UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින වස්ත්‍රය නොඉරුණු නොකිලිටි, තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණ වන පරිදි තිබිය යුතුය. එහි කඨින වස්ත්‍රය භාර ගන්නා සංඝරත්නය එදිනම සේදීම කඩබෙදීම, කඩකැපීම, එක්කොට මැසීම, පඬුපෙවීම හා කප් බින්දු තැබීම යන කරුණු සතක් ම එකම දවසේ සිදු කරති.

හේමන්ත ගිම්හාන හා වස්සාන යනුවෙන් සෘතු තුනකි. මින් නොවැම්බර් මස මුල පටන් පෙබරිවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත සෘතුව හැටියටත් මාර්තු මස මුල පටන් ජුනි අග දක්වා ඇති සාර මාසය ගිම්හාන සෘතුව හැටියටත් පිළිගැනෙන අතර ජුලි මස මුල පටන් ඔක්තෝම්බර් මස අග දක්වා ඇති සාර මාසය වස්සාන සෘතුව වශයෙනුත් සැලකේ.

වස්සාන සෘතුව පුරා එක දිගට වැසි හට ගනියි. එය එක් අතකින් සත්ත්ව ප්‍රජාවට යහපත් කාල පරිච්ඡේදයක් වනවාක් මෙන් ම අනෙක් අතින් කරදරකාරි වකවානුවක් ද වේ. විවිධ පක්ෂීහු මෙන් ම සිවුපාවෝ ද මේ කාලය තුළ තම ලැගුම් හල් තුළට වී කල් යවති. මිනිසුන් තම ගමන් බිමන් පවා අඩු කරති. නමුත් භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි ධාරානිපාත වැසි නොතකා දහම් චාරිකාවෙහි හැසිරෙති. ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිති. මේ හේතුවෙන් වැස්සට මැනවින් වැඩෙන නිල් තණ භික්ෂුහු පාගා දමති. පොඩි වෙති. කෘමි සතුන් පාගති. විනාශ වෙති. ඇඟ මඩ තවරා ගනිති. සිවුරු රෙදි මඩ තවරා ගනිති. මේ සිද්ධි දකින්නට ලැබෙන බොහෝ මිනිස්සු භික්ෂුන්ට චෝදනා කරන්නට වූහ. මහා වැසි නොතකා මඩ තවරා ගත් පේ‍්‍රත පිරිසකැයි කීහ. තවත් සමහරු මේ භික්ෂූන් සතුන් මරණ පව්කාරයෝ ය කීහ.

වස් එළඹීම

මෙම මහජන උද්ඝෝෂණයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේට ද අසන්නට ලැබුණාහ. උන්වහන්සේ බොහෝවිට ලෝකාපවාදය දුරු කිරීම පිණිස ශික්ෂාපද පැනවූහ. ඒ අනුව භික්ෂූන් රැස් කරවා කරුණු අවබෝධ කොට දී ලෝකාපවාදය දුරලනු සඳහාත් භික්ෂූන් වහන්සේගේ පහසු විහරණය පිණිසත් සලකා වස් විමසීමට කරුණු දේශනා කළහ. එසේ වස් විසූ විට ශ්‍රද්ධාවන්ත දායක දායකාවන්ට පින්සිද්ධ කර ගැනීමට හැකිවන බවත් දෙසූහ.

අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං’’ මහණෙනි, වස්සානයෙහි වස් එළඹීමට අනුදනිමි යන ශික්ෂාපදය පැනවූහ. වස් එළඹීම් දෙකකි. ඒ පෙර වස් විසීම හා පසුවස් විසීම යනුවෙනි. පෙර වස් එළඹීම කළයුත්තේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පලවිය දිනය. යම්කිසි කරදරයක් හේතුවෙන් පෙර වස් එළඹිමට නොහැකි වූ භික්ෂූ නමක් පසුවස් සමාදන් විය යුතුය. එය කළයුත්තේ නිකිණි මස පුර පසළොස්වක පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි. යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නියමිත දින වස් නොඑළඹියහොත් දුක්කටාපත්ති ඇවත් සිදුවේ. එහෙයින් උපසම්පදා භික්ෂුන්ට වස් විසීමට ආරාධනා කළත් නොකළත් අනිවාර්යයෙන්ම ම වස් එළඹීම සිදුකළ යුතු වේ.

වස් සමය ගිහි පැවිදි සබඳතා තර කෙරෙන කාල වකවානුවක් වශයෙන් හැඳින්විය හැකිය. විහාරස්ථාන සතර පේරුවේ දායක කාරකාදීහු පොහොය දින විහාරස්ථානයට රැස් වී දැහැත් වට්ටියක් සාදා මේ තුන් මාසය වස් වාසය කරන ලෙස ආරාධනා කරති. එම ආරාධනාව පිළිගන්නා උපසපන් භික්ෂූන් වහන්සේ නියමිත දිනය සංඝ විනය කර්මකොට වස් එළඹේ. අනතුරුව ස්වකීය විහාරස්ථානයේ වැඩ වෙසෙමින් බණ භාවනාදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. එ තුන් මාසයත්, චීවර මාසයත් යන සාර මාසය තුළ දායක දායිකාවන්ට නිතර නිතර ධර්ම දේශනා කරති. දායක දායිකාවෝ ද අනෙක් කටයුතුවලට වඩා උනන්දුවකින් හා කැපවීමකින් භික්ෂූන් වහන්සේට සලකති. සුවදුක් සොයා බලති. චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් උපස්ථාන කරති. එහෙයින්, මේ වස් සමය ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම පින් දහමින් නියැළෙන පින්බර කාල පරිච්ඡේදයක් හැටියට සැලකිය හැකිය. බුදුරජාණන්වහන්සේ ධරමාන කාලයෙහි භික්ෂුන්ට වස් එළඹීමට නියමිත තැනක් නොවීය. ඒ හේතුවෙන් භික්ෂූන් වහන්සේ විශාල ගස් බෙනවල, ගස් දෙබල්වල, විශාල ගස් පත්‍ර යට, වස් සමාදන් වූහ. එබඳු ස්ථාන වස් විසීමට සුදුසු නොවන හෙයින් මහජනයා භික්ෂූන්ට දෝෂාරෝපණය කළහ.

ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ එබඳු ස්ථානවල වස් විසීම තහනම් කොට වදාළහ. විහාරාම, ගුහා, කුටි යනාදී යෝග්‍ය ස්ථාන වස් එළඹීම සඳහා තෝරා ගන්නා ලෙස අනුදැන වදාළහ. එකී ස්ථානවල වස් එළඹුන නමුත් සිවුපා සතුන්ගෙන්, සර්පයන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන් හා ජලයෙන් යම් හානියක් සිදුවන්නේ නම් එකී ස්ථාන අතහැර යාමට අවසර තිබේ. එමගින් වස් බිඳීමක් හෝ කඩවීමක් සිදු නොවේ.

සත්තාහ කරණයෙන් යෑම ද වස් විසූ භික්ෂූන් වහන්සේට අවසර තිබේ. එමගින් ඇවතක් සිදු නොවේ. සත්තාහරණය යනු වස් එළඹි භික්ෂූ නමක් හදිසි අවස්ථාවක දී හෝ අත්‍යවශ්‍ය කටයුත්තක දී හෝ හත්වෙනි රාත්‍රිය ඉක්මීමට පෙර එනිනෙමියි පිටත්ව යෑමයි ඒ අනුව හත්වෙනි රාත්‍රියට පෙර නැවත ආරාමයට පැමිණීම කළ යුතුය. එහෙයින් වස් නොබි‍ෙඳ්. සත්තාහකරණයේ යා හැකි අවස්ථා රාශියක් ම මහාවග්ග පාලියේ ‘වස්සුපනායික්ඛන්ධකයේ’ දැක්වේ. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී එහි පැමිණි භික්ෂූන් තිස් නමක් සාකේත නුවර වස් විසීමට අවසර ගෙන එහි වැඩමවා වස් අවසානයේ යළි පැමිණෙමින් සිටියදී ධාරානිපාත වර්ෂාවකට හසු වූහ. සිවුරු තෙමී ඇඟ මඩ ගෑවී සීතලෙන් වැඩුන ද ගමන නොනවත්වා ජේතවනාරාමයට පැමිණි උන්වහන්සේ තමන් සතුව අතිරේක සිවුරක් නොතිබූ බැවින් මෙම මහත් වූ විපතට පත් වූ බැව් බුදුරජාණන් වහන්සේ හමුවේ පවසා සිටියහ. ඒ අනුව අනුජානාමි භික්ඛවේ වස්සං උත්ථනං භික්ඛුනං කඨිනං අත්ථරිතුං මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමියි කඨින චීවර පූජාව අනුදැන වදාළහ.

කඨින පින්කම

කඨින යනු ස්ථිර යන්නයි. අකම්පස යන්නටයි. මහ පොළොව මෙන් මහමේරු පර්වතය මෙන් එක ඝන වජ්‍ර පර්වතයක් මෙන් කඨිනය ස්ථිරසාර වේ. සමහරක් බලවත් අකුසල කර්ම හේතුවෙන් කුසල කර්ම විනාශ වන අවස්ථා තිබේ. නමුත් කඨින පූජාවෙන් ලැබෙන ආනිසංස වෙන කිසිත් අකුසල කර්මයකින් වළක්වන්නට නොහැකි වේ. කඨිනය යන්න භාවිතා කෙරෙන්නේ මේ අරුත අනුවය.

ලොව ඇති ඉතා උසස් කුසල කර්ම අටක් පිළිබඳව බුදුදහමේ ඉගැන්වේ. කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස පූජාව, ගෙවල් පූජාව, බුදුපාමොක් සංඝගත දක්ෂිණ පූජාව, බණ පොත් ලියවා හෝ මිලට ගෙන පූජාකිරීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම හා වැසිකිළි කැසිකිළි කරවීම යනුවෙන් වන මෙම අටමහා කුසල් සිදු කිරීමෙන් විශේෂ ආනිසංස ලැබෙන බැව් ද කියැවේ. ඒ අතරින් කඨින පූජාවට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි. ඕනෑම පින්කමක් තමන්ට කැමැති වේලාවක සිදුකළහැකි නමුත් කඨින පූජා පින්කම කළ හැක්කේ වසරකට එක් ස්ථානයක එක් වරක් පමණි. සෑම ස්ථානයක ම කඨින පින්කම් කළ නොහැකි ය.

පෙර වස් විසූ වස් ආරක්ෂා කරගෙන අනතුරුව මහ පවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂූන් වැඩ වෙසෙන ස්ථානයක පමණි මෙම පින්කම සිදුකළ හැක්කේ. ඒ සඳහා ද පස් නමකට නොඅඩු භික්ෂූන් වහන්සේ සිටිය යුතුය. විහාරස්ථානයක නම් සතර පේරුවේ දායක දායිකාවෝ එකතු වී කඨින චීවරය සඳහා සුදුසු වස්ත්‍රක් සකස් කර ගනිති. එය චීවර මාසය තුළ එක් දිනයක දී අලුයම මහත් වූ පූජා සත්කාර ගරු සම්මාන පෙරහරකින් වඩමාගෙනවිත් ‘ඉමං කඨින දුස්සං සංඝස්ස දේම’ යන වාක්‍යයෙන් තෙවරක් කියාමහා සංඝරත්නයට පූජා කරති.

කඨින වස්ත්‍රය නොඉරුණු නොකිලිටි, තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණ වන පරිදි තිබිය යුතුය. එහි කඨින වස්ත්‍රය භාර ගන්නා සංඝරත්නය එදිනම සේදීම කඩබෙදීම, කඩකැපීම, එක්කොට මැසීම, පඬුපෙවීම හා කප් බින්දු තැබීම යන කරුණු සතක් ම එකම දවසේ සිදු කෙරෙති.

එකී පූජා වස්ත්‍රය සිවුරක් කරති. එම චීවරය එම ස්ථානයේ වස් විසූ භික්ෂූන් අතුරෙන් සුදුසුකම් ලත් භික්ෂූන් වහන්සේ නමකට සංඝ සීමාවක් තුළ දී සම්මතයෙන් කර්ම වාක්‍යයක් කියා පවරති. කඨින චීවර පූජාව සිදුකරන පාර්ශවයට පමණක් නොව එය ලබන භික්ෂූන් වහන්සේටත් විශේෂ ආනිසංස ලැබේ. මෙම චීවරය නිසා භික්ෂූන් වහන්සේට සිදුවන වරද පහක් දුරුවන අතර අසමාදානචාරය. ගණභෝජනය, යාවත්ත චීවරය හා තත්ථචීවරුප්පාදාය ආදී ආනිසංස පහක් ලැබෙන බැව් මහා වග්ග පාලියෙහි කඨිනක්ඛන්ධකය පැහැදිලි කරයි.

කඨින චීවරය

ඊට අමතරව අපදාන පාලියේ නාගිතාපදානයේ දැක්වෙන අන්දමට කුසල් සිත් පෙරටුව කඨින චීවරය මැසීමෙන් එ මැසූ ඉඳීකටු පාරක් පාරක් පාසා උදාරතර චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන අතර ආත්මයක් ආත්මයක් පාසා ප්‍රාදේශීය රාජ්‍ය පදවිවලට හිමිකම් කීමේ හැකියාව ලැබේ. ලක්දිව රජ පැමිණි රාජ රාජමහාමාත්‍යාදී පිරිස ඉතා උත්කර්ෂවත් අයුරින් කඨින පූජා පින්කම් සංවිධානය කළ බැව් ඉතිහාස ගත කරුණුවලින් අනාවරණය වේ. ලජ්ජිතිස්ස, අග්‍රබෝධි, සේන, පණ්ඩිත පරාක්‍රමබාහු ආදී නරපතීන් ඒ අතුරින් මුල් පෙළෙහි ලා සැලකිය හැකිය. සමාජ බලවේග හමුවේ වර්තමානයේ දුරස්වී ඇති ගමේත් පන්සලේත් සම්බන්ධතා යළි ගොඩනැංවීම සඳහා කඨින පින්කම තුළින් කළ හැකි මෙහෙවර අති විශාලය. ඒ සඳහා උත්සුක වීමට මේ එළැඹෙන වස් සමයේ තරම් වටිනා උදාරතර කාල පරිච්ඡේදයක් තිබිය නොහැකිය.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]