UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීල ශික්ෂාව සම්පූර්ණ වන හැටි

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් විමුක්ති ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් හඳුන්වනු ලබනවා. විශේෂයෙන්ම උන්වහන්සේ විසින් කතංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං අවමේහ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යථිදං

සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ , සම්මා සති, සම්මා සමාධි, යනුවෙන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ මෙහිදී පෙන්වා වදාළ මාර්ග අංග අට හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්ම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය , සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් වායාමය, සම්‍යයක් සතිය සම්‍යක් සමාධිය යනුවෙන් කොටස් කර දක්වන්නට පුළුවන්. මෙකී අංග අට නිවැරැදිව තේරුම් ගැනීම උදෙසා සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ත්‍රිශික්ෂා ලෙස බෙදා තේරුරම් ගැනීම ඉතා ප්‍රයෝජනවත්. මෙවර ලිපිය තුළින් අප සාකච්ඡාවට ලක් කරන්නේ සීලය යන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය පදනම් කරගනිමින් විවරණය කරගන්නේ කෙසේද යන කරුණ පිළිබඳවයි. එහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙනි.

දක්නට ලැබෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන යම් කිසිවකු විසින් නිවැරැදිව පුරුදු වනවා නම් නිවැරැදිව භාවිතා කරනවා නම් එයට අනුකූලව ජීවිතය පවත්වාගෙන යනවා නම් ඔහු සීලය සම්පූර්ණ කරන්නකු වශයෙන් අපට ධර්මානුකූ®ලව හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ලෝකයෙහි අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ නිවැරදි වචනය සම්‍යක් වචනය හෙවත් සම්මා වාචා යනුවෙන් හඳුන්වනු ලබනවා. විශේෂයෙන්ම මාර්ග සත්‍යයට අයත් සම්‍යක් වචනය හඳුන්වන්නේ ඉහත සඳහන් වන අර්ථ විවරණය නොවෙයි. මාර්ග සත්‍යයට අදාළව සම්‍යක් වචනය හෙවත් සම්මා වාචා යනු කුමක්ද? විභංග පාලියෙන් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ මෙලෙස දේශනා කරනවා. “ සත්‍යය ක්‍ෂතා සම්මා වාචා, මුසාවාදා වේරමණී , පිසුණා වාචා වේරමණී , පරුෂා වාචා වේරමණී, සම්ඵප්ප්‍රලාපා වේරමණී , අයට වුච්චති සම්මා වාචා “ එනම් මුසා වදනින් වැළකීම, පිසුණු වදනින් හෙවත් කේළමෙන් වැළකීම, ඵරුෂ වචනයෙන් හෙවත් කනට අමිහිරි කටුක වචනයෙන් වැළකීම, සම්ඵප්‍රලාපයෙන් හෙවත් හිස් වචනයෙන් වැළකීම යන වැරැදි හතරෙන් වැළකීම බුදු සමයට අනුව සම්මා වාචා යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙහිදී ඔබට සිහිපත් කළ යුතුයි. බුදු දහමට අනුව ඔබ බොරුවෙන් වැළකීමට අමතරව සත්‍යය කතාකරන්නකු බවට පත් විය යුතු බව . එවිටයි, සම්මා වාචා යන ඒ උතුම් මාර්ගයට නිවැරදිව එළඹුණු කෙනකු බවට පත්වන්නේ. එලෙසම කේළාම් නමැති එකිනෙකා බිඳවන වචන නොකියා එකිනෙකා අතර සමගිය දියුණු වන එකඟතාවයට එන වචන භාවිතා කිරීම, පිසුණාවාචා වෙරමණී සිල් පදය සම්පූර්ණයෙන්ම රැකීමට සිදු කළ යුතුයි. ඵරුෂ වචනය නම් වූ අනුන්ගේ සිත් රිදවන වචන නොකියා ඉඳීමත් තමනට එබඳු වචනයෙන් අන්‍යයන් දෝෂාරෝපණය කරන වේලාවේදි පවා මෘදු යහපත් වචන කීමත් සම්ඵප්ප්‍රලාපා නම් වු තමන්ගේත් අනුන්ගේත් දෙලොව වැඩ නසන නිරර්ථක නිෂ්ප්‍රයෝජන වචන කීමෙන් වැළකී සෑම වේලාවකම අර්ථානුකූ®ල ධර්මානුකූ®ලව යහපත් නිවැරැදි වචන කීමට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එකී සිල්පදය නිවැරැදිව ආරක්ෂා කිරීමක් ලෙස . මේ ආකාරයට සම්මා වාචාව පුරුදු කරන්නකු හැටියට වචනය මගින් සිද්ධ සිද්ධවන්නා වු ඉහත කී වැරැදි ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම ගිහියකු වුවත් පැවිද්දකු වූවත් නොකර සිටීම අනිවාර්යය කරුණක් බවයි ඔබ වටහා ගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. ඉහත කී ආකාරයට එකී නිවැරදි වාක්‍යය කියන්නට අවස්ථාවක් නැතිනම් බොරුව හැර සත්‍යයට ඉඩක් නැතිනම් කේළමට හැර සමගියට හේතුවන වචන කියන්නට ඉඩක් නැතිනම් සිත් රිදවීමට හැර සිත් සනසන වචන කියන්නට ඉඩක් නැතිනම් ඇරුත් සුන් වූ වචන හැර අරුත් සම්පන්නවූ දෙයක් කියන්නටය. ඉඩක් නැතිනම්, බුදු හිමියන් අපට යෝජනා කරනවා අපට සිහිපත් කරනවා “ ආරියෝ තුන්හි භාවෝ “ ඔබ ආර්ය නිහඬතාවයෙන් යුක්තව ජීවිතය ගත කරන්නට කියලා. එවැනි නිරර්ථක වැරැදි වචන තෙපළමින් ජිවත් වනවාට වඩා ආර්ය නිහඬතාව ඉතා ශ්‍රේෂ්ඨ බවයි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම වන්නේ . එකිනෙකාගේ සීලයෙහි පලමු කොටස සම්පූර්ණ කිරීමට නම් ඉහත පෑනක් කළ ආකාරයට ඔබ වැරැදි වචනයෙන් වැළකී නිවැරැදි වචන කතා කරන්නකු බවට, වැරැදි වචනවලින් වෙන්වී අරුත් සම්පන්න වචන මියුරු වචන තෙපළන්නකු බවට පත්වීම අත්‍යවශ්‍ය බවයි. මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කරුණ වන්නේ එමෙන්ම ශීලයෙහි දෙවනි අංගය නම් කායික ක්‍රියාවලින් වැළකීම. ආත්මාර්ථ සාධකවුත් පරාර්ථ සාධකවුත් උභයාර්ථය පිණිස හේතුවන්නාවුත් නිවැරැදි කායික කි‍්‍රයාවන්ට ලෝකයෙනි. සම්‍යක් කර්මාන්ත හෙවත් නිවැරැදි ක්‍රියා යැයි හඳුන්වනු ලබනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විහංග පාලියෙහිදි වදාරා තිබෙන්නේ ‘සත්‍ය කෂමෝ ,සම්මා කම්මන්තෝ පාණාති පාතා වේරමණී, ආදින්නාදානා වේරමණී කාසෙුම්ච්ඡාචාරා වේරමණී, අයට චුච්චති සම්මා කම්මන්තෝ බුදුන් වහන්සේගේ දේශනයට අනුව යම් කිසි පුද්ගලයකු විසින් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නට පුළුවන්කම ලැබුණොත් අනෙක් අයගේ ජීවිතය ආරක්‍ෂා කරන්නකු බවට අයගේ ජීවිතය ආරක්‍ෂා කරන්නකු බවට පත්වන්නට හැකියාව ලැබුණොත් ඔහු පළමුවන කායික වරදින් ගැළවුණු කෙනකු බවට පළමුවන කායික අකුසලයෙන් වැළකුණු කෙනකු බවට අනිවාර්යයෙන්ම පත්වෙනවා. නමුත් උන්වහන්සේ අවධාරණය කර තිබෙනවා. අප ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් පමණක් ප්‍රාණඝාත නොකර සිටීමෙන් පමණක් මේ සීලය සම්පූර්ණ වන්නේ නැති බව. “ පාණාතිපාතා පටි විරතෝ තුහිත බන්දෝ තුනිත සත්තෝ ලැජ්ජී භයා පන්නේ සබ්බදාන ඥාතානු හිතානුකම්පී විහරති.

බුදුන් වහන්සේ පෙන්වා දෙනවා ප්‍රාණඝාතයෙන් වැළකී දඬුමුගුරු අවි ආයුධ ආදිය දෑතින් බැහැර කර පවට ලැජ්ජාව උපදවාගෙන සතා සිව්පාවා කෙරෙහි අනුකම්පා සමස්ත සත්වයා කෙරෙහිම දයාව කරුණාව හිතානුකම්පී බව සහිතව වාසය කිරීම තමයි, සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම බව, එතකොට ඔබ පර පණ නොනැසීම මෙන්ම අනෙකාගේ ජීවිතය සුරක්ෂිත වන අනෙකාගේ ජිවත් වීමේ අයිතිය තහවුරු වෙන ක්‍රියාකාරකම් කිරීමත් මෙහිදී ඔබගේ සීලය සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය බව අවබෝධ කරගත යුතු වනවා.

ඒ වගේමයි, අදින්නාදානා වේරමණී යන්නෙන් පෙන්වා දෙන සොරකම් කිරීමෙන් වැළකීම, එනම් අන් සතු දෙයක් සොර චේතනාවකින් ගැනීමේ චේතනාවෙන් නොදුන් දෙයක් අරගැනීම මෙහිදී අදින්නාදානා යනුවෙන් අපට අර්ථ විවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අප අවබෝධ කරගත යුතුයි.

සොරකම හෙවත් අනුන්ගේ දේ නොගෙන සිටීමෙන් නොගැනීමෙන් පමණක් එම සීලය සම්පූර්ණ වන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ පුද්ගලයකු බවට පත්වන්නේ නෑ. ඔබ එය සම්පූර්ණ සීලයක් බවට පත්කරගන්න නම් අනෙක් අයගේ ජීවිතය ආරක්‍ෂා කරනවා සේ ම අනෙක් අයගේ දේපල පිළිබඳ අයිතිය සුරකින්නකු බවටත් පත් විය යුතුයි.

කාම මිථ්‍යාචාරයෙන් වැළකීමත් කායිකව සිදුවන අකුසල ක්‍රියාවකින් වැළකීමක් ලෙසයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. බිරියක් යම් කිසි ආකාරයකින් වෙනත් කෙනකු සමග මෛථූන සේවනය කරනවා නම් එය කාම මිථ්‍යාචාරය කාමයෙහි වැරැදි ලෙස හැසිරීමකි. අත්‍යවශ්‍යයෙන්ම මේ ශික්‍ෂාපදය ආරක්‍ෂා කළ යුතු බවයි බුදුසමය පෙන්වා දී තිබෙන්නේ.

ගෘහ ජීවිතය තුළ ස්වකීය බිරියගෙන් හෝ සැමියාගෙන් කාම ආශ්වාදය ලැබීම තහනම් නැති වුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ගිහියා විසින් කිසි ලෙසකින් හෝ පවුල් ජීවිතයෙන් පිටත කාම ආශ්වාදයක් කරා නොයා යුතු බවයි. බුදුසමය අවධාරණය කර සිටින්නේ. ඒ අනුව ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වන සීල නමැති ශික්ෂණය සම්පූර්ණ කරන්නකු නම් සම්මා වාචා මාර්ගාංගය මෙන්ම සම්මා කම්මන්තයට අයත් ඉහත අකුසල ක්‍රියා තුනෙන් වෙන් වී දේපළ රකින, ජිවිත රකින පවුල් ජීවිතවල එකිනෙකාගේ අයිතිය සුරක්‍ෂිතතාව තහවුරු කරන පුද්ගලයකු බවට පත්වීම අත්‍යවශ්‍ය බවයි, මෙහිදී ඔබට සිහිපත් කරන්නේ.

සම්‍යක් ආජීව යනුවෙන් බුදුරජාණනන් වහන්සේ පෙන්වා දෙනවා ‘කත්ථ කතමෝ සම්මා ආජීවෝ ‘ උභ අරිය සාවකෝ මිථ්‍යා ආජීවං සහාය සම්මා ආජීවේන ජීවිතං කප්පෝති අයං වුච්චති සම්මා ආජීවෝ “

මේ ඔබගේ ජීවිත පැවැත්ම හා සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ මඟපෙන්වීමකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවිතය නිවන් මඟෙහි ගමන් කරවන පුද්ගලයෙකු අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා සිදුකරන්නා වූ වෘත්තීය දැහැමි පදනමක පිහිටා පවත්වාගෙන යා යුතු බව ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් දැහැමි ජීවන වෘත්තීන් ලෙස රාජ්‍ය සේවය ආදී වූ දැහැමි ජීවන වෘත්තීන් සොරකමින්, බොරුවෙන් වංචාවෙන් වැළකී නිවැරැදිව සිදුකිරීම අගය කර තිබෙනවා. කෘෂි කර්මාන්තය වැනි වෘත්තියක නියැළෙනවා නම් සතා සිවුපාවන්ගේ ජීවිත පැවැත්මට හානිකර නොවන අයුරින් සතුන් ජලය ආදිය විනාශ නොවන ලෙස එම වෘත්තිය කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම වෙළෙඳාම ද දැහැමි ලෙස කළ හැකි ජීවන වෘත්තියක් ලෙස බුදු දහමෙන් අගය කර තිබුණා. අප එය අවබෝධ කරගත යුතුයි. තුළා කූට, මාන කූ®ට, කංඩිකූට හොර කිරුම් මිනුම් ආදියෙන් වැළකී, නිවැරැදිව වෙළෙඳාම කරනවා නම් පමණයි, බුදු දහම එය යහපත් ජීවන වෘත්තියක් ලෙස අගය කරන්නේ. එසේම නොකළ යුතු ව්‍යාපාර වෘත්තීන් පහකුත් බුදුරජාණන් වහන්සේ මිථ්‍යා ආජීව යටතේ පෙන්වා දී තිබෙනවා. එනම් වස වෙළෙඳාම අවි ආයුධ වෙළඳාම මාංශ වෙළෙඳාම , මත්ද්‍රව්‍ය වහල් වෙළෙඳාම වැනි වෙළඳාම් වලින් වැළකීය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මෙම වැරැදි වෙළෙඳාම් වලින් වැළකී නිවැරැදි වෙළෙඳාම් කිරීම යහපත් ආජීවය හෙවත් යහපත් ජීවිතයක් පවත්වාගෙන යෑමකි. ඉහත සඳහන් කරන ලද සම්‍යක් අජීවය නැතිව සීලය සම්පූර්ණ කරන්නට පුළුවන්කමක් නැහැ. අවි ආයුධ වෙළෙඳාම් කරන්නෙක් ප්‍රාණඝාතයට ඍජුවම සම්බන්ධ වනවා. මාංශ වෙළෙඳාම් කරන්නෙකි.වස විස කරන්නෙක් ප්‍රාණඝාතයට ඍජුවම සම්න්ධවනවා. මේ සම්බන්ධ වීම තුළ ඔහු දුසිල්වත් වන නිසා බුදු හිමියන් පෙන්වා දෙනවා. සම්‍යක් ආජීවයක් නැති බව දුසිල්වත් වීමක් බව ඒ අනුව මේ ලිපිය තුළින් ඔබ අවබෝධ කරගන්නට අවස්ථාව සලසා ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව අපි කොහොමද සීලය සපුරන්නේ කියලා. ඒ අනුව සම්මා වාචා (නිවැරැදි වචනය) කතා කරන, වැරැදි වචන වලින් වැළකුණු කෙනෙක්. බවට පත්වීම,සම්මා කම්මන්ත (නිවැරැදි ක්‍රියාකාරකම් කරන වැරැදි කායික ක්‍රියාවලින් වැළකුණු කෙනෙක් බවට පත්වීම, සම්මා ආජීව (වැරැදි ජිවිකාවෙන් ඉවත් වී) නිවැරැදි ජීවිකාව කරන කෙනෙක් වීම යන කරුණු තුනෙන් ඔබ යුක්ත නම් බුදුසමයේ විමුක්ති මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය නම් වූ ශික්‍ෂණය . ත්‍රිශික්ෂාවේ පළමු ශික්ෂණය සම්පූර්ණ කළ පුද්ගලයකු බවට ඔබ පත් වන බවයි ඔබ විසින් වටහාගත යුතු වන්නේ.

සටහන - හේමමාලා රන්දුනු

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]