UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෙරහර නැරඹී‍ම‍‍ට ලක්ෂ තිහකට අධික ජනතාවක් මහනුවර‍ට පැමිණේවි - ශ්‍රී දළදා මාලිගාවේ
දියවඩන නිලමේ

ශ්‍රී දළදා සමිඳු උදෙසා වාර්ෂිකව පවත්වන සතර මංගල්‍යයන් අතරෙන් ප්‍රධානතම හා දෙස් විදෙස් ජනතාවගේ වැඩි අවධානයට පත්වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයි. එ පෞරාණික චාරිත්‍රානුකූ®ලව සාර්ථකව පවත්වා අවසන් කිරීමේ භාරදූර වගකීම පැවරෙන්නේ දළදා සමිඳුන්ගේ ගිහිභාරකරු වන දියවඩන නිලමේතුමන් වෙතය. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය :- මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ රටේ සාමය හොඳින් තහවුරු වූ අවස්ථාවකයි. මේ පසුබිම තුළ සුවිශාල ජනසහභාගිත්වක් මෙවර පෙරහර නැරඹීම සදහා අපේක්ෂා කළ හැකියි නේද?

පිළිතුර :- රටේ යුදමය වාතාවරණයක් පවතිද්දීත් සුවිශාල ජනතාවක් පෙරහර නැරඹීමට පැමිණියා. වසර තිහක් පුරා රට ගිලගත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු පැවැත්වූ පළමු පෙරහර ගිය වසරේ පැවැත්වූවා. අද වන විට සාමය තවත් තහවුරු වී රට පුරා සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. මේ පසුබිම තුළ පෙර වසරවලට වඩා වැඩි ජන සහභාගිත්වයක් මෙවර ඇසළ පෙරහර සඳහා අනිවාර්යෙන් පවතීවි. මෙවර රටවල් රැසක විදේශිකයින් විශාල පිරිසක් පෙරහර දැක බලා ගැනීමට පැමිණෙන බව තහවුරු කර තිබෙනවා. මේ පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව , ප්‍රවාහනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ දැඩි අවධානයක් අප යොමුකළා.

පැමිණෙන ජනතාවත් සමඟ මාර්ග තදබදයක් ඇතිවීමටද ඉඩක් ඇති නිසා ඒ පිළිබඳවද අදාළ අංශ සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සැකසුවා. පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එතුමාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා පෙරහර සාර්ථකව සිදුකිරීම සදහා අවශ්‍යය කටයුතු සලසන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නා. මෙවර පෙරහර නැරඹීම සඳහා ලක්ෂ 30 කට ආසන්න ජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනවා. මේ පැමිණෙන සියලු දෙනාට කිසිදු කරදරයක් හිරිහැරයක් නොමැතිව පෙරහර නරඹන්ට අවස්ථාව ලබාදීම අපේ අරමුණයි.

ප්‍රශ්නය - පසුගිය වසරවල පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සදහා සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. රටේ ස්ථිර සාමයක් ඇතිවී තිබෙන මෙම අවස්ථාවේදීත් පෙර පරිදිම ආරක්ෂක අංශවල සෝදිසි කිරීම් ඇතුළු අනිකුත් ආරක්ෂක ක්‍රියාදාමයන් සිදුවෙනවාද?

පිළිතුර :- ඒ ආකාරයෙන්ම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ජනතාවට පීඩාවක් නොවන ලෙස ආරක්ෂක කටයුතු දියත් කරන ලෙස අපත් අදාළ අංශ මගින් ඉල්ලීම් කළා. මා ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ උපරිම සහයෝගය ආරක්ෂක අංශ වලට ලබාදෙන ලෙසයි.

පසුගිය අවස්ථාවල අපි පෙරහර සංවිධානය කළේ විශාල අවධානයක් සහිතවයි. කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන පෙරහරට එල්ල වෙද්දී තමයි අපි පෙරහර සංවිධානය කළේ.

දරුවෝ පාසලට ගිහින් ආපහු නිවසට එනතෙක් අම්මලා තාත්තලා බියෙන් හිටියේ, කෝච්චියේ , බස් එකේ මිනිස්සු ගමන් ගත්තේ මොන තරම් බියකින්ද? නමුත් යුද්ධය අවසන් වීමෙන් පසු මේ වනතුරුත් එක ලේ බිංදුවක් සොලවන්න.

කොටි ත්‍රස්තවාදින්ට හෝ වෙනත් කිසිදු බලවේගයකට පුළුවන් වුණේ නැහැ. නමුත් යුද්ධය අද නැහැ කියලා පෙරහරේ ආරක්ෂාව ලිහිල් කරන්න අපේ කිසිදු සූදානමක් නැහැ.

ප්‍රශ්නය - පෙරහර නැරඹීමට එන සියලු ජනතාව ජීවිත රක්ෂණයකින් ආවරණය කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මකයි නේද?

පිළිතුර – ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් “ඉරහඳ පවතින තුරු” නමින් මෙම රක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. පෙරහර පවතින කාලසීමාවේ මහනුවර නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙළ හරහා රැකවරණයක් සැපයෙනවා. බැතිමතුන්ට යම් අනතුරක් සිදු වුවහොත් යම් වන්දියක් ලබාදීමේ ක්‍රියාවලියක් මේ තුළ අන්තර්ගතයි . එය එසේ වුවත් අපගේ බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය කිසිදු බැතිමතකුට කුඩා සීරීම් තුවාලයක්වත් සිදුවන්න එපා කියලයි.

ප්‍රශ්නය - මෙරට සෑම ප්‍රදේශයකම යම් යම් කාලවල පෙරහර පැවැත්වෙනවා. මේ සියලු පෙරහර අතරින් දෙස් විදෙස් ජනතාවගේ විශේෂ අවධානයට ලක්වන්නේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයි. මේ සුවිශේෂිතාව කුමක්ද?

පිළිතුර – පෞරාණික චාරිත්‍ර ඒ අයුරින්ම රැක ගනිමින් අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ මහනුවර ඇසළ මංගල්‍යය පවත්වනවා. මෙය ඇත්තටම සංස්කෘතික මංගල්‍යයක්. අතීතයේ සිට රාජ රාජ මහාමාත්‍යාදීන් දළදා වහන්සේ ජීවමාන බුදු හාමුදුරුවෝ ලෙස සලකා පුද පූජා පැවැත්වූවා. සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශ ලද වාම ශ්‍රී දන්ත ධාතූ®න් වහන්සේට දක්වන්නා වූ බුද්ධ උපහාරයක් ලෙසත් සිව් මහ දෙවිවරුන්ට කෙරෙන දේව උපහාරයක් ලෙසත් මහනුවර ඇසළ පෙරහර හැඳින්විය හැකියි. දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මංගල්‍යයන් අතරින් ප්‍රධානතම මංගල්‍යය ඇසළ පෙරහරයි. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව රටේ සුබ සිද්ධිය ප්‍රාර්ථනය කිරීම පෙරහර පැවැත්වීමේ තවත් එක් අරමුණකි. පෙරහර සාර්ථකව පැවැත්වීම හරහා රට සමෘද්ධිමත් වන බව අපේ පැරැන්නෝ විශ්වාස කළා. මේ පෙරහර හැඩ කරන්න නර්තන ශිල්පීන් දහසක් සමග සම්බන්ධ වෙනවා.අලි ඇතුන් අනූ දෙනෙකු සමග පෙරහරේ ගමන් කරනවා.

ශ්‍රී දළදා මාලිගා පෙරහරත් සිවු දේවාල පෙරහරත් වර්ණවත් කරන්න.

2500 ක පමණ පිරිසක් සහභාගි වෙනවා. මේ ආකාරයේ විචිත්‍රවත් මංගල්‍යයක් ලෝකයේ කොහේවත් දක්නට ලැබෙන්නේ නැහැ. එසේ හෙයින් මහනුවර ඇසළ පෙරහර හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැදින්වීම කිසිසේත් වරදක් නොවෙයි.

ප්‍රශ්නය - මෙරට ප්‍රධාන පෙළේ ඇතැම් පෙරහර වාණිජ කරණයට හසුවෙමින් තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර පමණක් මින් මුදවා ඉදිරියට පවත්වා ගත හැකිද?

පිළිතුර -මහනුවර ඇසළ පෙරහර කවදාවත් වාණිජකරණයට හසුවී නැහැ. මා ඉන්නාතුරු මෙම පෙරහර එවැනි තත්ත්වයකට ඉදිරියේදී පත්වීමට කිසිදු ඉඩක් නොතබන බව දැඩි වගකීමෙන් යුතුව පවසනවා.

ප්‍රශ්නය - දළදා මාලිගා පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් ඔබ තෝරා ගන්නේ කිසියම් පරීක්‍ෂාවකට ලක්කරලයි. පාරම්පරික කලා ශිල්පීන් පරික්ෂාවට ලක්කිරීම සුදුස යැයි ඔබ කල්පනා කරනවද?

පිළිතුර - පරම්පරාවෙන් පරාවට කලා ශිල්ප රැගෙන එන පිරිස් හා ඔවුන්ගේ හැකියාවන් මා හොඳින් හඳුනනවා. ඔවුන් පිළිබඳ ගැටලුවක් නැහැ. පැරැණි රජ දවසේ පෙරහරට කලා ශිල්පීන් සහභාගි වූයේ ඔවුන්ගේ රාජකාරි කොටසක් ඉටුකරනවා කියන අවංක හැඟීමෙනුයි. ඔවුන් කිසිදු මුදලක් හෝ වෙනත් ප්‍රතිලාභයක් මින් අපේක්ෂා කළේ නැහැ. අද සියල්ල වෙනස් වෙලා. සියල්ල මුදලට වෙනස් වෙලා. සියල්ල මුදලට යටවීම තුළ ඇතැම් පිරිස් කීයක් හරි මුදලක් සොයා ගැනීමේ අරමුණින් නටන්න බැරි අය පවා දමා නර්තන කණ්ඩායම් පෙරහරට ඉදිරිපත් කරනවා. සමහරු කුඩා දරුවන් නැටුම් කණ්ඩායමට සම්බන්ධකර ගෙන ඔවුන්ට ඉතා අඩු මුදලක් දී වැඩි කොටස තමන්ගේ සාක්කුවට දමා ගන්නවා. මේවායින් සිදුවන්නේ පෙරහරේ ගුණාත්මක බව පිරිහීමයි. පාසල් අවධියේදී මම නැටුම් කලාව හැදෑරුවා. ඒ දැනුමත් උපයෝගී කරගෙන පෙරහරට සම්බන්ධ වන සෑම නැටුම් කණ්ඩායමක්ම මා පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට තීරණය කළා. වසර ගණනාවක් තිස්සේ සිදුකළ එම වැඩපිළිවෙළ තුළින් යහපත් ප්‍රතිඵල දැන් උදාවී තිබෙනවා. දළදා මාලිගා පෙරහරේ අද නටන්න බැරි කිසිකෙනෙක් නොයන බව මම වගකීමෙන් කියනවා. පෙරහර වර්ණවත් වීමට නැටුම් කණ්ඩායම් පමණක් තිබුණාට මදි. හොඳ නැටුමක් බිහිවන්නේ ගායනය, වාදනය හා නර්තනය යන අංග එකතු වෙලයි. කණ්ඩායමක් ලෙස ගත් විට වාදනය හොඳට තියෙන්න ඕන. නැටුම් ශිල්පීන්ට නටන්න වගේම ගයන්නත් පුළුවන් වෙන්න ඕන. මම හොයලා බලන්නේ ඒ කරුණුයි.

ප්‍රශ්නය - මෙවර පෙරහර සඳහා ඔබ නවාංගයක් ලෙස පාසල් නර්තන කණ්ඩායමක් පුහුණුකර ඔවුන්ගේ සහභාගිත්වය අඛණ්ඩව පෙරහරට ලබාගැනීමට වැඩපිළිවෙළක් දියත්කළා නේද?

පිළිතුර - මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 52 ක් ඔවුන්ගේ කැමැත්තෙන් අප මේ සඳහා තෝරා ගත්තා. මාස තුනක් තිස්සේ මේ අයට විශේෂ පුහුණුවක් ලබා දී නර්තනයට අවශ්‍යය ඇඳුම් ආයිත්තම් හා වාද්‍ය භාණ්ඩ දළදා මාලිගාවෙන් ලබා දුන්නා. උඩරට සම්ප්‍රදායට අයත් බුලත් පදයත්, කොතල කෙන්ඩි පදයත් ඔවුන්ට පුහුණු කළා. මේ ශාස්ත්‍රීය නර්තනය මෙම සිසුන් මෙවර පෙරහරේ ඉදිරිපත් කරනවා. මෙය පෙරහරට එක්වූ සුවිශේෂී අංගයක්. මේ ළමයි දළදා පෙරහරට පමණයි සම්බන්ධ වෙන්නේ. දිවයිනේ වෙනත් කිසිදු පෙරහරකට මේ අය සහභාගි කරවන්නේ නැහැ.

ප්‍රශ්නය - පෙරහර නැරඹීමට මෙවර අති විශාල ජනතාවක් පැමිණෙනු ඇති බව ඔබ මුලින් පැවසුවා. ඔවුනට පෙරහර පහසුවෙන් නැරඹීම සඳහා අවස්ථාවක් ලබාදීම පිණිස පෙරහර මාර්ග පෙර වසරවලට වඩා දීර්ඝ කිරීමක් මෙවර සිදුවෙනවද?

පිළිතුර - මෙවර විශාල ලෙස පෙරහර මාර්ගයේ වෙනස් කිරීම් සිදුකළා? ප්‍රථම කුඹල් පෙරහර විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙවර ගමන් කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙවර පෙරහර නුවර නගරයේ සෑම වීදියකම ගමන් කරනවා යන්න පුළුවන් උපරිම දුරක් ආවරණය වන පරිදි පෙරහර මාර්ග මෙවර දිර්ඝ කළා.

ප්‍රශ්නය - පෙරහර තුළ අලි ඇතුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෙරහරේ සුවිශේෂිතම අංගය වන සා_ාතුක කරඬුව වැඩම වන්නේත් මංගල හස්තිරාජයකු මතිනුයි. කරුණු එසේ වුවත් මේ වන විට පෙරහර සඳහා අලි ඇතුන් සොයා ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්වෙලා නේද?

පිළිතුර – මේ වන විට අපේ රටේ හීලෑ අලි ඇතුන් සිටින්නේ 110 යකට ආසන්න සංඛ්‍යාවක්. මේ අතරින් 60 % කට වඩා වැඩි පිරිසක් වයස්ගත අලියි. සමහරුන්ට වයස නිසාම පෙරහරේ යන්න බැහැ. මේක බරපතළ ගැටලුවක්. ජනාධිපතිතුමාගේත් විශේෂ අවධානය මේ ප්‍රශ්නය වෙත යොමුවී තිබෙනවා. කරඬුව වැඩම කරවීමටත් ඇතුන් කිහිපදෙනයි ඉන්නේ.

මෙවර කරඬුව වැඩමවන්න අප තෝරාගෙන ඉන්නේ ඉන්දිරාජා, නැදුන්ගමුවේ ඇතා, රුහුණු මහ කතරගම දේවාලයට අයත් වාසනා හා වෑවලදෙණියේ රාජා යන ඇත්තු සිව් දෙනයි.

දළදා මාලිගා පෙරහරට ප්‍රශ්නයක් නොවුනත් සතර මහා දේවාලවල දේවාභරණ වැඩමවන්න හස්තීන් සොයාගැනීම බරපතළ ප්‍රශ්නයක්.

ප්‍රශ්නය - පෙරහර හා සම්බන්ධ වාර්තාකරනයේදී මාධ්‍ය මගින් යම් යම් විකෘති කිරීම් කරන බැවින් එය පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ඔබ වරක් පැවසුවා. මේ චෝදනාව කරන්නට ඔබට සිදුවූයේ ඇයි?

පිළිතුර - බොහෝ විට මෙය සිදුවන්නේ විද්‍යුත් මාධ්‍ය මගිනුයි. පෙරහරට සම්බන්ධ ආවේණික වූ වචන මාලාවක් තිබෙනවා. පෙරහර හා බැදුණු ඉතිහාසයක් තිබෙනවා. පෙරහර හා සම්බන්ධ විස්තර විචාරයන්ට පැමිණෙන ඇතැම් විද්වතුන් පෙරහර පිළිබඳව කතා නොකර ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීමට යෑමෙන් තමයි ලොකුම ප්‍රශ්නය ඇති වන්නේ. මෙවර මා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ප්‍රශ්නය - මහනුවර ඇසළ පෙරහර රාජ්‍යය උත්සවයක් ලෙස ගැසට් කර තිබෙනවා. පෙරහර සාර්ථක කර ගැනීම සඳහා ලැබෙන රජයේ දායකත්වය කෙබඳුද?

පිළිතුර - ආරක්ෂාව, ප්‍රවාහනය, සෞඛ්‍ය පහසුකම්, විදුලිය ආදි පෙරහරට අවශ්‍යය සෑමදේම රජයෙන් ලබාදෙනවා. රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කළ පසු අදාළ පහසුකම් ලබා ගැනීම සඳහා වන නීතිමය පසුබිම සැකසෙනවා. සුරාසැල්, මස්කඩ වැසීම ආදිය සිදුකිරීම සඳහා දිසාපතිවරයාට බලය පැවරෙන්නේ මෙය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කිරීම හරහායි.

ප්‍රශ්නය - පෙරහර සඳහා කොපමණ මුදලක් වාර්ෂිකව වැය කරන්න සිදුවෙනවාද?

පිළිතුර – ඇත්තටම දළදා පෙරහර මිල කරන්න බැහැ. එක් මුදල් ප්‍රමාණයක් වශයෙන් කියනවා නම් දළදා මාලිගාව පමණක් පෙරහරට රුපියල් ලක්ෂ 420 ක පමණ මුදලක් වැයකරනවා. පෙරහර සඳහා කොප්පරා ටොන් 28ක් අවශ්‍ය අතර ඒ සඳහා පමණක් රුපියල් ලක්ෂ 55 ක් වැයවෙනවා. මාලිගාවෙන් වැය කෙරෙන මුදලට අමතරව පොලිස් නිලධාරින්ට , යුද හමුදාවට වැටුප්, ආහාර හා බටා ලෙස රජය අතිවිශාල මුදලක් වැයකරනවා. විදුලිය, ප්‍රවාහනය, ජලය, දුරකතන ආදියට තවත් විශාල මුදලක් වැයවෙනවා. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයෙන් පවා පෙරහර අවසන් කිරීමේ රාජ්‍ය උත්සවය සදහා මුදල් වෙන්කරනවා . මේ සියල්ල එකතු වුනාම වැයවන මුදල කොපමණද කියලා තේරුම්ගත හැකියි.

ප්‍රශ්නය - පෙරහර විචිත්‍රවත් කරන්නේ උඩරට සම්ප්‍රදායන් ගරුකොට හැදී වැඩුණු කලා ශිල්පීනුයි.පෙරහර කාලයට ඔවුන් පිළිබද කතා කළත් පෙරහර නිමවීමත් සමඟ ඔවුන් සැමට අමතක වෙනවා. මේ ශිල්පීන් රැකගන්න වැඩපිළිවෙළක් තාමත් නැහැ.

පිළිතුර - මේ සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයයි ජනාධිපතිතුමා පාරම්පරික කලා ශිල්ප රැක ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ක්‍රියාකරනවා. එයට අමතරව මා දැනට වසර තුනක් තිස්සේ කලාකරුවන් ඇගයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. පෙරහරට සම්බන්ධව දක්‍ෂතා දක්වන හොඳම වෙස් නැට්ටුවා, හොඳම බෙර වාදන ශිල්පියා, තාලං කරු ආදි සැමට මා විශේෂ මුදල් ත්‍යාග පෙරහරින් පසු ලබා දෙනවා. ඒ සදහා රුපියල් ලක්ෂ 15 ක් පමණ වැයවෙනවා.

ප්‍රශ්නය - පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර - විනීතව හැසිරෙන්න . මේක ආගමික උත්සවයක් නිසා ඊට ගැළපෙන ලෙස ඇඳුම අඳින්න. පොලිතින් වැනි දේ රැගෙන ඇවිත් නගරය අපවිත්‍ර කරන්න එපා. හැකිතාක් කලින් පෙරහර වීදිවලට පැමිණ ආරක්ෂක අංශවලට සහාය දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. මෙයට අමතරව පෙරහර සමයේ නගරයේ සෑම වීදියකම, වෙළෙඳ සැලක හා නිවසකම බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]