සියලුම පව්කම් ක්‍රියාත්මක වන්නේ මිනිස් ලෝකයේ දීය.

සතර අපාය යන්න ‘ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේ ‘ දී තේරුම් කර ඇත්තේ නරකය, තිරිසන් යෝනිය, පේතභවය හා අසුර නිකාය යනුවෙනි. මෙහිදී ‘නරකය ‘ යන්න මා අදහස් කළේ මිනිස් අපාය යන තේරුම ඇතිවය. නරකය යන්න මිනිස් අපාය ලෙස සැලකුවහොත් අපේ ගැටලුව පහසුවෙන් ලිහාගත හැකිය. එහෙත් එය අසරණ තර්කයක් බවත් ත්‍රිපිටකයේ කොහිවත් එවැන්නක් නැති බවත් ජාලිය මනුධ රණවීර මහතා ප්‍රකාශ කරයි.

මිනිස් ලොව හා නිරය දෙකක් බව පෙන්වීම සඳහා අපේ හිතවත් රණවීර මහතා ජීව ලෝක 31 ක් දැක්වෙන විග්‍රහයක් පෙන්වයි. මේ ජීව ලෝක 31 නම් අපාය හතර, මිනිස්ලොව දිව්‍ය ලෝක හය, බ්‍රහ්ම ලෝක දහසය හා අරූප බ්‍රහ්ම ලෝක හතරයි. එහි සඳහන් නිරයත් මිනිස් ලොවත් දෙකක් බව නම් සැබෑය. එහෙත් මගේ ඉදිරිපත් කිරීම අනුව නිරය කියා දෙයක් නැත. එපමණක් නොව මිනිස්ලොව මා සලකන්නේ සුගතියක් නොව දුගතියක් ලෙසය. ‘දුකෙඛ ලෝකෝ පතටිඨිතෝ ‘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන ලද්දේ ලෝකය දුකෙහි පිහිටි බවය. මිනිස්ලොව සම්පූර්ණයෙන් දුක් ගොඩකි. ටික දෙනෙකුට පමණක් මොහොතින් මොහොත වෙනස්වන තාවකාලික සැපයක් එහි ඇත්තේය. බෝසත් කුමාරයා ලෝකය අතහැර, සත්‍යය සොයා අභිනිෂ්ක්‍රමණය කළේ මිනිස් ලෝකය දුකක් බැවිනි. අපාය පිහිටියේ ද මේ මිනිස් ලෝකයේ ම ය. මේ ජීව ලෝක විග්‍රහය බුද්ධ භාෂිතයක් දැයි මට සැකක් සිතේ. මේ ජීව ලෝක විග්‍රහය බුදුපියාණන්ගේ නිපැයීමක් නොව පෙර සිට පැවත එන්නකි. මගේ මේ අදහසට රණවිර මහතා එකඟ වේ දැයි නොදනිමි.

තවද සෝතාපත්ති ඵලයට පත් උතුමා නැවත නිරය ඇතුළු සතර අපායේ නූපදින බව රණවීර මහතා කියයි. මගේ අදහස නම් එතුමා මිනිස් අපායේ අභව්‍ය ස්ථානයකත් තිරිසන් පේත ආදි ලෝකවලත් නූපදිනා බවය. එතුමා උපදින්නේ මිනිස්ලොව යහපත් ස්ථානවලය.

හිතවත් රණවීර මහත්මාණනි, පහත දැක්වෙන්නේ මගේ නිගමනයන් ය.

1. පව් පල දීම සිදුවන්නේ නිරයේ නොව මිනිස් අපායේ, තිරිසන් අපායේ හා පේත ලෝකවලය.

2. එක් අපායක එක් වරක් හෝ කීපවරක් ඉපදීමට ඉඩ තිබේ.

3. සමහර විට මිනිස් තිරිසන් හා පේත යන අපාය දෙකක හෝ කීපයක ඉපදීමටද ඉඩ තිබේ.

4. සෝවාන් පුද්ගලයා උපදින්නේ මිනිස්ලොව සුගතියකය. (යහපත් තැනකය)

5. දරුණුම අපාය වන්නේ මිනිස් අපායයි. එහි පැරැණි දෙතිස් වධ බන්ධන ඇත.ගුවන් අනතුරු විද්‍යාත්මක හා තාක්‍ෂණ වධ බන්ධන ඇත.ජල ගැලීම් , භූමිචලන, කුණාටු , හා සුනාමි ආදි ස්වාභාවික දඬුවම් ද ඇත. ඒ මදිවාට වධකාගාර නැමැති අලුත් සංකල්පයක්ද බිහි වී ඇත. මිනිස් අපායේ වධ අසීමිතය, අප්‍රමාණය.

6. නිරය ගැන කතා කරනවාට වඩා සාන්දෘෂ්ටික විපාක කෙරෙහි අපේ දරුවන් පොළඹවනවා නම් වඩා සුදුසුය. යනු මගේ හැඟීමයි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]