UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීතාවකින් මහනුවරට දළදා වැඩම කළේ කවුද?

මහනුවරට දළදා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමුවරට අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551 - 1597) ක්‍රිස්තියානිය වැළද ගත්තේ 1557 දී ය. සිංහල රජු බෞද්ධයෙකු වියයුතු යන චිරාගත සම්ප්‍රදාය ධර්මපාල රජු චිරාගත සම්ප්‍රදාය කඩ කළේය. ඒ නිසා ඒ සිද්ධිය වූ ආසන්නම කලම එදා කෝට්ටේ දියවඩන පදවිය දැරූ දන්ත කුමරුගේ පෙළපතින් පැවත ආ හිරිපිටියේ ඒකනායක දියවඩන රාළ සිහිනයක් දැක එහි අර්ථය වටහාගෙන වෙස්වෙළාගෙන දළදා හිමි රහසේ සඟවාගෙන දිවස්නාතොටින් එතෙර ව සීතාවක රජකළ මායාදුන්නේ රජුට දළදා හිමි රහසේ බාරදුන් බව ‘සිංහල දළදා වංශය’ කියයි.

දළදා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු (1521 - 1578) සීතාවක සබරගමුවේ කුරුවිට විහාරයේ තබා පුදපූජා කරන්නට විය. කෝට්ටේ සිට සීතාවකට දළදා රහසේ වැඩම වූ හිරිපිටියේ ඒකනායක රාළව සීතාවක රාජ්‍ය කාලය පුරා සීතාවක දියවඩන පදවිය දැරීය. සීතාවක කල අලගියවන්න මුකවැටි ලිවූ සැවුල් සන්දේශයේ එදා දළදා වැඩසිටි දෙල්ගමු විහාරය මෙසේ වර්ණනා කරයි.

ලොව නොමදින් පිරි ගණදුර දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙන උදාගිර
ලැඟි නිවසින් ලැඟි තෙරුවන් මෙනෙහි කර
මිතුර වඩින් දළදාගෙට මනෝ හර

අලගියවන්න සැවුල් සන්දේශයේ 124 දස පද හෑල්ලෙන් එදා දෙල්ගමු විහාරයේ අධිපතිධූරය දැරූ මහින්දාලංකාර හිමි වර්ණනා කරයි. දළදා හිමි දෙල්ගමු විහාරයේ වැඩ සිටින කල පරසතුරන්ගෙන් සිදුවිය හැකි උවදුරකට වඩාත් ආරක්ෂාකාරී ලෙස දෙල්ගමු විහාරයේ පහත මාලයේ යෝධ කුරහන් ගලක යටපළුවේ සිදුරක දළදාහිමි සඟවා තිබු බව කිරිඇල්ලේ ඥානවිමල ලියූ ‘සපරගමුවේ පැරැණි ලියවිලි’ හා ‘සපරගමු දර්ශන’ යන ග්‍රන්ථවල දී කියයි. එදා සීතාවක කල දළදා පෙරහර පැවැත්වුණේ දෙල්ගමු විහාරයේ සිට රත්නපුර සමන් දේවාලයටයි. සීතාවක මායාදුන්නේ රජුට පසු රජ වූ පසුකල ශිවාගමට බර වූ සීතාවක රාජසිංහ රජු (1578 - 1592) දෙල්ගමු ෂහාරයේ වැඩසිටි දළදාහිමිට ගම්බිම් පූජා කර ඇත. සීතාවක රාජසිංහ රජු බලන සටනේදී පරදවා උඩරට කොණප්පු බණ්ඩාර තමා සමග උඩරට ආ පෘතුගීසි සේනාව පරදවා එළවාදමා 1592 පළමු විමලධර්මසූරිය යන නමින් සෙංකඩගල තම අගනුවර කර ගත්තේ ය. පේරාදෙණිය ප්‍රාදේශීය රජ පෙළපතකට අයත් පළමු විමලධර්මසූරිය රජුට රජකම තහවුරු කර ගැනීමට ප්‍රධාන කරුණු දෙකක් ඉටුකර ගත යුතුවිය. පළවෙනි කරුණ සීතාවක දෙල්ගමු වෙහෙර වැඩසිටි දළදා හිමි ලබා ගැනීමයි. දෙවැනි කරුණ උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූලව හිමි කුසුමාසනදේවී අල්ලා පාවාගෙන රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමට. මීට පෙර සීතාවක රාජසිංහ රජු උඩරට රජකළ කරල්ලියද්දේ බණ්ඩාර රජු (1551 - 1581) පරදවා උඩරට අල්ලා ගත්විට කරල්ලියද්දේ රජු තම දූ වූ කුසුමාසන දේවී හෙවත් දෝන කතිරිනා කුමරියද තම බෑණා වූ යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් කුමරු ද සමඟ මන්නාරමේ පෘතුගීසීන් වෙත පලා ගියේ ය. එහි දී කරල්ලියද්දේ රජු රෝගී ව මියගියෙන් කුසුමාසන දේවී හා යමසිංහ බණ්ඩාර බෞතීස්මව පෘතුගීසීන් යටතේ වැඩුණහ.

දළදාහිමි ලබා ගැනීමේ පළමු පියවර වශයෙන් උඩරට රජ වූ පළමු විමලධර්මසූරිය රජු ඇල්ලේපොළ මංගල හිමි, ප්‍රධානව සාමණේරවරු පස්නමක් දෙල්ගමු විහාරයට යවා ඇත. මේ වනවිට ශිවාගමට බරව බෞද්ධයන් අතර අපි‍්‍රයව සිටි සීතාවක රාජසිංහ රජුගේ පාලනයට යටත් දෙල්ගමුව විහාරයේ දළදා බාරව සිටි හිරිපිටියේ ඒකනායක රාළ හමුවී ඔහු සමග රහස් සාකච්ඡා කොට දළදාහිමි මහනුවරට වැඩමවීම පිළිබඳ සැලැසුම්කිරීම ඇල්ලේපොළ මංගල හිමිගේ ගමනේ අරමුණ බව පෙනෙයි. හිරිපිටියේ ඒකනායක රාළ සමග දළදාහිමි සෙංකඩගලට වැඩමවීමට ඇති කැමැත්ත ඇල්ලේපොළ මංගල හිමි පළමු විමලධර්මසූරිය රජුට වරින්වර දන්වා එවූ බව හැගෙයි. සෙංකඩගල මෙකල ම ලියවුණු ‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථය අනුව දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට පෙර දෙල්ගමුවේ සිට සෙංකඩගලට දළදා වැඩමවිය හැකි පාරවල් කුමක්දැයි විමලධර්මසූරිය හිමි ගලඋඩහිමි හා සාකච්ඡා කළ බව කියවෙයි’. සිංහල දළදා වංශය හා ‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථ අනුව ඉදල්ගස්හීන්න හරහා ඌව පාරෙන් ඉතා රහසිගතව දෙල්ගමුවේ වැඩසිටි දළදාහිමි මහ නුවරට වැඩමවීම ආරම්භ විය. මේ ආරංචිය බලාපොරොත්තුවෙන් සිටි පළමු විමලධර්මසූරිය රජු මහනුවර නගරය ඉතා අලංකාර ලෙස සරසා ඇමතීන් පිරිවරාගෙන අම්පිටියට පෙර ගමන් ගොස් දෙල්ගමුවේ සිට වැඩමවන දළදා හිමි ඉමහත් ගෞරවයෙන් පිළිගත් බව ‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථයේ 440 - 442 කවිවල කියැවෙයි.

දළදාහිමි දෙල්ගමුවේ සිට සෙංකඩගලට වැඩමවීමට මුල් වූ අය කවරේද?

1. සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමඟ ගොස් කාලයක් එහි වසමින් හිරිපිටිය ඒකනායක දියවඩන රාළගේ හිත දිනාගෙන ඔහු සමඟ දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලැසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි බව ‘අස්ගිරි පුවත’ කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩසිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුම් ඇල්ලේපොළ මංගලහිමිට බව ‘අස්ගිරි උපත’ කියයි.

2.කෝට්ටේ ධර්මපාල රජු 1557 භෞතීස්ම වූ පසු කෝට්ටේ සිට සීතාවක දෙල්ගමුවට රහසේ දළදාහිමි වැඩමවා අවුරුදු 35 පමණ කාලයක් දෙල්ගමු විහාරයේ දී දියවඩන නිළමේ පදවිය දැරූ දන්තකුමරුගේ පදවියට අයත් සියනෑකෝරළේ හිරිපිටියේ ඒකනායක රාළ දෙල්ගමුව සිට සෙංකඩගලට දළදාහිමි වැඩමවීමට මූලික විය.

මීට පෙර කෝට්ටේ රාජ්‍යයේ ද කාලයක් ඔහු දියවඩන නිළමේ පදවිය දරා ඇත. දළදාහිමි දෙල්ගමුවේ සිට සෙංකඩගලට දළදාහිමි වැඩම වූ පසු දෙවැනි විමල ධර්මසූරිය රජු ගම්බිම් දුන්බව “දළදා පුවත” කියයි. ඉන්පසුව ඔහුට සෙංකඩගල රාජ්‍යයේ දියවඩන නිලමේ පදවිය ලැබී ඇත.

දළදා ඉතිහාසයේ අපට හමුවන පළමු දියවඩන නිළමේ ඔහුය. හිරිපිටියේ රාළ කෝට්ටේ මුලින්ම ද දෙල්ගමු විහාරයේ අවුරුදු 35 කාලයක් ද සෙංකඩගල රාජ්‍යයේ අවසානවරට ද ලෙස අඩු වශයෙන් අවුරුදු 50 පමණ කාලයක් දියවඩන නිළමේ පදවිය දරා ඇත.

3. සීතාවක රාජසිංහ රජුකල රජුට විරුද්ධව කටයුතු කිරීම නිසා ඈත පලාගොස් සැඟ වී වාසයකළ දෙවනගල රත්නාලංකාර හිමි පළමු විමලධර්මසූරිය රජු උඩරට රජකිරීමට මූලිකව කටයුතු කළ අයෙකි.

ඒ නිසා පළමු විමලධර්මසූරිය රජු දෙවනගල රත්නාලංකාර හිමිට උඩරට මහාසාමී පදවිය හෙවත් සංඝරාජ පදවිය පිරිනැමූ බව මැන්දිස් රෝහණධීර ලිව් ‘ලක්දිව මහාසාමී සංගරාජ පරපුර’ - දෙවැනි කාණ්ඩය ග්‍රන්ථයේදී කියයි. එය නිවැරදි නම් සෙංකඩගල රාජ්‍යයේ සිටි පළමු සංඝරාජ හිමි එතුමාය. දළදාහිමි එතුමාය. දළදාහිමි සෙංකඩගල වැඩමවීමට මේ හිමි ක්‍රියාකාරීව මුල්විය.

4. දළදාහිමි මහනුවරට වැඩමවීමට පෙර පළමු විමලධර්මසූරිය රජු දළදා හිමි දෙල්ගමුවේ සිට මහනුවරට ඉදිරියේ ගෙන ආ හැකි මාර්ග ගැන ගලඋඩහිමි සමග සාකච්ඡා කළ බව ‘දළදා කාව්‍ය ග්‍රන්ථය කියයි. ඒ අනුව ගලඋඩහිමි රජුගේ හිතවත් විශ්වාසවන්ත අයෙකු විය. දළදා හිමි මහනුවරට වැඩමවිමට ගලඋඩහිමි මූලික වූ බව කිරිඇල්ලේ ඥානවිමල ලියු ‘සබරගමුවේ පැරැණි ලියවිලි’ හා සපරගමු දර්ශන’ ග්‍රන්ථවලදී කියයි. ගලඋඩහිමි ගැන තොරතුරු හෙළීම දුෂ්කරය. මහනුවර ශ්‍රී දළදා මාළිගාව මඟින් පළකළ හේමමාලා හා දන්ත කුමරු ‘කුඩා ග්‍රන්ථය අනුව ගලඋඩහිමි යනු දෙවනගල රත්නාලංකාර හිමිම බව අනුමාන කරයි. හේතුව පසුකල දෙවනගල රත්නාලංකාර හිමි මාවනැල්ලට නුදුරු දෙවනගල කඳුගැටයක් උඩ දෙවනලෙන් විහාරයේ වැඩවාසය කළ බැවිනි. දෙවනගල කඳුගැටයක් බැවින් ‘ගලඋඩ’ යන කෙටිනම ගැළපෙයි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]