UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 

හොරණ - තලගල මංගලාරාමය සහ ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන ගිරිභණ්ඩ පූජාව සැප්තැම්බර් 11 වනදා පෙරවරු 10.00 ට තලගල මංගලාරාමයේදී සිදු කෙරේ. මෙවර ගිරිභණ්ඩ පූජාව පවත්වනු ලබන්නේ අම්පාර දිස්ත්‍රික්කය පුරා පිහිටි විහාරස්ථාන 150 ක වැඩවෙසන ආර්ථිකමය වශයෙන් දුෂ්කරතා මධ්‍යයේ ශාසනික මෙහෙවරෙහි නිරත භික්ෂූන් වහන්සේ වෙතය. වසර හතරක් පුරා එම ගිරිභණ්ඩ පූජාව උදෙසා ඇපකැප වනුයේ තලගල මංගලාරාමාධිපති ශ්‍රී සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ තලගල සුමනරතන නාහිමිපාණන් ය.

එම ගිරිභණ්ඩ පූජාවේ ඉතිහාසමය තොරතුරු ගැන ි තලගල සුමනරතන නාහිමිපාණන්ගෙන් විමසූවෙමු.

ක්‍රි.ව. 09 - 21 අතර රජකළ මහාදාඨික මහානාග රජතුමාගේ අදහසක් පරිදි ගිරිභණ්ඩ පූජාව පවත්වා ඇත්තේ මේ සම්බන්ධව මහාවංශය, දීපවංශය, විසුද්ධි මාර්ගය, පාලි රසවාහිනිය, සද්ධර්මලංකාරය වැනි අපේ වංශ කතාවන්හි සහ බෞද්ධ සාහිත්‍යය ග්‍රන්ථන්හි විස්තර දැක්වෙනවා. මහානාග රජතුමා මිහින්තලයේ සේල චෛත්‍යය කරවා බුදුසසුනට පූජා කරන අවස්ථාවේ මෙම මහඟු පින්කම කර තිබෙන්නේ.

ඓතිහාසික මූලාශ්‍රයන්හි විස්තර වන අන්දමට එම පින්කම සිදුකිරීමේදී රජතුමන් විසින් අදාළ පසුබිම සකස්කර තිබෙන්නේ මේ ආකාරයෙන්. ලංකාව වටේ මහමුහුදේ ඔරු පාර මත දහසක් පහන් දල්වා පහන් පූජාවක් පැවැත්වීම, සතර වාහල්කඩ දන්සැල් පවත්වා දුගී මගී යාචකාදීන් ට දන්දීම සියලු මංමාවත්හි කොඩි සේසත් ධජ පතාක ආදියෙන් සැරසීම, නැටුම් ගැයුම්, සහිත පුද පූජා පැවැත්වීම, මල්වතු ඔයේ සිට මිහින්තලාව දක්වා පියවිලි එලා මල්වතු ඔයෙන් පා සෝදා සුවිසි දහසක් මහා සංඝරත්නය සෑගිරියට වඩමවා කැපසරුප් පූජා භාණ්ඩ කන්දක් පූජාකිරීම, සංඝරත්නය වෙත තුලාභාර දාන (තමන්ගේ ශරීරයේ බරට වී සහල් ආදිය පූජා කිරීම) ඉන්පසුව රජතුමාත් බිසවත් දරු දෙදෙනාත් පූජා වී මංගල හස්තියා සහ මංගල අශ්වයා ද පූජා කරන ලදැයි සඳහන් වේ. මෙබඳු පූජනීය ඓතිහාසික පූජාවක් ගැන වංශකතා ඇතුළු වෙනත් මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ නැතැයි සඳහන් වෙනවා.

මෙම ගිරිභණ්ඩ පූජාව පූර්වාදර්ශයට ගත් අප උතුරු නැඟෙනහිර දෙපළාතෙහි උග්‍ර ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් ශාසනික මෙහෙවරෙහි යෙදෙන ස්වාමින් වහන්සේ වෙත මෙම ගිරිභණ්ඩ පූජාව සිදුකරන්නට සැලසුම් කළා. උතුරු නැ‍ෙගනහිර ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී උවදුරු පැවැති කාලයේ ඒ ස්වාමීන් වහන්සේලා ජීවත්වූයේ ඉතාමත් බියෙන් සංත්‍රාසයෙන්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූර්දර්ශී නායකත්වය යටතේ අද ඒ ව්‍යසනය ඒ පළාතේ පමණක් නොව මුළු රටෙන්ම තුරන්වෙලා. නමුත් එම විහාරස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේ ගත කරන ජීවිතය ඉතා දුක්ඛදායකයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා දිළිඳු ගම්මානවල පිහිටි 150 ක් පමණ විහාරස්ථානවල වැඩ වෙසෙන ස්වාමින් වහන්සේ සැප්තැම්බර් මස 11 වැනි දින තලගල මංගලාරාමයට වැඩමකර මෙම ගිරිභණ්ඩ පූජාව පවත්වනවා.

මෙම ගිරිභණ්ඩ පූජාව සඳහා සැදැහැවතුන්ට ක්‍රම කිහිපයකින් දායකත්වය ලබා දෙන්නට පුළුවන. එක් විහාරස්ථානයකට පූජාකරන රු. 40,000 ක් වටිනා පිරිකර කට්ටලයක් භාර ගැනීම, පිරිකර ලේඛනයට අදාළව තමන් කැමති පිරිකර ප්‍රමාණයක් පූජා කිරීම, එම විහාරස්ථානවලට මාසික හෝ වාර්ෂික දානයක් සඳහා දායකත්වය භාරගැනීම, විහාරස්ථානයක කඨින පින්කමකට හෝ පොදු කඨින පින්කමකට ආධාර කිරීම, විහාරස්ථානයක ගොඩනැගිල්ලක් තනාදීමට අලුත්වැඩියා කිරීමට උපකාර කිරීම, විදුලි ආලෝකය සඳහා ආධාර කිරීම, ශ්‍රී සිද්ධාර්ථ පදනමෙන් විමසා වෙනත් සේවාවන් ලබාදීම වශයෙන්. මෙම ගිරිභණ්ඩ පූජාව සඳහා පිරිනමන පූජා භාණ්ඩ තලගල මංගලාරාමයේදී භාර ගනු ලැබේ. මීට අතිරේකව කොළඹ තිඹිරිගස්යාය අශෝකාරාමය, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, හොරණ රජමහා විහාරය, පිළියන්දල සුවරපොළ තපෝදරාමය, බණ්ඩාරගම අළුබෝමුල්ල ශ්‍රී සුදර්ශනාරාමය, හෝමාගම ඉන්ද්‍රා මල් ශාලාව වේ.

බුද්ධ පූජා භාණ්ඩ, බෞද්ධ සහ ජාතික කොඩි, මුතු කුඩ, අටපිටිකර, සිවුරු, අඳන, පත්කඩ, වටාපත් සහ පරිභෝග උපකරණ දහම් පොත්, ආවාසයට අවශ්‍ය භාණ්ඩ මුළුතැන් ගෙයට අවශ්‍ය භාණ්ඩ වශයෙන් භාණ්ඩ 100 ක් පමණ පිරිකර ලේඛනයට ඇතුළත් වේ.

මෙම පින්කමට අදාළව සම්මාදන් පත්‍රිකා නිකුත් කර නොමැති අතර අවසර රහිත ව්‍යාජ සම්මාදන්වලට මුලා නොවන්න යැයි තලගල සුමනරතන නාහිමිපාණෝ ඉල්ලීමක් කරයි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]