UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාතන සංස්කෘතික උරුමයන්ට මුල්තැන දෙන බෙල්ලන්විල ඇසළ මහා පෙරහර

ආසියාවේ රත්නදීපය යයි හඳුන්වන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ චිරාගත සංස්කෘතිය වර්ණවත් කරන්නට අර්ථවත් වූ අතිශයින් වැදගත් බෞද්ධාගමික හා සංස්කෘතික ගුණාංගයන්ට මුල්තැන දෙමින් පෞරාණික චාරිත්‍රානුකූ®ලව වර්ෂයක් පාසා පවත්වනු ලබන බෙල්ලන්විල ඇසළ මහා පෙරහර දෙවැනි වන්නේ මහනුවර ශ්‍රී දළදා පෙරහරට පමණි.

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ පුරෝගාමි වූ අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද අනේක විධ විශේෂ සේවාවන් අතර එක් අංගයක් වුයේ බෙල්ලන්විල ඇසළ මහා පෙරහරයි. උන්වහන්සේ ඒ මගින් බෙල්ලන්විල නම් වූ ගමට නවෝදයක් උදාකළහ. උපතින්ම ලද සහජ දක්‍ෂතාවයන් හා සුවිශේෂී වූ හැකියාවන්ගෙන් පිරිපුන් මහා පෞරුෂයකින් හෙබි යුගපුරුෂයෙකු ලෙස පූජ්‍ය ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් සමුදාය අතර බෙල්ලන්විල රාජමහා විහාරය කේන්ද්‍ර කොටගෙන දියත් කෙරුණ විවිධ සංවිධාන හා ක්‍රියාකාරකම් අතර එක් වැදගත් කාර්යයක් වූයේ වාර්ෂිකව සති කීපයක් තිස්සේ පවත්වනු ලබන බෙල්ලන්විල ඇසළ මහා උත්සවයයි.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් අනේක විධ ගැහැට විඳිමින් ගොඩනැගූ බෙල්ලන්විල ශ්‍රී නාමය ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තියටද පත්ව ඇත. ඒ රට දැයට ඵලදායි වූ උගත් ගුණවත් ශිෂ්‍ය හිමිවරු සසුන්ගත කිරීමය. බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි ජීවිතයේ මෙන්ම පැවිදි දිවියේත් ශ්‍රේෂ්ඨතම සොහොයුරු වූහ. අතිපූජ්‍ය ධම්මරතන නාහිමිපාණෝ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබ එහි ධර්මප්‍රචාර කටයුතු වල නියැලෙමින් ලෝකවාසි ජනතාවගේ හිතසුව පිණිස මේවන විටත් ආගමික වශයෙන් ඉමහත් මෙහෙවරක් ඉටුකරනු ලබති. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණෝ 1970 සිංගප්පූරුවේ මංගල විහාරයෙන් ලැබුණු ආරාධනයක් අනුව එහි වැඩමකොට ධර්ම ප්‍රචාරය ආරම්භ කළහ. 1980 දී සිංගප්පූරුවේ තිසරණ බෞද්ධ සංගමය පිහිටුවා ඒ අතරතුර සිය උත්සාහයෙන්ම සිංගප්පූරුවේ බෞද්ධ ජනතාව අතර ඉතාම කෙටි කලකින් ජනපි‍්‍රයත්වයට පත්වූහ. ඒ තුළින් උන්වහන්සේ සිංගප්පූරුවේ පුස්තකාලයක් ආරම්භ කොට බෞද්ධ පර්යේෂණ ආයතනයක් ආරම්භ කරනු ලැබූහ.

බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් බුදු සසුනට දායාද කිරීම සෝමරතන නාහිමිපාණන් ගේ මෙහෙවර අතර විශිෂ්ටය. මේ වන විට ලෝක බෞද්ධ සම්මේලනයේ ලේඛකාධිකාරි වශයෙන්ද, කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක තනතුරකින්ද පිදුම් ලබමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය හොබවන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් මේ වන විට උන්වහන්සේගේ පැවිදි දිවියේ අඩසිය වසකටත් වඩා පසු කරමින් ජාත්‍යන්තර කීර්තියට පත් උගත් පඬිරුවනක් බවට ලෝකවාසින්ගේ ජනාදරයට පත්ව සිටිති.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ විසින් සියලු ලෝවාසී ජනතාවගේ හිතසුව පිණිස රට දැයට දායාද කල බෙල්ලන්විල රාජමහා විහාරයට අනුබද්ධ විවිධ වූ කාර්යයන් අතර, ඇසළ මහා පෙරහර මුල්කර ගනිමින් සති ගණනාවක් පුරා පැවැත්වෙන ආගමික උත්සවය ජනහිතකාමි ජීවහිතවාදි පෞරාණික සංස්කෘතික පුද සිරිත් හා වතාවත් වලට ජීවයක් ලබාදෙමින් අද වනතුරුත් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට මහාචාර්ය විමලරතන හිමිපාණන් දිවා රෑ නොබලා අසීමිත වෙහෙසක් දරති.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සුවිශේෂි පූජෝත්සවයක් බවට පත්කරන්නට සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති අතිපූජ්‍ය ධම්මරතන ස්වාමීන් වහන්සේද ලබාදෙන අනගි සහාය විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ට ද මහත් ශක්තියක් වන අතර උන්වහන්සේලාගේ ගුරුදේවෝත්තම ශ්‍රී සෝමරතන නාහිමිපාණන්ටද සිදුකරන මහඟු උපහාරයකි.

බෙල්ලන්විල ඇසළ උත්සවය ආරම්භ වනුයේ පළමුවම බෙල්ලන්විල නිර්මාතෘ අපවත් වී වදාළ ශ්‍රී සෝමරතන නාහිමිපාණන් සිහිපත් කෙරෙන ධර්ම දේශනා ඇතුලත් දානමය පින්කම් මාලාවකිනි. අනතුරුව ගමට රටට දැයට ආශීර්වාද පතා සති පිරිත් දේශනයක් සිදුකර දේවදූත පෙරහර පවත්වා දොරකඩ අස්න අනුශාසනා පවත්වා සැමටම ආශීර්වාද ලබාදෙමිනි. ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර ද, ඊළඟ දින තුන ඇතුළත මල් පෙරහරද , පසු දිනයේ විහාරස්ථානය වටා ගමන් කරන පාවාඩ පෙරහරද, ඊළඟ දිනයේ ගමවටා වීථි සංචාරය කරනු ලබන රන් සිවි පෙරහරද අවසානයේ අති උත්කර්ෂවත් ලෙස රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනු ලබයි.

බෙල්ලන්විල ඇසළ මහා සංස්කෘතික මංගල්‍යයේ සුවිශේෂී අවස්ථාව වන රන්දෝලි මහා පෙරහරට පෞරාණික චාරිත්‍රානුකූල සංස්කෘතික අංග රාශියක් හා අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වෙති. මෙම සියලු කටයුතු සිදුකරනු ලබන්නේ සුබ හෝරාවක් මුල්කරගෙනය. මෙම ඇසළ උත්සවය මුල් කරගනිමින් ලංකාවේ අති පූජනීය වූ ප්‍රධාන සිද්ධස්ථාන වල පුද පූජා පවත්වා විහාරස්ථානය තුළ දේව ආරාධනා පවත්වා සුබ හෝරාවන් අනුව කප් සිටුවීමෙන් ඇසළ මහා සංස්කෘතික මංගල්‍යය ආරම්භ වේ.

රන්දෝලි මහා පෙරහර සංස්කෘතික වශයෙන් වර්ණවත් කරන්නට ප්‍රථමයෙන්ම කසකරුවන් ගමන් ගන්නා අතර ගිනිබෝලකරුවන් හේවිසි කණ්ඩායම් පහතරට, නැටුම්, උඩරට , නැටුම්, සබරගමු, නැටුම්, ආදිය සඳහා විශාල වශයෙන් නර්තන ශිල්පීන් රැසක් සහභාගි වෙති. 2010.08.28 දින පවත්වන රන්දෝලි මහා පෙරහරේ ප්‍රථමයෙන් මාලිගාවේ පෙරහරද ඊළඟට විෂ්ණුදේවාල පෙරහරද ඉන් පසු කතරගම දේවාල පෙරහරද සමන් දේවාල ආදි හා විභීෂණ දේවාල පෙරහරද පිළිවෙලින් ගමන් ගනී.

රන්දෝලි මහා පෙරහර පවත්වන දිනට පසුදා චාරිත්‍රානුකූ®ලව දිය කැපීමේ පෙරහර පවත්වා විහාරස්ථානයට රැස්වන ජනතාවට දේවදානය පිරිනමා සවස් භාගයේ ගරා නැටුම පවත්වා ඇසළ මහා සැණකෙලිය නිමාවට පත්කරනු ලැබේ.

අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු මෙම බෙල්ලන්විල ඇසළ උත්සවයේ සියලු කටයුතු සිදු

කරනු ලබන්නේ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය පරිදි බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ අනුශාසනා හා පූර්ණ පරිශ්‍රමය හා මෙහෙයවීම යටතේය. මේසා විශාල කර්තව්‍යයක් සාර්ථක කර ගැනීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති අතපත්තු කන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේගේද දර්ශනපති ධම්මරතන නාහිමිපාණන් හා මහාචාර්ය විමලරතන හිමිපාණන් වහන්සේලාගේ සෙවනේ සසුන්ගතව සිටින ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේ‍්‍රමරතන හිමිපාණන් ඇතුළු විහාරස්ථ නේවාසික භික්ෂූන් වහන්සේ නොමද සහායක් ලබාදේ. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දායක සභාව ඉටුකරන මෙහෙය අසීමිතය. ඒ සමගම බෙල්ලන්විල ඇසළ මහා පෙරහර කොමිටිය, ශ්‍රී බෝධිරාජ කුලඟන සමිතිය, බෙල්ලන්විල තරුණ බෞද්ධ සංගමය, තරුණ සංසදය, ප්‍රජා සංවර්ධන පදනම, බෙල්ලන්විල සුහද ව්‍යාපාර එකමුතුව ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලින්ගේ කැපකිරීම මත පුරා 60 වසරක් මෙම ඇසළ මහා පෙරහර ජනතාව අතරට පත් කිරීමට විහාරස්ථ ස්වාමින් වහන්සේලාට රුකුලක් වී ඇත. මෙහිදී ඉතා සුවිශේෂී කාර්යයක් වන්නේ ශ්‍රී සෝමරතන හිමිපාණන් අපවත් වීමෙන් පසු නොකඩවා වසර 26 ක් ම බෙල්ලන්විල ඇසළ මහා පෙරහර මුල්කොට ගත් සති දෙකකට අධික කාලයක් පුරා පැවැත්වෙන ඇසළ මහා පූජෝත්සවය සිදුකරනු ලබන්නේ විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ මෙහෙයවීම හා අනුශාසනා පරිදි නොකඩවා සාර්ථකව පවත්වාගෙන ඒමයි. උන්වහන්සේට ගම්වාසී ජනතාවගේ පින්බර ප්‍රණාමය මෙසේ පුද කරමු.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]