UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වුදිගින් පැමිණි වරම් රජවරු සතරදෙන (චතූහිදිසාහි චත්තාරො මහාරාජානො) මුලින් ඉන්ද්‍රනීලමානික්‍යමය (ඉන්දනීලමණිමයෙ - ඉඳුනිල්මිණිමුවා) පාත්‍ර සතරක් පිළිගැන්වූ නමුත් එය පූර්ව බුදුසිරිත් බලා ප්‍රතික්ෂේප කළ හෙයින් දෙවනුව මුංවන් පැහැ ඇති ශෛලමය පාත්‍ර (මුග්ගවණ්ණසෙලමයෙ - මුගුවන් පැහැ ඇති සෙල්මුවා) සතරක් පිළිගැන් වූ පසුව ඔවුන්ට අනුකම්පා පිණිස සතර ම එකක් කර තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද බව ජාතකට්ඨකථාවේ (77 පිටුව) ද අමාවතුරේ (33 පිටුව) ද පූජාවලියේ (206 පිටුව) ද කියැවේ. ඉන්පසුව බුදුපියාණන් වහන්සේ පරිහරණය කරන ලද්දේ එම ශෛලමය පාත්‍රය යි.

ධර්මතාවක් වශයෙන් සත්සතිගත කර අවසන් වන සෑම ලොවුතුරා බුදුවරයෙකුටම පළමු දානය පිළිගැනීම සඳහා ශෛලමය පාත්‍රය පූජාකරනුයේ සිවුවරම් රජදරුවන් බව ථෙරගාථාට්ඨකථාවෙන් හෙළිවේ. (ථෙරගාථාට්ඨකථා 1 - 1918 - 136 පිටුව) එහි එන සීවලිෙත්‍ථරගාථා වණ්ණනාවෙහි විපස්සි බුදුපියාණන් වහන්සේ පිළිබඳව ‘සත්ථා තස්ස අනුකම්පං පටිච්ච චාතුම්මහාරාජා දත්තියෙන සෙලමයපත්තෙන තං පටිග්ගහත්වා...’ ශාස්තෘන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස සිවුමහරජවරු දුන් ශෛලමය පාත්‍රයෙන් එය පිළිගෙන.... මෙම සඳහන අනුව සෑම බුදුවරයෙකුට ම ශෛලමය පාත්‍රය පිළිගන්වනුයේ සිවුවරම් රජදරුවන් බව කිව හැකිය.

උරුවෙල් කාශ්‍යප ජටිල දමනය අවස්ථාවේ සිවුවරම් රජදරුවෝ රෑ පෙරයාමයෙහි පැමිණ මහත් ගිනිකඳ සතරක්සේ බැබලෙමින් භාග්‍යවතුන් වහන්සේ සිවුදෙසින් සිටගත්හ. (මහාවග්ග පාළි - 1 - 2006 - 56 පිටුව) ‘අථ ඛො චත්තාරො මහාරාජා අභික්කන්තාය රත්තියා අභික්කණ්තවණ්ණා කෙවලකප්පං වනසණ්ඩං ඔහාසෙත්වා යෙන භගවා තෙනුපසංකමිංසු. උපසංකමිත්වා යෙන භගවා තෙනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා චතුද්දිසා අට්ඨංසු සෙය්‍යථාපි මහන්තා අග්ගික්ඛන්ධා.’ එකල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කාශ්‍යප ජටිලයාගේ අසපුවට නුදුරෙහි එක්තරා වන ලැහැබක විසූසේක. එකල්හි සතරවරම් මහරජ හු රෑ පෙරයම ඉක්මගිය කල්හි විශිෂ්ට ශරීරවර්ණ ඇතිව සියලු වන ලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිය හ. පැමිණ උන්වහන්සේ ගේ පා වැඳ මහත් ගිනිකඳන් සතරක් සේ සිව්දිග සිටියහ. සතරවරම් මහරජවරු ධර්මය ඇසීමට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි බව ඇසු උරුවෙල කාශ්‍යප ‘මේ මහාශ්‍රමණ තෙම මහත් සෘද්ධි ඇත්තෙකි. මහානුභාව ඇත්තෙකි යි සිතයි. වරම් රජදරුවන් සතරදෙන තුන්ගවු උස දිව්‍ය ශරීරයෙන් අවුත් දිලිහි දිලිහී සිටගත් බවත්, බුදුහු පාන් ඇගෑ සතරක් මැද දිලියෙන රන් දාගැබක් සේ ශ්‍රීමත්ව වැඩහිඳ ඔවුන්ට බණ වදාළ බවත් පූජාවලියේ (228 පිටුව) දැක්වේ. මහාවග්ග පාළියේ දැක්වෙන පරිදි මෙය තථාගතයන් වහන්සේ ජටිල දමනයේ දී පෑ දෙවැනි ප්‍රාතිහාර්ය යයි. මෙම විස්තරයෙන් පැහැදිලි වනුයේ වරම් රජවරු හා සාකච්ඡා කිරීමේ හැකියාව මනුෂ්‍යභාවය ඉක්මවා සිටි අතිමානුෂික කුසලතාවයක් බවයි.

මහාසමය හා අටානාටිය යන මහා සූත්‍ර ධර්මදේශනාවල දී වරම් රජවරුන්ගේ සහභාගීත්වය වෙසෙසින් කැපී පෙනේ. කාශ්‍යදනවුව වූ කිඹුල්වත්පුරය සමීපයේ වූ මහාවනයෙහි සියලුදෙනා ම රහත් වූ පන්සියයක් භික්ෂූන් වහන්සේ පිරිවරා වැඩ සිටි අවස්ථාවක දස දහසක් ලෝකධාතුවල දෙවියෝ බුදුරදුන් ප්‍රමුඛ සංඝරත්නය දකිනු රිසියෙන් එහි රැස්වූහ. එම අවස්ථාවට පෙරදිගට අනුශාසනා කරන ගාන්ධර්වයන්ගේ අධිපති වූ ධතරට්ඨ වරම් රජු ද දකුණු දිශාවෙහි අනුශාසනා කරන කුම්භාණ්ඩයන්ගේ අධිපති වූ විරූළ්හ වරම්රජු ද බටහිර දිශාවට අනුශාසනා කරන නාගයන්ගේ අධිපති වූ විරූපාක්ෂ වරම් රජු ද උතුරු දිශාවට අනුශාසනා කරන යක්ෂයන්ගේ අධිපති වූ කුවේර වරම්රජු ද ඉන්ද්‍ර යන නම ඇති මහාබලවත් සෘද්ධිමත් බොහෝ දිව්‍යපුත්‍රයන් පිරිවරාගෙන පැමිණියහ.

පුරිමං දිසං ධතරට්ඨො - දක්ඛිණෙන විරූළ්හකො
පච්ඡිමෙන විරූපක්ඛො - කුවෙරො උත්තරං දිසං
චත්තාරො තෙ මහාරාජා - සමන්තා චතුරො දිසා
දද්දල්ලමානා අට්ඨංසු - වනෙ කාපිලවත්ථ වෙ“

එසේ සපැමිණි වරම්රජවරු සිවුදෙන ඒ මහාවනය හාත්පස දල්වන ලද ගිනිජාලා සේ බබුළුවමින් සිටියහ. මේ අවස්ථාවෙහි දී දසදහසක් සක්වල වසන සතලිස් දහසක් වරම්රජවරු පැමිණ මහාවනයේ පටන් සක්වල ගැබ පුරා ඒ ඒ දිශාවෙහි සිටි බව සුමංගලවිලාසිනියේ කියැවේ. (දීඝනිකායට්ඨකථා  ii 1925 - 489 - 490 පිටු)

වරක් ගිජුකුළු පවුවෙහි වැඩවෙසන බුදුරජාණන් වහන්සේ වෙත රාත්‍රී මධ්‍යමයාමයෙහි මහාබලසෙනඟ සිවුදිග ආරක්ෂාවට තැබූ සතරවරම් මහරජදරුවෝ (චත්තාරො මහාරාජා) සිය පිරිවර සමඟ පැමිණ මැනවින් තථාගතයන් වහන්සේට වැඳ එකක් පසෙක හුන්හ. (එකමන්තං නිසීදිංසු) (දීඝනිකාය iii - 2006 - 316 - 322 පිටු) ඉන්පසු සෙසු වරම් රජවරුන් වෙනුවෙන් වෙස්සවණ වරම් රජු බුදුරදුන්ට තමන් ප්‍රබන්ධකරගෙන පැමිණි ආරක්ෂක පිරිත ප්‍රකාශ කළේ ය. මෙම ආටානාටිය සූත්‍රයේ ද වරම් රජවරු සතරදෙනා පිළිබඳ වර්ණනාවක් ඇතුලත් වේ.

නමෝ සාතාගිරො යක්ඛො - තස්ස ච අසුරින් දෝ
භගවතො චත්තාරො මහාරාජා - සක්කො අරහතො තථා
සම්මා සම්බුද්ධො ති මහාබ්‍රහ්මා’

යනුවෙන් කියැවෙන නමස්කාර පාඨයේ ප්‍රභවය දක්වන තැන්වලදී සිවුවරම් රජවරු ‘භගවතො’ යැයි බුදුපියාණන්ට නමස්කාර කළ බව කියැවේ.

2. බුද්ධ ශ්‍රාවකයන්ට සිවුවරම් රජදරුවෝ සැලකු අවස්ථා.

සැරියුත් මහ රහතන් වහන්සේගේ ඇසුර නිති පි‍්‍රය කළ සිවුවරම් රජදරුවෝ පිරිනිවීමට සිය උපන් නිවසට වැඩමකළ උන්වහන්සේගේ පා වැඳ අවසර ගැනීමට මධ්‍යම රාති‍්‍රයෙහි පැමිණියහ. පිරිනිවන් පෑ මහාප්‍රජාපතී ගෞතමීගේ දෙන සහිත රන්සිවිගෙය සිවුකොණින් අල්ලා ඔසවාගෙන ගියේ සිවුවරම් රජදරුවන් බව අපදාන පාළියේ ‘චත්තාරො ලොකපාලා තෙ අංසෙහි සමධාරයුං’ යනුවෙන් කියැවේ. මෙලෙසින් බුදුරජාණන් වහන්සේට ද බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට ද ගෞරවයෙන් උපස්ථාන කළ සිවුවරම් රජදරුවෝ නිසි වේලෙහි නිසියාකාරව කටයුතු කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

අභිධර්ම ග්‍රන්ථවල කාම සුගති භූමි විස්තරයේ දී මනුෂ්‍ය භූමියට ඉහළින් පිහිටි චාතුම්මාරාජික භූ®මියක් පිළිබඳව විස්තර කෙරේ. සදිව්‍ය ලෝකයන්ගෙන් පළමු වැන්න වන චාතුම්මහාරාජිකයේ සියලු භූම්‍යස්ථ දෙවියෝ ද විනිපාතික අසුරයෝ ද ඇතුලත් වෙති. සතරවරම් රජදරුවන්ට ගෞරව කටයුතු හෙයින් ද ඔවුන්ගේ වාසස්ථාන ය වූ බැවින් ද මීට ‘චාතුම්මහාරාජික’ යන නම යෙදෙන බව ‘සද්ධම්මපජ්ජෝතිකා නාම මහානිද්දේසට්ඨකථා’ වේ ‘ධතරට්ඨ විරූළ්හක විරූපක්ඛ කුවෙර සංඛාතා චාතුම්මහාරාජා ඉස්සරා එතෙසන්ති චාතුම්මහාරාජිකා’ යනුවෙන් කියැවේ. භූ®මිවැසි දෙවියන්ගේ ශබ්දය අද චාතුම්මහාරාජික දෙවියෝ ශබ්ද පැවැත් වූ ආකාරය ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා අවස්ථාවේත්, සුදින්න තෙරුන්ගේ පාරාජිකාපත්ති විස්තරයේත් සඳහන් වේ. (මහාවග්ග පාලි 1 2006 - පි/14) පාරාජිකා පාළි - 2006 - පි. 42) බුදුරදුන්ගේ අටපිරිසට චාතුර්මහාරාජික දෙවියන්ද අයත් වන බව ‘ශ්‍රී සද්ධර්ම කෝෂය’ නම් ග්‍රන්ථයේ පැවසේ. අභිධර්ම විවරණයන්හි කාම සුගති විස්තරයේදී මනුෂ්‍ය ලෝකයට ඉහළින් චාතුම්මහාරාජික දෙව් ලොව ඇති බව පැවසුනත්, උක්ත විනය ග්‍රන්ථවල භූම්‍යස්ථ දෙවියන්ට ඉහළින් චාතුම්මහාරාජිකයන් ගේ නාමය දැක්වේ.

බෞද්ධ විශ්වාසය අනුව තාවතිංස හා චාතුම්මහාරාජික යන දෙදෙව්ලොවට ම අධිපතිකම් කරනුයේ සක්දෙවිඳු ය. ශක්‍ර දේවේන්ද්‍රයාගේ් ‘පරිවාර දෙව් රජවරු සිවුදෙන’ ලෙස ද සංයුත්ත නිකායේ සක්ක නමස්සන සූත්‍රයේ (චත්තාරො ච මහාරාජා - තිදසා ච යස්සසිනො) සිවුවරම් දෙවිවරු පිළිබඳව කියැවේ. ‘ශක්‍රයාට වඳින පිරිස අතර සිවුවරම් රජදරුවෝ ද වෙති’ ශක්‍රදේවේන්ද්‍රයාගේ් පාලනයේ පහසුව සඳහා වරම් රජවරුන්ට සිවු දිශාව පවරා ඇත. එනිසා සිවුවරම් රජදරුවන් ‘ලෝකපාලක දෙව්වරු’ නමින්ද හැඳින්වේ. ඒ අදහස පිළිගන්නා නෙත්තිප්පකරණට්ඨකථාවේ ‘ලොකං පාලෙන්තීති ලොකපාලා. චත්තාරො මහාරාජානො’ යනුවෙන් ලෝකපාලක දෙව්වරු සතරවරම් දෙව්වරු බව කියයි. ඇතැම් නිකායිකයින් ඉන්ද - යම - වරුණ - කුවෙර යන සතර දෙන ලෝකපාලක දෙවිවරු ලෙස සැලකූ බව ද නෙත්තිප්පකරණට්ඨකථාවේ කියැවේ. පුන්පෝදා තව්තිසාවේ පැවති මහාද්ව සමාගමයට ගිය සිවුවරම් දෙවිවරු, දෙව් සබයේ සිවුදෙස බබලවමින් සිටි බව පංචසික දෙව්පුත් බුදුරදුන් ඉදිරියේදී පවසයි. (දීඝනිකාය - ii - මහාගෝවින්ද සූත්‍රය) ශක්‍ර දේවේන්ද්‍රයෝ නිතර ම පාලන ගැටලු පිළිබඳව වරම් රජවරුන් සමග අදහස් හුවමාරු කරගන්නා බව ඒ අනුව පැහැදිලි වේ.

අංගුත්තර නිකාය, පූජාවලිය වැනි බෞද්ධ මූලාශ්‍ර තොරතුරු අනුව චුලනිකා ලෝකධාතුවක් තුළ වරම් රජදරුවෝ සාරදහසක් වෙසෙන බව පවසන තිලකරත්න මහතා සිවුවරම් දේව සංකල්පය පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වයි. (දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය 2003 - පීපී.73- 76) චෛත්‍යයක සතර පැත්තේ ඉදිවෙන වාහල්කඩ සතරින් සිවුදිසාවට අධිපතිවරම් රජවරු සංකේතවත් කරන බව එතුමාගේ අදහසයි. ඔහු පෙන්වාදෙන පරිදි වරම් රජවරු සතු කුසලතා තුනකි.

1. සිය ශක්තියෙන් සක්වල ගැබ තුල ඕනෑම තැනකට යා හැකිවීම
2. අභිමත ආකාරයෙන් වහා වෙස් මාරුකර ගැනීමට හැකිවීම
3. ඒ ඒ රාජ්‍ය අතර අහසින් ගමන්කළ හැකිවීම

ථෙරවාද ත්‍රිපිටකයේ වරම් දෙව්රජවරු පිළිබඳව දැක්වෙනුයේ ඉතා අල්පව යැයි පවසන ගැමුණු සිරි ගමගේ මහතා ‘සතරවරම් දේව ඇදහීම’ මහායාන බෞද්ධ සම්ප්‍රදායයෙහි අතිශය ජනපි‍්‍රය අංගයක් බව පෙන්වා දෙයි. ‘පිරිතෙහි පරිණාමය - 2003 පි - 144, 150)

බෞද්ධ චින්තනය අනුව දානමය පින්කම් කිරීමේ අරමුණු අතරින් ලෝකපාලක සිවුවරම් රජදරුවන්ට පින්දීම ද එක් අරමුණක් ලෙස දැක්වේ. ‘පේතවත්ථු පාළි’ පිට්ඨධීතලික පෙතවත්ථු වේ.

යංකිඤචාරම්මණං කත්වා දජ්ජාදානං අමච්චරී - පුබ්බපෙතෙ ච ආරබ්භ අථවා වත්ථු දේවතා
චත්තාරො ච මහාරාජෙ ලොකපාලෙ යසස්සිනෙ - කුවෙරං ධතරට්ඨං ච විරූපක්ඛං විරූළ්හකං
තෙචෙව පූජිතා හොන්ති දායකා ච අනිප්ඵලා’ යනුවෙන් මෙම කාරණය දක්වා ඇත.

ත්‍රිවිධ දේව වර්ගීකරණය අනුව වරම් රජදරුවන් ‘උත්පත්ති දේව‘ සංඛ්‍යාවට ගැනේ. කුවේර ආදි දෙව්රජවරු නානාවිධ යාගයන් සිදුකොට එම තනතුරු ලබාගත් ආකාරය භූරිදත්ත ජාතකයේ දැක්වේ. මහණ බමුණන්ට නිසි යුතුකම් ඉටුකර ධතරට්ඨාදී දෙව්වරු ශක්‍ර විෂයට පත් වූ බව මහා නාරද කස්සප ජාතකයේ කියැවේ. පායාසි සූත්‍රයේ දැක්වෙන පරිදි නොසකසා දන් දුන් පායාසි රාජඤ්ඤ මරණින් පසු චාතුම්මහාරාජිකයේ ඉපදුනි. නිද්දේසට්ඨකථාවට අනුව සම්‍යක් දෘෂ්ටියට පැමිණ නිසි පුද්ගලයන්ට සත්කාර සම්මාන ගරුකාරාදිය සිදුකරන්නන්ට පරලොවින් ලැබෙන ආනිසංස අතරින් වරම් දෙව්රජවරු ලෙස ඉපදීමට හැකිවීම එකකි. ඒ අනුව දානමාන සත්කාරගරුකාර අපචායනාදී දස පින්කිරියවත් කිරීමෙන් සිවුවරම් දෙවියන් ලෙස උත්පත්තිය ලැබීමේ හැකියාව පවතින බව කිව හැකිය.

ලක්දිව මේ සතර වරම් දෙව්වරුන්ට කැප කළ දේවාල පිළිබඳ තොරතුරු එතරම් ප්‍රකට නැත. රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ සිවුවරම් දේවරූප ඇතිබව මහාවංසයේ කියැවේ. (30 පරි. 89 ගාථාව) චතුද්දිසං තෙ චත්තොරො මහාරාජා ධීතා අහු. මහාසෑ ධාතු නිධානයේ දී (චත්තාරොතු මහාරාජා අට්ඨංසු ඛග්ගපාණිනො) සෝණුත්තර හිමි නාලොව සිටි ධාතු ගෙනවුත් මතු වූ ස්ථානයේ සිට (ථෙරස්ස උග්ගතට්ඨානෙ) මහසෑය දක්වා වූ ධාතු පෙරහැරේ වරම් දෙව්වරු කඩුගත් අත් ඇතිව සිටියහ. (31 පරි. 79 ගාථාව) ඉපැරණි බෞද්ධ දෙව්වරුන් වූ මොවුන්ට පුද පූජා කිරීම කෝට්ටේ යුගයෙන් පසු හින්දු සමයේ බලපෑම නිසා යටපත් විය. එනිසා බෞද්ධ දෙව්වරු යටපත් වී වෙනත් දෙව්වරු ඉස්මතු විය. කැලණිය රජමහ විහාරයේ චිත්‍ර අතර සතර දිශාවට අරක්ගත් සිවුවරම් දෙවියන්ගේ රූප සිතුවම් කර ඇත. සතර වරම් දෙවිවරුන්ට කැප වූ දේවාල සතරක් මාතර පරෙයිදුව - රන්දූපතේ ඉදිකර තිබේ. සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූර කොළවල සිවු පැත්තෙහි වරම්දේව රූප ඇඳීම සිරිතකි. ගැමි වහරෙහි එන ‘සීවරන් දෙයියනේ’ වැනි විශ්මායාර්ථ ප්‍රකාශන හා ඇතැම් ජනකවි වලින්ද සිවුවරම් දේව සංකල්පය ලංකා ජනසමාජයෙහි මුල්බැසගෙන ඇති ආකාරය වටහාගත හැකිය.

උදේ සිටන් වකුටු කොන්ද දිග හැර      පල්ලා
අතේ තිබෙන ගොයම් මිටිය බිම දා      පල්ලා
ඉසේ තිබෙන ලේන්සු පොඩි අතට ග   නිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩ පළ යල්ලා

මහබෝගලට අපි ඇවිදින                       දු කා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයා       ක කා
පනන් විස්ස ණය වෙනකොට සිතේ   දු කා
සතර වරම් දෙව් පිහිටෙන් නොවන්   දු කා

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]