UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානයට දායක වන ලෙස කැරෙන ඇරැයුමයි

ලොව පහල වූ බුදු පසේ බුදු , මහ රහතන් වහන්සේලා අත් නොහැර දුන් උතුම්ම දානය කුමක්දැයි ඔබෙන් යමෙක් විමසුවහොත් ඔබට දිය හැකි පිළිතුර කුමක්ද? අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී තව්තිසා වැසි දෙවියන් අතර මේ ප්‍රශ්නය පැන නැගිණ.

මුළු දෙව්ලොවම මහත් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට මෙය පත්විය. එක් දෙවියෙක් තවත් දේවතාවෙක් සමඟ මෙබඳු ප්‍රශ්න රැසක් මතුකර සිටියහ.

ලොව ඇති ශ්‍රේෂ්ඨතම දානය කුමක්ද? ලොව ඇති උතුම්ම රසය කුමක්ද? ලොව ඇති උතුම්ම ඇලීම කුමක්ද? තණ්හාව දුරුකිරීම ශ්‍රේෂ්ඨ වන්නේ මක් නිසාද? යන ප්‍රශ්න මතු කර ගනිමින් තව්තිසා දෙවියෝ වසර දොළහක් මේ සදහා පිළිතුරු සෙවූහ.

එනමුදු සාර්ථක නිවැරදි පිළිතුරක් සපයා ගැනීමට ඔවුනට නොහැකි විය. අවසානයේ තව්තිසා වැසි අපමණ දෙව්ගණයා මේ ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන සතර වරම් දෙව්මහ රජදරුවන් වෙත මෙම ප්‍රශ්නය ගෙන ගියහ.

මහාදේව සමාගමක් සමඟ සතර වරම් දෙවියන් වෙත පැමිණි දෙව්දේවතාවෝ මහා බලැති සිව් වරම් දෙවියන්ට මෙම පැණය යොමු කළහ.

ඔවුහුද මෙම පැනයට නිවැරැදි සාර්ථක පිළිතුරක් දීමට අසමත් වූහ. අවසානයේ මහා තෙදැති මහා බලැති සතර වරම් දෙවිවරුන් හා අපමන දේව ගණයා දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් වෙත පැමිණ ගෞරව දක්වා මේ පැනය ඉදිරිපත් කළහ.

එහිදී මහා පිනැති දහසක් දෙනා සිතන යම් කරුණක් වේද ක්ෂණයකින් තේරුම් ගැනීමට සමත්කම් ඇති පුණ්‍ය තේජසින් හා ප්‍රඤ්ඤා කෞෂල්‍යයයෙන් හෙබියා වූ සක් දෙවිඳු, දෙවිවරුන් අමතා දරුවනි මෙබඳු පැනයක් බුද්ධ විෂයට පමණක් ගෝචර වන අප වැන්නන්ට පිළිතුරු දිය නොහැකි පැනයක්ය.

එසේ හෙයින් වීතරාගී අංගීරස බුදුරජාණන් වහන්සේ වෙත මැදියම් රැයේ ගොස් මෙය විසඳා ගනිමුයැයි පවසා සක් දෙවිඳුන් දේව ගණයා පිරිවරා සඟ පිරිවරින් බුදුරජාණන් වහන්සේ වැඩසිටි ජේතවනාරාමයට පැමිණ මුළුමහත් ජේතවනාරාම භූමිය ආලෝකයෙන් බබුළුවා සක් දෙවිඳුන් බුදුපියාණන් වහන්සේ වැඩසිටි සුගන්ද කුටියට පිවිස බුදු සිරිපා කමල් නැමැද සිය දේවගණයා සමඟ එකත්පස්ව සිට ශාන්ති නායකයන් වහන්සේගෙන් මේ පැනය විමසා සිටියහ.

ස්වාමිනී නිදුකානන් වහන්ස අප දේවගණයාට මෙබඳු පැනයක් පැන නැඟී ඇත. එයට පිළිතුරු සැපයීමට සමත් එකම සමතා තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණි. අප කෙරෙහි අනුකම්පා උපදවා මේය විසඳා දෙන මැනවියැයි අයද සිටියහ. ස්වාමීනි ලෝකයේ දාන අතරින් උතුම්ම දානය කුමක්ද? මේ ලොව ඇති උතුම්ම රසය කුමක්ද? ලොව ඇති උතුම්ම ඇලීම කුමක්ද? තණ්හාව දුරුකිරීම ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි? තථාගත ලොව්තුරු බුදුරජාණන් වහන්සේ පිළිතුරු දේශනා කරමින් , දේවේන්ද්‍රය “

සබ්බ දානං ධම්ම දානං ජිනාති” “සබ්බ රසං ධම්ම රසන් ජිනාති” “ සබ්බං රකිං ධම්ම රකිං ජිනාති “ “තණ්හායෝ සබ්බ දුක්ඛං ජිනාති “ ලොව පවත්නා සියලුම දානයට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨවේ. උතුම් වේ. දේවේන්ද්‍රය මේ හිරු දහසක් සඳු දහසක් ඇති මහා සක්වල පුරාවට බුදු ,පසේ බුදු ,මහ රහතන් වහන්සේලා වඩා හිදුවා කෙසෙල් ගොබ බඳු සනිදු වටිනා තැන් සිවුරු පුදා ප්‍රනීත තුන්සිවුරු ආහාර පාන පූජා කළද එයින් ලබන ආනිංසයට වඩා සසර බිය නැතිවන හැටියට එක් සතරපද ගාථාවක් දේශනාකොට ධර්ම දානයක් සිදු කරයිද එය එම ධර්ම දානය සියලු දානයන් පරදා උතුම් දානය වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළහ. ඊට හේතුව කුමක්ද? ලොව පවත්නාතාක් සියලු කුසලකර්ම, මහා පින්කමද, ආමිස දානය, අභය දානය, වැනි දානයන්ද, ජේතවනාරාම පූජාව, වේළුවනාරාම පූජාව, පූර්වාරාම පූජාව, ලෝමහා ප්‍රසාද ,රුවන්වැලි සෑය වැනි මහා දාගැබ්ද ඉදිවුනේ මේ උතුම් ධර්ම දානය නිසාමය. ලොව පහළ වී වදාළ සියලු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා පහළවූයේද උතුම් ධර්ම දානය නිසාමය. මිනිස් වර්ගයාට හෙඳ නරක කියා දී අයහපත වළකා යහපතෙහි යොදවා ධර්ම මාර්ගයෙහි හසුරුවා දුකට, විපතට, අපායට, නිරයට වැටෙන්නට නොදී සුගති මාර්ගයෙහි හසුරුවා දුකට , විපතට, අපායට , නිරයට වැටෙන්නට නොදී සුගති පරායන සැප උදා කරන්නේ ධර්ම දානය නිසාමය. අප ගෞතම බුද්ධ ශාසනයේ පමණක් සූවිසි අසංකයක් සත්වයින් සෝවාන්, සක්‍රදාගාමි, අනාගාමි, අරිහත් යන සතර මග සතරඵල පිළිවෙලින් අමාමහ නිවන් සාක්ෂාත් කළේ මේ උතුම් ධර්ම දානය නිසාමය. එසේ නම් මේ ධර්ම දානය මොනතරම් අසිරිමත් පින්කමක්දැයි සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන මොහොතේදී අසිරිමත් පින්කමක්දැයි සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාණ මොහොතේදී පවා අත්කරදුන් මේ උතුම් ධර්ම දානයේ වටිනාකම හොඳින් තේරුම්ගත් අග්‍රශ්‍රාවක , මහාශ්‍රාවක, මහරහත් වහන්සේලාද ශ්‍රී ලංකාවට වැඩමකළ මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු මෙරට වැඩසිටි මහරහතන්ගේ් සිය උතුම් ජීවිත වල අවසාන මොහොත දක්වා මේ දානය සිදුකළහ. ධර්මාශෝක මහා අධිරාජ්‍යයා බුදු දහම වැළඳගෙන ජීවිතාන්තය දක්වා ධර්මදේශනාවන් සඳහා ධර්ම මහාමාත්‍යවරුන් පත් කරමින් මුළු මහත් දඹදිව පුරා ඇවිදිමින් ධර්ම යාත්‍රා ගල්ටැම් වල ධර්මපාඨ, සූත්‍ර පාඨ ප්‍රදර්ශනය කරමින් මේ උතුම් ධර්ම දානය ලොව පළකළහ.

හෙළදිව ඉපදී මෙරටෙත් දඹදිවත් බුදු සසුන රැකගන්නට කටයුතු කළාවු බුද්ධාංකුර ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා මේ ධර්ම දානය සිදුකළහ. ධර්ම දානය මුළු ජීවිතය කර ගනිමින් ගමින් ගමට නගරයෙන් නගරයට යමින් අපේ පැරණි යතිවරුන් වහන්සේලා පන්හිදෙන් තල්පතින් පොල්තෙල් පහන් දල්වාගෙන බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය වැනි ධර්ම ග්‍රන්ථ රචනා කරමින් වසර දහස් ගණන් පවත්නා ලෙස ධර්ම දානය ලොවට පළකළහ. විද්‍යාව තාක්ෂණය දියුණුවන කළ නවීන තාක්ෂණය තුළින් නොයෙක් ප්‍රතිහාර සිදුකර ඇත. නවීන තාක්ෂණය හා මාධ්‍ය අද ලොවේ බොහෝ දෙනෙක් යොදාගෙන ඇත්තේ මිනිස් මනස සන්සුන්කර ආධ්‍යාත්මය පිරි ගුණ සුවඳ වහනය වන මානව හිතවාදි පරිපූර්ණ මිනිසුන් බිහිකරනවාට වඩා හරසුන් බොල් හිස් මිනිසුන් බිහිකිරීමට හා මිනිස් මනසේ විකෘති ආශාවන් අවුස්සා මිනිසා ප්‍රපාතයට හෙළීමටයි. මෙබඳු සමාජ වටපිටාවක් තුළ මීට වසර තුනකට පෙර නිර්මල බුදුදහම ලොව පුරා පතුරවා හැරීමේ අභිලාශයෙන් කොළඹ සම්බෝධි විහාරය මුල්කර ගනිමින් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහානායක හිමියන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති, ශ්‍රී රෝහණ ජනරංජන ත්‍රීසිංහලාදීශ්වර මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධයා රූපවාහිනිය ශ්‍රී සම්බෝධි විහාරය කේන්ද්‍රකර ගනිමින් ඇරැඹිණ. අද එය ගම් දනව් සිසාරා බාල , මහලු, තරුණ, වැඩහිටි, රෝගී නිරෝගී සෑම දෙනාගේ සිත් සතන් පහන් කරමින් මහජන ගෞරවය දිනාගෙන ඇත. සැටලයිට් තාක්ෂණය මගින් පියෝ ටී.වි ඩයලොග් ටී.වි මගින් පමණක් දැනට විකාශය වන මෙම බෞද්ධයා නාලිකාව සෑම නිවසක සෑම රූපවාහිනියකින් ගෙයින් ගෙය දොරින් දොර බුදුබණ ඇසෙන්නට සිත් සතන් නිවා සනහන්නට සාමාන්‍ය රූපවාහිනි සේවයක් ලෙස පරිවර්තනය කිරීමට අපගේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ වන අති පූජ්‍ය අස්ගිරි මහා නාහිමියන් ප්‍රධාන තුන්නිකායේ අනුශාසක මහා නාහිමිවරුන් හා අධ්‍යක්ෂක මණ්ඩලයේ හා දායක සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු අප සැමගේ එකම ප්‍රාර්ථනයයි. එළඹෙන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මිනිස් සිත් සතන් නිවා සනසාලන්නට කැමැති ඔබත් කැමැති වන්නේනම් මේ සඳහා වැය වන කෝටි සංඛ්‍යාත මුදලට ඔබත් දායක වී මේ උතුම් ධර්ම දානයට කොටස්කරුවෙක් වන මෙන් මෙත් සිතින් ආරාධනා කරමි. මේ සඳහා උපකාර කිරීමට ඔබටත් පින් සිත් පහළවේ නම් කොළඹ ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ හෝ නැතිනම් දුරකථන අංක 2689307 හා 0117215288 අමතන ලෙස ඉල්ලමි. සැමට ධර්මාවබෝධයෙන් නිර්වාණාවබෝධය ලැබේවා..

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]